ඔබත් අයඩීන් ඌණතාවයෙන් පෙළෙන බව කල්තියා පෙන්නුම් කරන ලක්ෂණ 10 ක්

health tips

අද බහුතරයක් දෙනෙකුට තයිරොයිඩ් ග්‍රන්ථිය ආශ්‍රිත ගැටලු පවතිනවා. මේ සඳහා බලපාන මූලිකම කාරණාවක් තමයි අයඩින් ඌණතාවය කියන්නේ. අපිට අයඩීන් අවශ්‍ය වෙන්නේ කුමන කාර්යයක් සඳහා ද එවැනි  ඌණතාවයක් ඇති වුණොත් එය හඳුනා ගන්නේ කොහොමද සහ ඒ සඳහා අපිට යෙදිය හැකි පිළියම් මොනවද කියන කාරණා ගැන අපි හැමෝම දැනුවත් වෙලා හිටියොත්  අයඩීන් ඌණතාවය මගහරවා ගන්නට හැකියාව ලැබෙනවා. ගොඩක් අය මේ ඌණතාවය හඳුනා ගන්නේ ගලගණ්ඩය දක්වාම මේ ගැටළුව වර්ධනය වුණාට පසුව . ඒ නිසා  ඔන්න අපි අද කතා කරන්නේ අපේ ශරීරයට නැතුවම බැරි අයඩීන් ගැනයි. 

මොනවද මේ අයඩීන්-බෙල්ලේ ඉදිරිපස යටි කොටසේ පිහිටලා තියෙන තයිරොයිඩ්  ග්‍රන්ථියට තයිරොක්සින් හෝමෝනය  නිෂ්පාදනය සඳහා දිනපතාම සුළු වශයෙන් අත්‍යවශ්‍ය වන ශුද්‍ර පෝෂක මූල ද්‍රව්‍යයක් තමයි අයඩීන්. දෛනිකව අපේ ශරීරයට අවශ්‍ය වෙන්නේ ඉතා සුළු ප්‍රමාණයක් වුණත්  දිනපතාම ඒ අයඩීන් ප්‍රතිශතය අපේ ශරීරයට ලැබිය යුතුමයි .ඉතින් අපේ ශරීරයට එදිනෙදා අවශ්‍ය වෙන අයඩීන් බෙල්ලේ තිබෙන තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් අවශෝෂණය කරගෙන ඉතිරිය මුත්‍රා සමඟ දියවෙලා ශරීරයෙන් පිට වෙලා යනවා. ඒ නිසාම අපේ ශරීරයේ වැඩිපුර අයඩීන් තැන්පත් වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා අයඩීන් විශ වීම සිදු වෙන්නෙත් නැහැ. 

යම් අවස්ථාවක අපේ එදිනෙදා ආහාර වේලේ අයඩීන් අඩු වුණොත් එය හේතු කරගෙන අයඩින් ඌණතාවය  ඇති වෙනවා.අයඩීන් ඌණතාවය  මිනිස් කලලයේ සිට වයෝවෘ ද මහල්ලා දක්වාම ඉතා දරුණ  භයානක ජීවිත තර්ජන ඇති කරන නිසා අයඩීන් ඌණතාවයක් ඇති නොවන පරිදි අහාර රටාව සකස් කරගන්නට අපිට සිද්ධ වෙනවා.

  අයඩීන් ඌණතාවයක් හඳුනා ගත හැකි ලක්ෂණ 

ගලගණ්ඩය හෙවත් වායු ගෙඩි ඇතිවීම-අපි ගන්නා ආහාරවලින් අයඩීන් ශරීරයට නොලැබෙන නිසා තයිරොක්සින් නිෂ්පාදනය වැඩි කිරීමට තයිරොයිඩ් ග්‍රන්ථිය ඉදිමීම සිද්ධ වෙනවා. බෙල්ලේ වායුගෙඩි එහෙම නැත්නම් ගලගණ්ඩය විදියට සදහන් වෙන මේ රෝග තත්ත්වය ඒ නිසා ඇති වෙන්න පුළුවන් . ඒත් මේ ගලගණ්ඩය ඇති වෙන්න තවත් හේතු බලපානවා. කොහොමවුණත් මේ තත්ත්වය තරුණයන්ටත් වඩා තරුණියන් අතර වඩාත් බහුල රෝග තත්ත්වයක්. 

