දියවැඩියාව කියා සාමාන්‍යයෙන් හඳුන්වන්නේ තිබිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා අධිකව රුධිර ග්ලූකෝස් (සීනි) මට්ටම ඉහළ ගොස් පවතින තත්වයකි.මෙය හයිපර්ග්ලයිසීමියා (hyperglycemia) තත්වය ලෙස ද හඳුන්වයි.ඔබේ අග්න්‍යාශය මඟින් ඉන්සියුලින් කියන හෝර්මෝනය ස්‍රාවය කරනු ලබයි. ඔබ ආහාරයට ගන්නා ආහාර පාන වල අඩංගු ග්ලූකෝස් ශක්තිය බවට පරිවර්තනය කිරීමට සෛල වලට උපකාර කරන්නේ මේ හෝර්මෝනයි.නමුත් දෙවන කාණ්ඩයේ දියවැඩියාව තත්වයේදී සිරුරේ ඉන්සියුලින් නිපදවීම සිදුවුණත් සිරුරේ සෛල වලට ඒවා ක්‍රමවත්ව භාවිතා කිරීමේ හැකියාවක් නැත. මෙය ඉන්සියුලින් නොඉවසීම/ප්‍රතිරෝධය (insulin resistance) ලෙස හඳුන්වයි.
ලෝකයේ දියවැඩියාව රෝගයට ගොදුරු වන පුද්ගලයින්ගේ ගණන ශීඝ්‍රයෙන් ඉහළ යන බව පෙනෙන්නට තිබෙනවා.මේ අතරින් බහුලව හඳුනාගත හැක්කේ දෙවන කාණ්ඩයේ දියවැඩියාවයි.මෙම කාණ්ඩයේ දියවැඩියා තත්වයේ රෝග ලක්ෂණ වර්ධනය වන්නේ ඉතා මන්දගාමිවයි.මුල් කාලයේදි තදබල නොවන රෝග ලක්ෂණ ඇතිවේ. මේ නිසාම බොහෝ අය මේ තත්වයන් නොසළකා හරිති. නමුත් මුල් කාලයේදීම රෝග ලක්ෂණ කෙරෙහි අවධානයෙන් සිට ඒවා හඳුනාගෙන නිසි ප්‍රතිකාර ගැනීමෙන් මෙම රෝගය වර්ධනය වීම ඵලදායිව වළක්වාගන්නට හැකියි.
දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගයේ පූර්ව ලක්ෂණ

නිතරම තදබල තෙහෙට්‍ටුවක් දැනීම සිරුරට අධිකව විඩාවක් දැනීම දියවැඩියාවේ ලක්ෂණයක් විය හැකියි.මාංශ පේශී අප්‍රාණිකබව,ඉසකරකැවිල්ල,ආහාර අරුචිය,විජලනය,ස්ථූලතාව සහ හෝර්මෝන අසමතුලිතතා හරහා එම තත්වය පෙන්නුම් කළ හැකියි.නින්ද මඟින් සිරුරට හොඳ විවේකයක් ලබාදෙයි. එහෙත් නිදාගෙන අවදි වූ පසුවත් ඔබේ සිරුරට නිතර මහන්සි ගතියක් දැනෙයි නම් එය නොසළකා හැර සිටින්න එපා.මෙය හඳුන්වන්නේ diabetes fatigue syndrome ලෙසයි.රුධිරයේ බහුල ග්ලූකෝස් පටක සහ අවයව වෙත අසීරුවෙන් අවශෝෂණය කරගැනීම නිසා සිරුරේ නිතර විඩාබර ගතියක් දැනෙයි.
