ගර්භාෂයේ ගෙඩියක් ඇති බව පෙන්නුම් කරන රෝග ලක්ෂණ 8 ක්

health tips

ගර්භාෂය කියන්නේ කාන්තා පාර්ශවයට අතිශයින්ම වැදගත් වන ඉන්ද්‍රියක්. දරුවෙකු පිළිසිද ගෙන ප්‍රසූතිය සිදුවන තුරු වර්ධනය වන ගර්භාෂය ආශ්‍රිතව විවිධ ලෙඩ රෝග හටගනු ලබනවා. ඒ අතුරින් පිළිකා නොවන ගෙඩි විශේෂයන් ගර්භාෂය ආශ්‍රිතව හටගනු ලබනවා. මේ තත්ත්වය ෆයිබ්‍රොයිඩ් යන නමින් හඳුන්වනු ලබනවා.මේ රෝග තත්ත්වයන් සෑම කාන්තාවන් 4 දෙනෙකුගෙන් එක් අයෙකුට හට ගන්නා වඩාත් සුලභ තත්ත්වයක්. මේ ගෙඩි බරපතල නොවුණත් එය දරුවෙකු පිලිසිද ගැනීම කෙරෙහි බාධා කරන්නට බලපාන හේතුවක්. ඒ හැරුණාම දරු ප්‍රසූතයේදී සංකූලතා ඇති කරන වෙනත් ශාරීරික අපහසුතා ගෙනදෙන තත්ත්වයක්. ඒ වගේම ඉතා කුඩා ප්‍රමාණයේ සිට මුළු උදර කුහරයම වසා ගන්නා ඉතා විශාල ගෙඩි දක්වා මෙය වර්ධනය වන්නටත්  පුළුවන්. ඒ වගේම ඒ ෆයිබ්‍රොයිඩ් ගෙඩි එකක් දෙකක් නොව විශාල ගණනක් වුණත් ඇති වෙන්නට පුළුවන්.නමුත් මේ ගෙඩි තම ගර්භාශයේ ඇති බව බොහෝදෙනා දන්නේ නැහැ. ඉතින් අද අපි කතා කරන්නට සූදානම් වෙන්නේ කාන්තා ඔබට ගැටළු රැසක් ඇති කරන්නට හේතුවන මේ ෆයිබ්‍රොයිඩ් හෙවත් පිළිකාමය නොවන ගෙඩි වර්ග පිළිබඳවයි.

මේ ගෙඩි විශේෂයෙන්ම ගර්භාෂයේ පිටත බිත්තිය ඇතුළත, බිත්තිය ඇතුළත ආවරණය, ගැබ් ගෙල ආදී ඕනෑම ස්ථානයක ඇති වෙන්නට පුළුවන්.මේ ගෙඩි සංඛ්‍යාව,හට ගන්නා ස්ථානය සහ ප්‍රමාණය අනුව දැක ගත හැකි රෝග ලක්ෂණ වෙනස් වෙනවා.වැඩිදෙනෙකුට පිහිටන්නේ සෙන්ටිමීටරයකටත් වඩා කුඩා හානිදායක නොවන ගෙඩි. නමුත් සෙන්ටිමීටර් 5 ඉක්මවූ ගෙඩි සුළුවට ගත යුතු නොවෙයි. ෆයිබ්‍රොයිඩ් පිහිටන ස්ථානය අනුව වර්ග 4 ක් හඳුනා ගන්නට පුළුවන්.

