මුත්‍රා දැවිල්ල සුව කරන නිවෙස් පිළියම් 21 ක්

health tips

මුත්‍රා පිට කිරීම කියන්නේ අපේ ශරීරයේ සිදුවන ප්‍රධාන බහිශ්‍රාවීය කටයුත්තක්. කිසිදු අපහසුවකින් තොරව මුත්‍ර  පිටවීම සැබැවින්ම අපිට සහනයක් ගෙන දෙනවා. නමුත් මුත්‍ර පිටවීමත් සමඟ ඇතිවන දැවිලි ගතිය හෝ මුත්‍ර පිට නොකරන අවස්ථාවලදී මුත්‍ර පිට කරන ස්ථානය ආශ්‍රිතව ඇතිවන දැවිලි ගතිය නිසා බොහෝදෙනා පීඩාවට පත්ව සිටිනවා.මේ මුත්‍රා දැවිල්ල කියන්නේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිතව යම් ආසාදන තත්ත්වයක් හේතුකොටගෙන ඇතිවන රෝග ලක්ෂණයක්. නමුත් විෂබීජ ආසාදනයක් නොමැතිව වෙනත් හේතුවල බලපෑම නිසාත් මුත්‍ර දැවිල්ල ඇතිවෙන්නට පුළුවන්. 

විශේෂයෙන්ම ප්‍රමාණවත් පරිදි පානය නොකිරීම, ක්ශණික ආහාරවලට වැඩි වශයෙන් යොමුවීමෙන් ශරීරයට නිසි පරිදි පෝෂණය නොලැබී යාමෙන්, අධික දැවිල්ල සහ තෙල් සහිත ආහාර ගැනීම, වැරදි ජීවන පුරුදු, දිගු වේලාවක් අව්වේ වැඩ කිරීම නිසා මුත්‍රා පෙරීම නැතිව යාම නිසා වැඩි වශයෙන් ජලය දහදිය ලෙස පිට කිරීම ආදිය මේ තත්ත්වය ඇතිවෙන්නට බලපාන තවත් හේතු කාරණා කිහිපයක්.කුමන හේතුවක් නිසා ඇතිවුණත් මේ මුත්‍ර දැවිල්ල කියන තත්ත්වය ඉතාම අපහසුවක් ගෙන දෙන වේදනා සහගත තත්ත්වයක් බව නම් ඔබත් මමත් හොඳින්ම දන්නා කාරණයක්. ඉතින් ඒ නිසාම අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ මුත්‍ර  දැවිල්ල සුව කර ගන්නට නිවසේදී කළ හැකි ප්‍රතිකාර ක්‍රම කිහිපයක් පිළිබඳවයි.

  • ජලයට වැඩි වශයෙන් පානය කිරීම මුත්‍රාශය ආශ්‍රිතව ඇතිවන ඕනෑම ආසාදන තත්ත්වයකදී ජලය වැඩි වශයෙන් පානය කළ යුතු බව හැමෝම දන්නා කාරණයක්. ඒ නිසා දිනකට අවම වතුර ලීටර 4 ක්වත් පානය කළ යුතු වෙනවා.
  • උණුසුම් ජලය ස්නානය කිරීම 
  • ඇඟ සිසිල් කරන ඔසු පැන් පානය 
  • ඉරමුසු කැඳ ඉරමුසු , නීරමුල්ලිය, පොල්පලා සාරණ මුල්, ආදී වර්ගවලින් එකක් තම්බා පානය කිරීම
  • බාර්ලි, තැඹිලි ආදිය පානය  වැල් පෙනෙල කොළ කොටා යුෂ සකස් කර පානය කිරීම 
  • පිපිඤ්ඤා කැකිරි රාබු,  ආදී ජලය වැඩි වශයෙන් අඩංගු ආහාර නිතර ගැනීම 
  • උෂ්ණ ආහාරවලින් වැළකීම (ඉස්සෝ, දැල්ලෝ, අන්නාසි, බලමාළු, අච්චාරු )

