හිටපු ගමන් හැදෙන මුත්‍රා දැවිල්ල ක්ෂණිකව සුව කරගන්න සත්කාර 6 ක්

health tips

කායික සහ මානසික සුවය සලසා ගැනීමට වෙනුවෙන් අපිට සැලකිය යුතු කැපවීමක් කරන්නට සිද්ධ වෙනවා. තරගකාරී කාර්යබහුල පරිසරයක ජීවත් වෙන ඔයාට ඔයාගේ විවේකය, පෝෂණය ගැන හිතන්නට සිද්ධ වෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ නිසාම වෙනදට වඩා ශාරීරික මානසික පීඩාවලින් ඔබ පීඩා විඳිනවා ඇති .ඉතින්  මේ කාර්‍යබහුල ජීවන රටාවත් එක්ක මුත්‍රා ආසාදන එහෙමත් නැත්නම් මුත්‍රාවලට විශබීජ ඇතුල්වීම වයස් භේදයකින් තොරව ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන් හටගන්නට හැකි තත්ත්වයක්. 

එහි සුලභතාවය නිසා තමන් මුත්‍ර ආසාදනයක් ඇති රෝගියෙක් වුණත් ඒ බව ඒ පුද්ගලයා දන්නේ නැහැ. නමුත් මෙය සැලකිලිමත් වෙන්නට ඕන රෝග තත්ත්වයක්. මොකද මුත්‍රා ආසාදන ඔබගේ මුත්‍රාශය, මුත්‍රා මාර්ගය, වකුගඩු, මුත්‍රා ගමන් කරන මාර්ගයේ විවිධ ප්‍රදේශවලට බලපාන්නට  පුළුවන්. මේ විදියට ඇතිවන බොහෝ මුත්‍රා ආසාදන ප්‍රතිජීවක ඖෂධ මගින් සුව කරන්නට හැකියාව තියෙනවා. 

මේ මුත්‍රා ආසාදන ඇති කරන්නට මූලික වෙන්නේ (E Coll ) ඊ කෝල් කියන බැක්ටීරීයාව. මේ බැක්ටීරියාව  හැරුණාම වෙනත් බැක්ටීරියාවන් ද මේ මුත්‍රා ආසාදන ඇති කරන්නට හේතු වෙන්නට පුළුවන්. 

මුත්‍රා ආසාදන ඇතිව වෙන්නට  බලපාන හේතු

  • ගර්භනී බව
  • මුත්‍රා මාර්ගය අවහිර කරන මුත්‍රා ගල් ආදී තත්ත්ව 
  • සම්පූර්ණයෙන්ම මුත්‍රාශය හිස් කරන්නට අපහසු වන තත්ත්වය ( විශේෂයෙන්ම පිරිමින්ගේ පුරස්ථි ග්‍රන්ථිය විශාල වීම සහ කුඩා දරුවන්ගේ මල බද්දය)
  • ප්‍රතිශක්තිය දුර්වල වීම (විශේෂයෙන් දෙවන වර්ගයේ දියවැඩියාව, රසායනික චිකිත්සා හෝ ඒඩ්ස්   මගින් මෙවැනි තත්ත්ව ඇතිවෙන්න  පුළුවන්.)

මුත්‍රා ආසාදනයක රෝග ලක්ෂණ

  • මුත්‍රා  දැවිල්ල 
  • නිතර මුත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම
  • රාත්‍රියේදී නින්දෙන් ඇහැරී මුත්‍ර  පිට කරන්නට දැනෙන අවශ්‍යතාවය  
  • මුත්‍රවල වර්ණය වෙනස් වීම 
  • මුත්‍ර  සමඟ  රුධිරය පිටවීම 
  • යටිබඩේ කැක්කුම 
  • කොන්දේ වේදනාව 
  • උණ 
  • වයසින් වැඩි අයෙකුට නොදැනී මුත්‍ර පිටවීම, සිහි මද ස්වභාවයක් කල්පනා ශක්තිය අඩුවීමක් හා චර්යාවේ වෙනස්කම්  ආදිය ඇති වෙන්නට පුළුවන්.