තොළ කට වියළීම සිරුරේ සීනි මට්ටම් ඉහළවීම සහ ඇතැම් ඖෂධ ප්‍රතිකාර වගේම වෙනත් ස්වයංප්‍රතිශක්තිකරණ රෝග වල බලපෑමින් ද මෙම තත්වය ඇතිවිය හැකියි.තොල් සහ කට අධිකව වියළී යාම Xerostomia තත්වය ලෙස හඳුන්වයි.මුඛ දුර්ගන්ධය,කෙළ උකු වීම, දිව වියළීම,තොල් පැලීම,කට කොන් තුවාල වීම,රස සංවේදනා වෙනස්ව දැනීම සහ ගිලීම අපහසුවීම මෙහි මූලික ලක්ෂණයි.මෙය අපහසුතාවට පත්කරවන වෙන්ම ඇතැම් විට වේදනාකාරි ගැටලුවකි. මාස 6කට වරක් දන්ත වෛද්‍ය පරික්ෂාවක් කරගැනීමෙන් මෙවැනි අවදානම් හඳුනාගැනීම පහසුවෙයි.
අධික පිපාසයක් දැනීම අධික පිපාසයක් ඇතිවීම polydipsia තත්වයයි.සිරුරේ පිරිපහදු කාර්යන් සිදුකරන්නේ වකුගඩු මඟිනි.පෙර ක්‍රියාවලීන් හි දී අවශෝෂණය කරගත් (උරාගත්) පෝෂක නැවත අවශෝෂණය කරයි.රුධිරයේ අධික ලෙස ග්ලූකෝස් සංසරණය වන විට ඉන් වකුගඩු වල අධිභාරයක් ඇතිවෙයි.මූත්‍රා සමඟ යම් ප්‍රමාණයක් ග්ලූකෝස් බැහැර කළ ද බොහෝ ග්ලූකෝස් ප්‍රමාණයක් අවශෝෂණය කරගැනීමට පටන්ගනියි.ග්ලූකෝස් වලට තනිව සිරුරෙන් බැහැර විය නොහැකියි. ඒ සඳහා හොඳින් ජලය අවශ්‍ය වේ. පිපාසය දැනෙන විට ජලය පානය කරන්න. සීනි අඩංගු සිසිල් බීම, සෝඩා බීම,තේ,කෝපි, මත්පැන් වර්ග පානය නොකරන්න.
නිතර මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම වැඩිපුර ජලය පානය කිරීම නිසා වැඩියෙන් මූත්‍රා පිටවිය හැකියි.දහවල් කාලයේදී මෙන්ම රාත්‍රියේදී පවා නිතර නිතර මූත්‍රා පිටකිරීමට අවශ්‍ය වීම දියවැඩියා ලක්ෂණයක් වීමට පුළුවන්. මෙය පිළිකා,වකුගඩු රෝග සහ මූත්‍රාශයේ ආසාදන වැනි මාරාන්තික රෝග නිසා ද මතුවිය හැකි ලක්ෂණයක්. වෙනදාට වඩා අධිකව මූත්‍රා පිටවන්නේ නම් ,මෙය දිගින් දිගටම පවතියි නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
ආහාර රුචිය වැඩිවීම ඉඳහිට කැමති කැමති ආහාර වල රස බැලුවට කමක් නැති වුණත් දිනපතාම අධික ලෙස ආහාර ගන්න පෙළඹීම නම් සෞඛ්‍යයට හිතකර නැහැ.අසාමාන්‍ය ලෙස ආහාර රුචිය වැඩිවීම ,බඩගිනි වැඩිවීම දියවැඩියා අවදානම් පෙන්නුම් කරන සංඥාවක් විය හැකියි.දියවැඩියාව ඇතිවිට කොතරම් ආහාර ගත්තත් බඩ පිරී නැතිබවක් දැනෙයි.ආහාර ග්ලූකෝස් බවට පරිවර්තනය කරන්නේ ඉන්සියුලින් වලින් වුව ද දෙවන කාණ්ඩයේ දියවැඩියාවේදී සිරුරේ එම කාර්ය වඩාත් ආකර්යක්ෂම වෙයි.ග්ලූකෝස් සෛල වෙත සැපයීම දුර්වල නිසා සෛල වලින් මොළයට සංඥා කරන්නේ තවතවත් ග්ලූකෝස් සිරුරට ආශ්‍ය බවයි.මොළය ඊට ප්‍රතිචාර දැක්වීමක් ලෙස බඩගිනි වැඩිවෙයි. මෙහිදී රුධිර සීනි මට්ටම අධික වීම හෙවත් හයිපර්ග්ලයිසීමියා අවදානම වඩාත් ඉහළ යයි.