මුත්‍ර  දැවිල්ලට අත් බෙහෙත්  

  • තැඹිලි ගෙඩියක් සිදුරු කර එයට සුදු හදුන්, අරළු කුඩු සම ප්‍රමාණයකින් දමා තැඹිලි ගෙඩිය තුළදීම තැඹිලි වතුර සමඟ මිශ්‍ර කරන්න.රාත්‍රියේ මෙය සකස් කර උදෑසන පෙරා පානය කරන්න.මෙය මසකට වරක් පානය කිරීම ප්‍රමාණවත් .
  • පොල්පලා හා අක්කපාන සමව ගෙන හොඳින් තම්බා ඒ ජලය පානය කරන්න.
  • තුබ කරිවිල නැටි , සූදුරු ,කොත්තමල්ලි, සමන් පිච්ච මල් සමාන ප්‍රමාණවලින් ගන්න. එයින් තුබ කරිවිල නැටි සහ කොත්තමල්ලි තලා එයට සූදුරු සහ පොඩිකරගත් සමන් පිච්ච මල් වතුර කෝප්පයකට රාත්‍රියේදී දමා වසා තබා පසුදා උදෑසන පානය කරන්න.
  • රත්මල්, අරළු හා වදමල් තම්බා ගත් ජලය පානය කරන්න.
  • කුරුඳු හා උළුහාල් කොටා තැඹිලි වතුරට දමා විනාඩි 20 ක් පමණ තබා පානය කරන්න.
  • මුරුංගා පොතු හොඳින් කසාය කර එයට සහිද ලුණු ස්වල්පයක් එකතු කර පානය කරන්න. 
  • ඉදුණු සියඹලා කරල් කිහිපයක් ගෙන හොඳින් ජලයේ දිය කරගන්න. පසුව එයට සීනි ටිකක් එකතු කර පානය කරන්න.
  • තම්බා ගත් කොත්තමල්ලි වතුරට සීනි දමා පානය කිරීම 
  • බෙලි ගෙඩියක් තම්බා ගත් වතුර පානය කරන්න.
  • දෙහි ගෙඩි දෙකක් යුෂ ගෙන එයට සීනි සහ වතුර එකතු කර බීම එකක් ලෙස සකස් කර දින 3 ක් පමණ පානය කරන්න. 
  • රතු ළූණු ගෙඩි දෙකක් පමණ ගෙන එය සිහින්ව කපා ගන්න. පසුව එය හොඳින් පොඩි කරගෙන වතුර වීදුරුවකට දමාගෙන එයට ගම්මිරිස් කුඩු තේ හැන්දක් එකතු කරගෙන හොඳින් කලවම් කර පානය කරන්න.
  • තැඹිලි ගෙඩියක් රාත්‍රියේදී කපා ජලය මදක් ඉවත් කර රාබු පෙති කිහිපයක් තැඹිලි ගෙඩියට දමා තබා පසුදා උදෑසන ඒ රාබු පෙති කිහිපය පොඩිකර තැඹිලි වතුර සමඟම පානය කරන්න.
  • අළු පුහුල් වැල් කොටා මිරිකා ලබාගත් යුෂවලට සීනි සහ ගිතෙල් එකතු කර උදේ සවස පානය කරන්න.
  • පොල්පලා, රසකිද, සැවැන්දරා මුල්, සුදු හදුන් , ඉගිනිය ඇට ආදී සියල්ල එකට කොටා තැඹිලි ගෙඩියක දමා රාත්‍රියේ තබා පසුදා උදෑසන පානය කරන්න.

වයස් භේදයකින් තොරව ඇතිවන මුත්‍ර දැවිල්ලට ඉහත සඳහන් ප්‍රතිකාර මගින් යම් සහනයක් ලබා ගන්නට හැකියාව ලැබේවි. නමුත් නිතර නිතර යම් අයෙකුට මුත්‍ර  දැවිලි ගතියක් ඇතිවේ නම් ඒ සඳහා වෛද්‍යවරයෙකු හමුවී ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. මුත්‍ර දැවිල්ල කියන්නේ මුත්‍රා පද්ධතිය ආශ්‍රිත යම් ආසාදනයක් නිසා ඇතිවෙන්නට හැකි රෝග ලක්ෂණයක් නිසා එය සුළුවට නොගත යුතුයි. මොකද ඇතැම්විට ඒ විශබීජ වකුගඩුවලට හානිකරන තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ ඉඩකඩ පවතින බැවින්  ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. 

සැලකිය යුතුයි මේ ප්‍රතිකාර වෛද්‍ය  උපදෙස් නොමැතිව වයස අවුරුදු 12 ට අඩු දරුවන්ට ලබාදීමෙන් වළකින්න.