නිවසේදී හෝ වෙනත් ගමනක් බිමනක් යද්දි හෝ අපිට කුමන හෝ අනතුරක් සිදු වෙන්නට පුළුවන්. වැටීම්, කැඩීම් තැලීම් වගේම විශඝෝර සර්පයන්ගෙන් සහ කුඩා කෘමි සතුන්ගෙන් පවා අපිට යම් අනතුරු සිදු වෙනවා. දරුණු විෂ සහිත සතෙක් දෂ්ට කළොත් ඒ සඳහා පමා නොවී නිසි ප්‍රතිකාර නොකළොත් ඒ පුද්ගලයාගේ ජීවිතය පවා නැති වෙනවා. ඒ හැරුණාම, පත්තෑයා, ගෝනුස්සා, දළබුවා, කැරපොත්තා ආදී සතුන්ගෙන් පවා අපිට කරදර ඇති වෙනවා. දරුණු සතෙක් දෂ්ට කළොත් වෙද ගෙදර ගියත් එදා ගැමියා සුලු සර්ප හා කෘමි දෂ්ටනවලදී ඒ විෂ නැසීමට විවිධාකාරයේ අත් බෙහෙත් තමයි භාවිතා කළේ. අද වගේ නොවෙයි එදා ගැමියා ලෙඩ රෝග බොහොමයකටම සාර්ථක අත්බෙහෙත් දැන සිටියා. ඒ සඳහා අවශ්‍ය කරන ඔසු පැල තම නිවසේ වගා කරගන්නත් ඔවුන් අමතක කළේ නැහැ. ඉතින් කැරපොත්තා පත්තෑයා, ආදි ගෘහාශ්‍රිතව අපිට නිතරම දකින්නට ලැබෙන සතුන් නිසා අපේ ශරීරයට ඇතුලු වන විෂ නැතිකරගන්නට ඔවුන් සතුව විවිධ අත් බෙහෙත් තිබුණා. ඔන්න අපි අද කියන්නට සූදානම් වෙන්නේ සුළු සර්ප විෂ හා කෘමි විෂ නැති කර ගන්නට භාවිතා කළ හැකි අත් බෙහෙත් කිහිපයක් පිළිබඳව.
- කැරපොතු විෂට කෑමට ගන්නා හුණු ජලයට දැමූ විට නගින හුමාලය ඇල්ලීම
- තල තෙලින් හුණු අනා දෂ්ට කළ ස්ථානයේ තබා ගිනි පෙනෙල්ලෙන් රත් කරන්න.
- මීමුරු උණු දියෙන් අඹරා ඒ ස්ථානයේ ආලේප කරන්න.
- අමු කහ, බෝබුදළු අඹරා ආලේප කරන්න.
- ලුණු පුළුස්සා පොල්තෙල් සමඟ පත්තෑයා දෂ්ට කළ ස්ථානයේ ආලේප කරන්න.
- හබරල පිත්තක් කපා දෂ්ට කළ ස්ථානයේ තබන්න.
- පැපොල් මුලක් අඹරා ආලේප කරන්න.
- සස්සද මුල් ඇල්දියෙන් අඹරා ආලේප කරන්න.
- මූණමල් ඇට දෙහි ඇඹුලෙන් ගලගා අලේප කරන්න.
- ඉත්තෑ කූරක් පුළුස්සා ගත් අළු පොල් තෙලෙන් අනා ආලේප කරන්න.
- මදුරුතලා කොළ මිනිස් මුත්‍රාවාලින් අඹරා ආලේප කරන්න.
- කබලකින් ඇදගත් තල එළගිතෙලින් අඹරා ආලේප කරන්න.

- මී මැසි හා දෙබර විෂට ඉදුණු පුවක් ගෙඩියක පිට පොත්තෙන් එන යුෂ ආලේප කරන්න. මෙමගින් මී මැසි විෂ ඉවත්වීම සිදුවී ඉදීමීමත් නතර වෙනවා.
- ලුණු මගින් පොගවා ගත් රෙදි කැබැල්ලකින් දෂ්ට කළ ස්ථානය පිසදමා ඒ ස්ථානයේ සහිද ලුණු අඹරා ආලේප කරන්න.
- ඉදුණු පොල්පිත්තක් තලා එහි යුෂ දෂ්ට කළ ස්ථානයේ අලේප කරන්න.
- එරබදු කොළ දෙහි ඇඹුලෙන් අඹරා ආලේප කරන්න.
- යකිනාරං කොළ පොතු මිනිස් මුත්‍රාවලින් අඹරා ආලේප කරන්න.
- රසකිද වැල් කොටා එහි යුෂ දෙහි ඇඹුල් දමා රෝගියාට පොවන්න.
- රසකිද වැලක් ගෙන දඩු සහ කොළ කොටා මිරිකා දෙහි ඇඹුල් දමා රෝගියාට පොවන්න.

- ගෝනුසු විෂට මගුල් කරදමුල්, වදකහ, නිකමුල්, කොටා වතුර දමා තම්බා නගින දුම දෂ්ට කළ ස්ථානයට වැදෙන සේ අල්ලන්න. ඒ රොඩු අඹරා දෂ්ට මුඛයේ බදින්න.
- හුණු සමඟ කුප්පමේනියා අඹරා ගාන්න.
- පරණ කොහු ලණුවක් පුළුස්සා ගෙන එහි අළු ගෙන පොල්තෙලෙන් අනා ආලේප කරන්න.
- දළබු විෂට පරණ පොල්තෙල් ගා දළබු රෝම ඉවත් කර ගැට තුබ සහ අමුකහ එකට කොටා යුෂ ගෙන ආලේප කරන්න.
- දිවි මකුළු විෂට ගොටුකොළ කොටා යුෂ ගෙන කැඳ සකසා ගිතෙල් දමා පානය කරන්න.
- කපු දළු, අමුකහ ලුණු දමා කොටා මලවා බදින්න.
- පොල්පලා දෙහි යුෂයෙන් අඹරා ආලේප කරන්න.
- කලාදුරු විෂට රතු ළූණු ගෙඩියක් දෙකට කපා අතුල්ලා කඩුපහර කොළ හාල්පානු ජලයෙන් අඹරා ගාන්න.
- ගෙඹි විෂට නක කොළ, හීන් අරත්ත අල ගෝමුත්‍රායෙන් වේදුපාන්න. ඒ රොඩු අමුකහ සමඟ අඹරා දෂ්ට මුඛයේ තබා බුරුලෙන් බදින්න.

- හිකනල් විෂට රත්තම්පලා, කටුතම්පලා, තැඹිලි පොල් මුල්, තල්මුල් කලං තුන බැගින් ගෙන පත 8-1 ට සිඳ ගිතෙල් දමා පානය කරන්න.
- දිවුල් කොළ එරබදු කොළ කොටා පොල්කටු අගුරෙන් දුම් අල්ලන්න.
මේ සරල අත් බෙහෙත් කුමන හෝ අවස්ථාවකදී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නට යනතුරු විෂ දුරුකර ගන්නට ඔබට ප්‍රයෝජනවත් වේවි. ඒ වගේම ඒ බෙහෙත් සඳහා නිතර ඕන කරන අමුකහ , ඉරිවේරිය, ඉඟුරු ආදී ඔසු පැලත් තමන්ගේ ගෙවත්තේ වවා ගනන්ටත් අමතක කරන්නට එපා.