දරුවන් තුළින් මේ ලක්ෂණ දකින්නට පුළුවන්.

  • අසනීප ගතියෙන් යුක්ත වීම 
  • ළදරුවන් නොරුස්සන ස්වභාවයෙන් යුක්ත වීම
  • සෙල්සියස් අංශක 37.5  හෝ  ඊට වඩා වැඩි ශරීර උෂ්ණත්වය
  • ඇඳ තෙත් කිරීම
  • මුත්‍රා පිටකිරීමෙන් පසුව හැඩීම 
  • කෑම අරුචිය

 මුත්‍රා ආසාදනයකදී ඒ අපහසුතාවය සුවකර ගැනීමට කළ හැකි දේවල්

හැකිතාක් ජලය පානය කරන්න – මුත්‍රා ආසාදන වැඩි වැඩියෙන් ඇතිවෙන්නට බලපාන්නේ අපේ ශරීරයට ලැබෙන ජලය ප්‍රමාණවත් නොවීම හේතු කරගෙන.  ඒ නිසා මුත්‍රා ආසාදනවලින් වැළකිලා ඉන්නත්  ඇතිවුණු මුත්‍රා ආසාදන සුවපත් කර ගන්නත් ප්‍රමාණවත් තරම් වතුර ශරීරයට ලබා ගන්නට ඕන.  මුත්‍රා ආසාදනයකදී මුත්‍රා කහ පැහැයකින්  දකින්නට ලැබෙන්නේ ශරීරයේ විශබීජ පවතින විට. ඒ මුත්‍රාවල පැහැය පැහැදිලි වන තුරු ජලය පානය කරන්න. එවිට මේ ආසාදනය ක්‍රමයෙන් අඩුවෙලා යනවා.

වතුර සහ සීනි-සාමාන්‍යයෙන් මුත්‍රා ආසාදනවලදී ඇතිවන දැවිල්ල නැති කරගන්නට වතුරවලට සීනි එකතු කර පානයට ගන්න පුළුවන්. වතුර වීදුරුවකට සීනි හැන්දක් විතර එකතු කර පානයට ගැනීමෙන්  මුත්‍රා ආසාදන තත්ත්ව පහසුවෙන් සුව කරගන්න පුළුවන්.

උණු වතුර – මුත්‍රා ආසාදන නිසා ශාරීරිකව ඇතිවෙන වේදනාවන් පහ කරගන්නට උණු වතුර වීදුරුවක් ඔබට පානයට ගන්නට පුළුවන්. ඒ වගේම මද උණුසුම් ජලය ස්නානය කිරීමත්  මේ ශාරීරික වේදනා දුරු කරගන්නට උපකාරයක් වෙනවා.

කොමඩු සහ පිපිඤ්ඤා-පිපිඤ්ඤා වගේම කොමඩු කියන්නෙත් ජල ප්‍රතිශතය ඉතා ඉහළ ආහාර වර්ග දෙකක්. මුත්‍රා ආසාදනයක් ඇති අවස්ථාවකදී එය  සුවපත් කරගන්නට කොමඩු ජූස් එකක් පිපිඤ්ඤා යුෂ වීදුරුවක් පානයට ගන්න. කොමඩු පලතුරක් ලෙස  ආහාරයට ගන්නත් පුළුවන්. පිපිඤ්ඤා  සලාදයක් ලෙස හෝ අමුවෙන් ආහාරයට ගන්න. 