  • Intramural Fibroids බහුලව දකින්නට ලැබෙන මේ තත්ත්වය ගර්භාෂයේ ඇතුළත මාංශමය බිත්තියේ ඇති වෙන්නට පුළුවන්.මේ ෆයිබ්‍රොයිඩ් විශාල ලෙස වර්ධනය විය හැකි අතර ගර්භණී තත්ත්වයකදී ගර්භාෂය ඇදීමකට ලක් කරන්නටත් පුළුවන්.
  • Subserosal Fibroids ගර්භාෂයේ බිත්තියේ යටින් ඇතිව ගර්භාෂය තුලට වර්ධනය වන ගෙඩි විශේෂයක්.
  • Submucosal Fibroids ගර්භාෂ බිත්තියේ යටින් ඇතිව ගර්භාෂය තුළට වර්ධනය වන ගෙඩි විශේෂයක්.
  • Pedunculated Fibroids ගර්භාෂයට ඇතුළතින් හෝ පිටතින් කුඩා නටුවක මාර්ගයෙන් පිටතට එල්ලෙන ගෙඩි මේ නමින් හැඳින්වෙනවා.

මේ තත්ත්වය ඇතිවෙන්නට බලපාන නිශ්චිත හේතුවක් තවමත් සොයාගෙන නැහැ.නමුත් හෝර්මෝනවල ඇතිවන යම් යම් වෙනස්වීම් නිසා වගේම පවුලේ අයෙකුට මේ තත්ත්වය තිබීම නිසා ඇතිවෙන ජානමය බලපෑම් නිසාත් ෆයිබ්‍රොයිඩ් ඇති වෙන්නට පුළුවන් බව සඳහන් වෙනවා. ඒ  හැරුණාම වර්තමානයේ පුද්ගලයන්ගේ ආහාර රටාවත් මේ සඳහා යම් බලපෑමක් සිදු කරන බව ආයුර්වේද වෛද්‍ය  විද්‍යාව තුළ සඳහන් වෙනවා.

රෝග ලක්ෂණ මේ තත්ත්වයේදී කාන්තාවන්ගෙන් 50%ට රෝග ලක්ෂණ කිසිවක් ඇති වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගර්භාෂයේ පිටත බිත්තියේ ඇතිවන ෆයිබ්‍රොයිඩ් ඉතා විශාල වනතුරු කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම දකින්නට පුළුවන්. එවැනි තත්ත්වයකදී ෆයිබ්‍රොයිඩ් හඳුනා ගත හැකි වෙන්නේ ස්කෑන් පරීක්ෂණයකින් පමණයි . ඒ හැරුණාම මේ තත්ත්වයේදී රෝග ලක්ෂණ දකින්නට හැකි අවස්ථාද පවතිනවා.

  • වැඩි වාර ගණනක් මුත්‍රා  පිටවීම 
  • ආර්ථව සමයේදී වන රුධිරය වහනය අධික වීම 
  • ආර්තව සමයේදී රුධිරය කැටි ලෙස පිටවීම 
  • යටිබඩේ ඇතිවන වේදනාව
  • වැඩි දින ගණනක් ඔසප් රුධිරය වහනය වීම 
  • ලිංගික එක්වීමකදී ඇතිවන අධික වේදනාව 
  • උදරය විශාල වීම  
  • උකුල හා කොන්දේ ප්‍රදේශයේ වේදනාව 

ෆයිබ්‍රොයිඩ් වැළදීමේ වැඩි අවදානමක් ඇති අය වයස අවුරුදු 15-50 ත් අතර වයසේ පසුවන කාන්තාවකට මේ රෝගය ඇති වෙන්නට පුළුවන්. ඒ හැරුණාම වැඩි අවදානමක් ඇති කාණ්ඩයන් ද සිටිනවා.

  • ස්ථුලතාවයෙන් පෙළෙන කාන්තාවන් 
  • දරුවන් නොමැති කාන්තාවන් 
  • එක් දරුවෙක් පමණක් සිටින කාන්තාවන් 

ෆයිබ්‍රොයිඩ් හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් 

දරුවෙකු පිළිසිද ගැනීමට බාධා ඇතිවීම කොහොමනමුත් මේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි හටගන්නා ස්ථානය අනුව ඇතිවිය හැකි බලපෑම් වෙනස් වෙනවා. විශේෂයෙන්ම ගර්භාෂ කුහරය ඇතුළත ෆයිබ්‍රොයිඩ් නෙරා ඇති අවස්ථාවල රුධිර වහනය අධික වශයෙන් සිදු වෙනවා. එවැනි අවස්ථාවක සංසේචිත ඩිම්බයක් ගර්භාෂයේ තැන්පත්වීමේ දුෂ්කරතා නිසා දරුවෙකු පිළිසිද ගැනීමට එය බාධාවක් වෙනවා.