විදුරුමසින් ලේ ගැලීම දියවැඩියාව ඔබේ මුඛ සෞඛ්‍ය කෙරෙහි ද සෘණාත්මක බලපෑම් ඇතිකළ හැකියි.මුඛ බැක්ටීරියා පැරදවීමට නම් දිනපතා දත් මැදිම, ආහාර පාන ගත් පසු මුවසේදුම් දියර වලින් නිතර කට සේදීම, ඩෙන්ටල් ෆ්ලොස් වලින් දත් පිරිසිදු කිරීම ඉතා වැදගත්.රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ වන විට සිරුරේ බැක්ටීරියාවන්ට එරෙහිව සටන් කිරීමේ හැකියාව වඩාත් දුර්වල වෙයි.මුඛයේ සෑදෙන සීනි අම්ල මුඛ බැක්ටීරියා වර්ධනයට හිතකර පරිසරයක් ඇතිකරමින් දත් පණුවන් කෑම (කුහර), මැලියම් බැඳීම,දිරායාම වැනි ගැටලු ඇතිකරයි. විදුරුමස් වලට එල්ලවන බලපෑමත් සමඟ දත් මුල් ඉදිමීම, විදුරුමස් දියවීම, විදුරුමස් වලින් ලේ ගැලීම වැනි ගැටලු ද ඇතිවෙයි.
පෙනීම දුර්වල වීම ඇසේ පිහිටි රුධිර නාල ඉතා කුඩාය. දියවැඩියාව තත්වයේදී මේවා කාන්දුවීම සහ රෙටිනාවේ (දෘෂ්ටි පටලයේ) තරල ක්ෂය වීමට පටන්ගනියි.දිගින් දිගටම පවතින අධි රුධිර සීනි මට්ටම නිසා ඇස් පෙනීම බොඳ විය හැකියි.රෙටිනාවේ ආලෝක සංවේදී කොටස් වලට හානිවෙයි.macular edema තත්වය ලෙස මෙය හඳුන්වයි.ඇසේ සුදමතුවීම, ග්ලූකෝමා හෙවත් ඇසේ පීඩනය වැඩිවීම වැනි ගැටලු ද මතුවිය හැකියි.නිසි කලට දියවැඩියා අවදානම හඳුනාගනිමින් ඊට ප්‍රතිකාර ගැනීමත් සමඟ දියවැඩියාව හා සම්බන්ධ අක්ෂී ගැටලු වර්ධනය වීම බොහෝ දුරට වළක්වාගත හැකියි. දියවැඩියාවට ප්‍රතිකාර නොලැබීමෙන් ස්ථීර ලෙස ඇස් පෙනීමට හානි විය හැකියි. කලින් කලට අක්ෂි පරික්ෂා සිදුකරගැනීම මඟින් මෙම අවදානම් අවම කරගත හැකියි.
තුවාල සුවනොවීම කුඩා තුවාලයක් වුවත් සුවවීමට ඉතා දිගු කාලයක් යාම බොහෝ විට ඔබ දියවැඩියා අවදානම ඇති කෙනෙකු බව පෙන්නුම් කරන සංඥාවක් විය හැකියි.දියවැඩියාව සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල කරයි.සිරුරේ ප්‍රදාහය වැඩිකරවන නිසා තුවාල සුවවීමේ ක්‍රියාවලිය මන්දගාමී කරවයි.රුධිර නාළ පටුවීමට පටන්ගැනීම නිසා රුධිර සංසරණය දුර්වල වී තුවාලයට අවශ්‍ය පෝෂක සහ ඔක්සිජන් සැපයුම ඇණහිටියි.තුවාල සුවවීමට කල්ගත වන්නේ ඒ නිසයි.දියවැඩියා රෝගීන් කකුල් වල ඇතිවන තුවාල ගැන වැඩි සැලකිල්ලකින් පසුවිය යුතුයි. කුඩා කැපුමක් හෝ තුවාලයක් වුවත් සුවනොවන වණයක් ලෙස ඉක්මනින් වර්ධනය වීමේ අවදානම මොවුන් තුල බහුලයි.