කෝමාරිකා-හැම ගෙදරකම තියෙන්නම ඕන පැළෑටියක් තමයි කෝමාරිකා කියලා කියන්නේ. බඩේ දැවිල්ල, අමිල පිත්තය නිසා ඇතිවන බඩේ කැක්කුම වගේ රෝග බොහොමයකටම ගුණදායක වන කෝමාරිකා මුත්‍රා ආසාදන ඇති අවස්ථාවකදී දිව ඔසුවක් වගේ අපිට පිහිට වෙනවා. කොමරිකා අපේ ශරීරය සිසිල් කරනවා. ඒ වගේම මේ ආසාදන තත්ත්වයන්වලටත් සහනය සැලසෙනවා. කෝමරිකා පානයක් ගෙදරම සකසාගෙන ඔබට පානයට ගන්නට පුළුවන් නම්  මුත්‍රා ආසාදනවලට ඉතාමත් ගුණදායකයි. 

මුත්‍රා පිට කිරීම මඟ හරින්නට එපා.ආසාදන ඇති වුණාම මුත්‍රා පිටකිරීම වේදනාකාරී වීම සාමාන්‍ය දෙයක්. නමුත් ඒ සඳහා අවශ්‍යතාවයක් ඇති වුණොත් ප්‍රමාද නොකර මුත්‍රා පිට කරන එක මෙයින් සහනයක් සලසා ගන්නට උපකාරී වෙනවා. මොකද එයින් ශරීරයේ තියෙන විශබීජ ඉවත් වෙලා යනවා.  මුත්‍රා පිට කිරීම පමා කිරීමෙන් බැක්ටීරියාවන් දෙගුණ තෙගුණ වෙලා අපේ ශරීරයට අහිතකර විදිහට බලපෑම් ඇති කරනවා.

  • ඔබගේ උදරය මත පිටෙහි හෝ ඔබගේ කලවා අතර උණුවතුර බෝතලයක් තබන්න.
  • හොඳින් විවේක ගන්න.
  • දියර වර්ග පානය කරන්න.
  • සුවයක් දැනෙන තුරු ලිංගිකව  එකතු වීමෙන් වැළකෙන්න. 

මුත්‍රා ආසාදන ඇතිවීම වළක්වා ගන්නට කළ හැකි දේ

  • මුත්‍රා කරන විට සම්පූර්ණයෙන්ම මුත්‍රාශය හිස් කරන්නට උත්සාහ කරන්න.
  • හැකි තරම් ජලය පානය කරන්න.
  • නාන බේසම් වෙනුවට වතුර මල් භාවිතා කරන්න.
  • ලිහිල් කපු යට ඇඳුම් අඳින්න.
  • දරුවාගෙ නැපි ක්‍රමානුකූලව මාරු කරන්න.
  • ලිංගිකව  එකතු වූ වහාම මුත්‍රා කරන්න .
  • නයිලෝන් ආදී තද කෘතීම යට ඇඳුම් භාවිතයෙන් වළකින්න.
  • තද ජීන්ස් හෝ කලිසම් භාවිතයෙන් වළකින්න. 
  • මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය දැණුනු විටම මුත්‍රා පිට කරන්න. 
  • බාහිරව ශරීරය පිරිසිදුව තබා ගැනීම 
  • වෙනත් පුද්ගලයන්ගේ යට ඇදුම් භාවිතයෙන් වළකින්න. 
  • මුත්‍රා  පිට කරන ස්ථානය  ආශ්‍රිතව විවිධ සුවඳ විලවුන් ආදිය ගැල්වීමෙන් වළකින්න. 

ඉතින් මුත්‍ර ආසාදනයන් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වුණත් එවැනි මුත්‍රා ආසාදන නිතර ඇති වන්නේ නම් එය අසාමාන්‍ය තත්ත්වයක් බව මතක තබා ගන්න. එවැනි තත්ත්වයකදී වෛද්‍යවරයෙකු හමුවී අදාල පරීක්ෂණ සිදු කර ගෙන ප්‍රතිකාර ලබාගත යුතු වෙනවා. කොහොමනමුත් මුත්‍රා ආසාදනයන් වැළදුණු පසු ප්‍රතිකාර කරනවාට වඩා ඒ තත්ත්වයන් ඇතිවෙන්නට නොදී ආරක්ෂා වීමයි වඩා වැදගත් වෙන්නේ.