බඩවැල්වල පණුවන් දවස් දෙකෙන් ඉවත් කරන අමු ගස්ලබු මැල්ලුම

health tips

හොඳින් ඉදුණු ගස්ලබු බාල, මහලු කොයිකාටත් ගුණදායක රසවත් ගුණවත් පලතුරක්. ඒ වගේම රෝග බොහොමයකටම ඉතා ගුණදායක ආහාරයක්. නමුත් අපි අද කතා කරන්නේ නම් ඉදුණු ගස්ලබු ගැන නෙමෙයි. අපි අද කතා කරන්නේ අමු ගස්ලබු අපේ ශරීරයට කොයිතරම් වැදගත් ද කියන කාරණාව ගැන.

පොදුවේ ගස්ලබු ආහාරයකට වඩා ඖෂධයක් විදියට සලකන්නට හැකියාව තියෙනවා. විශේෂයෙන්ම අමු ගස්ලබුවල මේ ඖෂධීය ගුණය තරමක් වැඩිපුර අන්තර්ගත වෙලා තියෙනවා. නූතන පරම්පරාවේ බොහෝ දෙනෙක්ට අමතක වෙලා තියෙන අපූරු ආහාරයක් තමයි අමු ගස්ලබු  මැල්ලුම. ඉතින් මේවා ආහාරයට ගත්ත කෙනෙක්ට නම් මේ රසය සුවඳ කවදාවත් අමතක වෙන්නේ නැහැ. 

අමු ගස්ලබු සාමාන්‍ය මැල්ලුමක් විදිහට වගේම මඤ්ඤොක්කා කොල, කොච්චි හෝ නයි මිරිස් එක්ක කොටලා සකස් ගන්නත්  පුළුවන්. ඒ වගේම නියඹලාව විදිහට පරිප්පු සමග ආදී විවිධ ආකාරයට පිළියෙල කර ගන්නටත්  හැකියාව තියෙනවා. 

 මේ අමු ගස්ලබු කොතරම් ඖෂධීය ගුණයෙන් ඉහළ ද කියලා කිව්වොත් එදා ගැමියන් කුඩා දරුවන්ගේ පණු රෝග සඳහා අමු ගස්ලබු තීරුවක්  කෑමට දුන්නා. ඒ නිසා සතියකට දෙවරක් වගේ ඔබේ ආහාර වේලට එකතු කර ගතයුතුම වස විස නැති ගුණදායක ආහාරයක් විදියට මේ අමු ගස්ලබු ව්‍යංජනය එහෙමත් නැත්නම් මැල්ලුම සඳහන් කරන්නට පුළුවන්.

අමු  ගස්ලබු සතු සුවිශේෂී ගුණ

ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට දායක වෙනවා. ගස්ලබුවල අඩංගු වෙන පැපේන් කියන එන්සයිමය ආහාර ජීර්ණය පහසු කරන්නට උදව් වෙනවා. මස් වර්ග ආදිය පිසීමේදී ඒවාට අමු ගස්ලබු කෑලි කිහිපයක් එකතු කරන්නේ ද ගස්ලබු සතු මේ ගුණය හේතුකරගෙනයි. එවිට ඉතා පහසුවෙන් මස් මෙලෙක් වීම සිදු වෙනවා. ඉතින් ඒ නිසා ආහාර ජීර්ණය හොඳින් සිදු කරන්නට අමු ගස්ලබු අපිට උදව් වෙනවා.

  • ශරීරයේ ඇති විෂ ඉවත් කරනවා.
  • ශරීරයේ බඩවැල්වල සහ අනෙකුත් ස්ථානවල හැදෙන පණුවන්  නැති කිරීමේ හැකියාවකින් යුක්තයි.
  • දේහයේ අනවශ්‍ය මේදය දියකර හරින්නට උදව් වෙනවා.
  • තන්තු බහුල ආහාරයක් නිසා මලබද්ධය ඇතිවීම වළක්වනවා.
  • සමේ රෝගවලින් පෙලෙන අයට ඉතා ගුණදායකයි. 
  • තරුණ බව ආරක්ෂා කර ගැනීම සඳහා උපකාරී වෙනවා.