  • ගෙල ප්‍රදේශයේ යම් වේදනාවක් හෝ  ගිලීමේ අපහසුවක් ඇති වීම 
  • හුස්ම ගැනීම අපහසුතාවය 
  • නිතර සීතල දැනීම 
  • හිසකෙස් ගැලවී යාම 
  • ළමා වියේ සහ  යෞවන අවධියේ බුද්ධි මට්ටම අඩුවීම
  • කතාවේ සහ ඇසීමේ දෝෂ
  • කායික වර්ධනය දුර්වල වීම
  • ඵලදායිතාවය අඩුවීම
  • මානසික ක්‍රියාකාරකම්වල  පසුබැසීම් 
  • උදාසීනත්වය
  •  පහසුවෙන් වෙහෙසට පත්වීම 
  • දේහ බර වැඩිවීම 

අයඩීන් ඌණතාවය නිසා ඇතිවිය හැකි බරපතල ගැටළු  

  • මන්ද බුද්ධිකභාවය-අලුත උපන් දරුවන්ගේ මොළයේ වර්ධනයට අයඩීන් ඌණතාවය ස්ථිර වශයෙන්ම බලපාන නිසාවෙන් එවැනි දරුවන් සදාකාලිකවම මන්දබුද්ධික භාවයට පත් වෙන්නට හැකියාව තියෙනවා.
  • මළ දරු උපත් සහ ගබ්සා වීම-ගර්භනී කාලයේදී මවට ප්‍රමාණවත් තරම් අයඩීන් නොලැබීම හේතුකරගෙන මළ දරු උපත් සහ ගබ්සා වීම් ඇති වෙන්න පුළුවන්. ඒ හැරුනහම ඒ ඉපදෙන දරුවන්ට  ක්‍රෙටිනතාවය (කුරුබව )  කියන මන්දබුද්ධික  තත්ත්වයට වුණත් ඇති වෙන්නට පුළුවන්. 

දෛනිකව ලබාගත යුතු අයඩීන් ප්‍රමාණය-වැඩිහිටි  පුද්ගලයෙකුගේ දෛනික අයඩීන් අවශ්‍යතාවය මයික්‍රොග්‍රෑම් 150. ඒ අනුව එක් පුද්ගලයෙකුට තමන්ගේ ජීවිත කාලය පුරාවටම අවශ්‍ය වෙන්නේ තේ හැන්දක් පුරවන්නට තරම් වන අයඩීන් ප්‍රමාණයක් පමණයි. නමුත් මෙහි වැදගත්කම වෙන්නේ දිනපතාම අවශ්‍ය ප්‍රමාණය අපේ ශරීරයට ලබා ගත යුතු වීම . නමුත් ගර්භනී මවක් දිනකට ලබාගත යුතු අයඩීන් ප්‍රමාණය මයික්‍රොග්‍රෑම් 200 ක් තරම් වෙනවා. මේ ප්‍රමාණයේ අඩුවීමක් වුණොත් එය කුසේ වැඩෙන කළලයට අහිතකර ලෙස බලපාන්නට පුළුවන්.

අයඩීන් අවශ්‍යතාවයෙන් 90% ක් ආහාරවලින් ද  10 % ක් ජලය මගින් ද ලබා ගන්න පුළුවන්. අයඩීන් අඩංගු වෙන්නේ පසේ  වර්ධනය වන බෝගවල සහ ජලයේ. 

අයඩීන් ඌණතාවය අපේ රටේ උතුරු නැගෙනහිර පළාත්වල තරමක් අඩුවෙන් තමයි දැකගන්නට ලැබෙන්නේ.  ගංගා ආශ්‍රිත ගංවතුර ගලන ප්‍රදේශවල අයඩීන් ඌණතා රෝග බහුල වශයෙන් දකින්නට ලැබෙනවා. ඒ  කඳුකරයේ සහ ගංගා ආශ්‍රිතව ගං වතුර ගලන ප්‍රදේශවල පොළොවේ ඇති අයඩීන් ලවණ ජලය  සමඟ පහසුවෙන් දියවෙලා මුහුද කරා ඇදී  යන නිසා. ඒ වගේ ප්‍රදේශවල වැවෙන එළවළු පළතුරු සහ පලා වර්ගවලට අවශෝෂණය කරගන්නා අයඩීන් ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ වගේම බොන වතුරවල පවා අඩංගු වෙන අයඩීන් ප්‍රමාණය අඩුයි . 