බර අඩුවීම අසනීප වූ විට සිරුර බර යම් ප්‍රමාණයකින් අඩුවීම සාමාන්‍යයයි. ආහාර පාලනය හෝ ව්‍යායාම නොකරම පැහැදිලි හේතුවක් නොමැතිව සිරුරේ බර එන්න එන්නම අඩුවීම දියවැඩියාවේ අවදානම් සංඥාවක් විය හැකි බව පෙන්වාදෙයි.ග්ලූකෝස් සෛල වෙත ලඟානොවීමත් සමඟ ඒවා මඟින් සිරුරේ ශක්තිය ඇත්කිරීමට මේද සහ පේශී වේගයෙන් දහනය කිරීමට පටන්ගනියි.මෙය දියවැඩියාවේ ප්‍රධානම ලක්ෂණයක් ලෙස සඳහන් කළ නොහැකි වුවත් වෙනත් ලක්ෂණ කිහිපයක් සමඟ මතුවිය හැකියි.
ඇඟිලි තුඬු සහ යටි පතුල් වල පුපුරු ගසන ගතියක් දැනීම diabetic neuropathy තත්වය හෙවත් දියවැඩියාව නිසා ස්නායු වලට හානිවීමෙන් අත පය ආශ්‍රිත හිරිවැටීම් හෝ පුපුරුගසන ගතිය ඇතිවෙයි.මෙය සිරුරේ ස්පර්ෂ සංවේදනය සහ ප්‍රතීක ක්‍රියා (reflexes) අඩුවීමට පවා හේතුවිය හැකියි.සම තුලට ඇල්පෙනෙති සහ ඉඳිකටු වලින් අනිනවාක් මෙන් දැනෙන දරාගත නොහැකි වේදනාවක් ලෙස මෙය දියවැඩියා රෝගීන් විසින් හඳුන්වයි.ස්නායු වලට එල්ල වන බලපෑම නිසා ඔබේ ඇවිදීමේ හැකියාවට බාධා ඇතිවීමට මෙන්ම දැවිල්ල සහිත වේදනාව අත්දැකීමට ඉඩ ඇත.
සමේ අඳුරු පැල්ලම් මතුවීම සම වෙල්වට් ස්පර්ෂයකින් යුතුව අඳුරු වීම acanthosis nigricans නම් තත්වයයි.මෙය ඉකිලි,කිහිලි සහ බෙල්ල වැනි සම නැවී ඇති ප්‍රදේශ වල ඇතිවන පිග්මන්ටේෂන් තත්වයකි.දියවැඩියාව නිසා සම වඩාත් ඝනකම් සහ අඳුරුවීමට පටන්ගත හැකියි.ඉන්සියුලින් ප්‍රතිරෝධය මීට මූලික වේ.මෙය පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝමය හා සම්බන්ධ ලක්ෂණයක් ලෙස ද සැලකේ.සමේ මෙවැනි ලක්ෂණ මතුවී ඇත්නම් වෛද්‍යවරයෙකු වෙත යොමුවී ගැටලු තත්වය හඳුනාගෙන ඊට ප්‍රතිකාර ලබාගන්න. නිතර සමේ ආසාදන ඇතිවීම
දෙවන කාණ්ඩයේ දියවැඩියා රෝගින් තුළ බැක්ටීරියා සහ දිලීර ආසාදන බහුලය.ඊට හේතුව දියවැඩියාව සිරුරේ ප්‍රතිශක්තිය දුර්වල කිරීමය.සම මත දියපට්ටා මතුවීම,නියපොතු සහ ඇස් කොන් වල ආසාදන මතුවීම බහුලව සිදුවේ නම් වඩාත් සැලකිලිමත්වන්න.මූත්‍රා සමඟ ග්ලූකෝස් පිටවීම නිසා මූත්‍රා මාර්ගයේ යීස්ට් ආසාදනය විය හැකියි.යෝනි ප්‍රදේශයේ මෙන්ම මුඛයේද යීස්ට් ආසාදන පැතිරිය හැකියි. සමේ තෙත රැඳෙන තැන්වල ( ඉකිලි, පියයුරු යට,ඇඟිලි කරු අතර )දිලීර වර්ධනය විය හැකියි.