අමු ගස්ලබු මැල්ලුම සාදාගන්නා ආකාරය

අවශ්‍ය ද්‍රව්‍ය

  •  අමු ගස්ලබු ගෙඩියක්
  •  සුදු ළූණු 
  •  ගම්මිරිස් කුඩු 
  •  අමුමිරිස්
  •  අබ ස්වල්පයක්
  •  ලූණු
  • ගා ගත්  පොල්
  •  දෙහි
  •  කරපිංචා
  •  රම්පේ
  •  කුරුදු පොත්තක් 
  • වියලි මිරිස් කරලක් 
  • පොල් තෙල් ස්වල්පයක්  

සාදාගන්නා ආකාරය

 මුලින්ම ගස්ලබු ගෙඩියේ ඇට සහ පොතු ඉවත් කර ගන්න. ඒවා තීරු වශයෙන් කපාගන්න.

 හොඳින් සෝදා වතුර මිරිකා කහ , ලුණු සහ වතුර අවශ්‍ය පමණට එකතු කර තම්බා ගන්න.

 වතුර ගොඩක් එකතු නොකර බෙරි නොවන ආකාරයට තම්බාගන්න මෙහිදී වග බලා ගන්න.

  පොල් මිශ්‍රණය සකසා ගැනීම සඳහා  ගා ගත් පොල්වලට සුදුළූණු, අමු මිරිස්, අබ, ළූණු, ගම්මිරිස්, ලුණු ආදිය එකතු කර හොඳින් කොටා ගන්න. එහෙම නැත්නම්  අඹරා ගන්න.

මේ  අඹරා ගත් මිශ්‍රණය ගස්ලබුවල වතුර සිඳී ගිය පසු එයටම එකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගන්න. කූරුගාමින් විනාඩියක් පමණ පිසගෙන ලිපෙන් ඉවතට ගෙන  දෙහහි යුෂ එකතු කරන්න.

 මේ මැල්ලුම තවත් රසවත් කරගන්නට භාජනයකට තෙල් ස්වල්පයක් දමා එයට අබ තේ හැන්දක්, කුරුඳු පොත්තක්, රම්පෙ කරපිංචා, වියළි මිරිස් කරලක් ආදිය එකතු කර බැදෙන්නට හැර පොල් ස්වල්පයක් එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. එයට ගස්ලබු ටිකත් එකතු කර මිශ්‍ර කර ගන්න. තෙම්පරාදුව සදහා අබ එකතු කරනවා නම් පොල් මිශ්‍රණය සාදා ගැනීමේදී අබ එකතු නොකරන්නට මතක තියාගන්න. 

සැලකිලිමත් විය යුතු කරුණු

  • අමු ගස්ලබු නිතරම ආහාරයට ගැනීම පිරිමි  පාර්ශවයට මඳසරුභාවය ඇති කරන්නට හේතුවක් වන බවට ඇතැමුන් අතර අදහසක් පවතිනවා. ඒ නිසා සතියකට දෙවරක් පමණ හැරුනහම නිතර මෙය ආහාරයට එකතු කර නොගන්න.
  • ගර්භනීභාවය අපේක්ෂා කරන කාන්තාවන් සහ ගර්භනී කාන්තාවන්ට මේ  අමු ගස්ලබු මැල්ලුම හෝ ව්‍යංජනය ආහාරයට ගැනීම සුදුසුම නැහැ.   අමු ගස්ලබුවල latex බහුලව අන්තර්ගත වෙන නිසා ගබ්සාවීම් ඇති වෙන්නට පුළුවන්. 
  • දරු ප්‍රසූතියෙන් පසුව වුණත් ඇතැම් විට මෙය ආහාරයට ගැනීම අහිතකර විය හැකියි.
  • ගස්ලබුවල ඇති කිරි ගතිය හේතු කරගෙන විවිධ ආසාත්මිකතා ඇති වෙන්නට පුළුවන්. ඒ නිසාවෙන් කිරි හොඳින් ඉවත් කර ගැනීම සහ හොඳින් පිස ගැනීම මෙහිදී සිදු කළ යුතු බව මතකයේ තබා ගන්න.
  • ඇතැම් විට ගස්ලබු වැඩිපුර ආහාරයට එකතු කර ගත්තොත් පවා විවිධ ආසාත්මිකතා ඇති වෙන්නට පුළුවන්. 

 ඉතින් මේ කාරණා පිළිබඳව සැලකිලිමත් වෙමින් ඔබට මේ ගුණදායක ආහාරය ඔබේ ආහාරයට එකතුකර කරගන්න මතකයේ තබා ගන්න.