අයඩීන් ලුණු මඟින් ශරීරයට ලැබෙන අයඩීන් -මුලින් සඳහන් කළා වගේම අයඩීන් අපේ ශරීරයට දෛනිකව අවශ්‍ය වෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් වුණත් එය දිනපතාම දේහයට ලැබිය යුතුයි .වෙනත් රටවල්වල ජල ප්‍රවාහන පද්ධතීන්ට මිශ්‍රකරලා එහෙමත් නැත්නම් පාන් පිටිවලට අයඩීන් මිශ්‍ර කරලා බෙදාහැරීම් සිදු කරනවා. ඒවා අපේ රටේ සාර්ථක ලෙස ක්‍රියාත්මක කරන්න නොහැකි නිසා අපිට නැතුවම බැරි ලුණුවලට අයඩින් මිශ්‍ර කර බෙදාහැරීම සිදු වෙනවා.

සාමාන්‍යයෙන් අපි ආහාරයට ගන්නා  දියලුණු එහෙම නැත්නම් කන ලුණු විද්‍යාත්මකව හඳුන්වන්නේ sodium chloride නමින්. ඒ රස අපි හැමෝටම හුරු රසයක්. අයඩින් ලුණු කියන්නෙත් අපි ආහාරයට ගන්නා ලුණුමයි.  නමුත් ඒකට අයඩීන් කියන මූලද්‍රව්‍ය අඩංගු  සංයෝගයක් ( උදා: පොටෑසියම් අයටයිඩ් )  ස්වල්ප වශයෙන් එකතු කර තියෙනවා.  

මේවා අයඩින් මිශ්‍ර ලුණු විදියට අපිට වෙළඳපොලෙන් මේවා මිලට ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් අයඩීන් සංයෝග දුඹුරු පැහැයක් ගත්තත් අයඩීන් ලුණු සුදු පැහැයකින් දකින්නට ලැබෙන්නේ ඒවාට ඉතාම සුළු ප්‍රමාණයක් මිශ්‍ර කරන නිසා. ඒ නිසා සාමාන්‍ය ලුණුවල රසය, පැහැය, ගඳ සුවඳ වෙනස් වෙන්නේ නැහැ.  අයඩින් මිශ්‍ර ලුණු සාමාන්‍ය ලුණු වගේම අපිට භාවිතයට ගන්නට හැකියාව තියෙනවා.

හිරු එළියට හෝ තෙතමනයට අයඩීන් නිරාවරණය වීමෙන් ඒවායේ අඩංගු අයඩින් විනාශ වී යන්න පුළුවන්. .එනිසා අයඩීන් ලුණු වාතය ඇතුල්.විය නොහැකි පොලිතීන් ඇසුරුම්වලයි අසුරා තියෙන්නේ. ඒවා අපිට මිලට ගන්නට ලැබෙන්නේ පැකට් වශයෙන්.

 අයඩීන් මිශ්‍ර ලුණු භාවිතයේදී සාමාන්‍ය ලුණු මෙන් භාවිතා නොකරන්නට වගබලා ගත යුතුයි. එයින් අයඩීන් දිය වී ඉවත්ව යන්නට පුළුවන්. එනිසා ව්‍යංජනවලට අයඩීන් මිශ්‍ර ලුණු එකතු කළ යුත්තේ ලිපෙන් ඉවත් කර ගැනීමෙන් පසුව බව මතකයේ තියාගන්න.

 ආහාරවලට එකතු කිරීමට පෙර ලුණු සේදීමෙන් වැලකීමත්  ලුණු අසුරා තැබීම සඳහා ප්ලාස්ටික් භාජන හෝ අඳුරු පැහැති වීදුරු භාජන භාවිතා  කිරීමත්  හිරු එළිය හෝ ආලෝකයට නිරාවරණය නොවන ස්ථානයක ඒවා  තැබීමත් අයඩින් විනාශ නොවී පවත්වාගෙන යන්නට උපකාරී වෙනවා

අයඩින් ඌණතාවය අවම කරගැනීමට අයඩීන් මිශ්‍ර කරන ලද ලුණු භාවිතයට ගැනීම මුහුදු මාළු මුහුදු පැලෑටි සහ මුහුද අවට වැවෙන වෙනත් බෝග (ඉස්සන් , පොකිරිස්සන් , දැල්ලන් )ආහාරයට එකතු කරගන්නට පුළුවන්. 

රුධිරයේ ඇති TSH කියන හෝමෝන මට්ටම මැන බැලීමෙන් අයඩීන් ඌණතාවයෙන් පෙළෙනවාද නැද්ද කියන කාරණාව හඳුනා ගන්නට පුළුවන්.  ඉතින් අපේ ශරීරයට අවශ්‍ය කරන අයුරින් නිසි පරිදි අයඩීන්  ලබා ගැනීම සෞඛ්‍යසම්පන්න ජීවිතයක් ගත කරන්නට අතිශයින්ම වැදගත් වන නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න.