  • ගබ්සාවීම 

දිගින් දිගටම ගබ්සාවීම් ඇතිවන විට ස්කෑන් පරීක්ශණයක් මගි ෆයිබ්‍රොයිඩ් තත්ත්වයක් ද යන්න පරීක්ශා කරවා ගත යුතු වෙනවා. 

  • දරුවෙකු පිළිසිද ගැනීමෙන් පසුව සංකූලතා ඇතිවීම 

විශේෂයෙන්ම ගර්භණී කාලයේදී හෝර්මෝන නිකුත්වීම වැඩි වීම නිසා මේ ගෙඩි ඉතා ඉක්මනින් වර්ධනය වෙනවා.ඒ නිසා දරුවාට වර්ධනය වීමට ඉඩ මදිවීමෙන් බබා සාමාන්‍ය ක්‍රමයෙන් වෙනස් ඉරියව්වලින් සිටින්නට පුළුවන්. 

  • මවගේ ජීවිතය අවදානමකට පත්වීම 

ඇතැම්විට ෆයිබ්‍රොයිඩ් ඇතිවිට දරුවෙකු පිළිසිද ගතහොත් ඒ සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ දරු ප්‍රසූතියෙන් පසුවයි.එවන් තත්වයකදී පසු ප්‍රසව රක්තපාතය ඇතිවී මවගේ ජීවිතය අවදානමකට ලක්වෙන්නට පුළුවන්. 

යම්විටෙක  ගර්භාෂයේ පහළ කොටසේ ෆයිබ්‍රොයිඩ් පිහිටා තිබුණොත් සිසේරියන් සැත්කමකින් දරු ප්‍රසූතිය සිදු කරනු ලබනවා.

මේ සම්බන්ධ රෝග ලක්ෂණ ඇත්නම් හෝ යම් ගැටළුකාරී තත්ත්වයන් ඉහත සඳහන් කළ ආකාරයේ ඇති වන්නේ නම් වෛද්‍යවරයෙකු හමුවී එය පරීක්ෂා කරවා ගත යුතුයි. ඒ සඳහා Ulhtra sound Scan හෝ MRI ස්කෑන් පරීක්ෂණ වෛද්‍යවරයා නිර්දේශ කරනු ලබනවා.

මේ ඇතැම් ෆයිබ්‍රොයිඩ්වලට ප්‍රතිකාර කිරීමක් අවශ්‍යය නොවන අතර තවත් ඒවා හෝර්මෝන මගින් දිය කරහරිනු ලබනවා. නමුත් තරමක් විශාල ගෙඩි ඇත්නම් ඒවා සැත්කම් මගින් ඉවත් කරන්නට සිදු වෙනවා. නමුත් ඒ ගෙඩි නැවත නැවත ඇතිවෙන්න පුළුවන්. යම් විටෙක විශාල තත්ත්වයේ ගෙඩි සුව කළ නොහැකි මට්ටමින් පවතින විටක දී ගර්භාෂය ඉවත් කිරීමට කටයුතු කරනවා.

යම්විටෙක ෆයිබ්‍රොයිඩ් ඇති බව දැනගෙන ඒ සඳහා ප්‍රතිකාර නොකර සිටීම උදරය ඉදිරියට නෙරා ඒම, වළලුකර පහළ කොටස ඉදීමම, නහර ගැට ගැසීම, මුත්‍ර කිරීමේ සහ මලපහ කිරීමේ අපහසුතා ආදිය වර්ධනය වීමට ඉඩ සැලසෙන බවත් මතක තබා ගත යුතුයි.