උගුර කසන ගතිය සමනය කරන ආයුර්වේද පිළියම් 16 ක්

health tips

උගුර කැසීම සෙම්ප්‍රතිශ්‍යාව,දිය පීනස,බැක්ටීරියා ආසාදන, වෛරස ආසාදන, කැස්ස ඇතුළු අසනීප තත්වයන් හි මූලික රෝග ලක්ෂණයක් ලෙස මතුකරන්නකි.මෙම ගැටලු වලට ප්‍රතිකාර ලබාගැනිමත් සමඟ මේ ලක්ෂණය යටපත් වී ගියත් ඊට යයි.කෙසේවෙතත්, උගුරේ කසනසුලු බව කතාකරන විට දී  හා නිරන්තර අපහසුවක් ඇතිකරවයි. උගුරේ අපහසුව දිගු කාලයක් තිස්සේ පවතියි නම් හෝ වෙනත් රෝග ලක්ෂණ ද ඒ සමඟ මතුකර ඇත්නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න. උගුරේ ඇතිවන සියුම් අපහසුතා සමනය කරන ඵලදායි පිළියම් කිහිපයක් ගැනයි අද අප ඔබට කියන්නේ.

උණුවතුර සෙම්ප්‍රතිශ්‍යාව, ආසාත්මිකතා, සයිනසයිටීස් වැනි සෞඛ්‍ය ගැටලු හේතුවෙන් උගුරේ කැසිල්ල ඇතිවිය හැකියි.මෙම අසනීප නිසා විජලනයවීමේ අවදානම වැඩි බැවින් හොඳින් වතුර බීම වැදගත් ය.දවස පුරා උණු වතුර පානය කිරීම වඩාත් සුදුසුයි.උණු වතුර උගුර සමනය කරන අතර සිරුරේ මූලික ඉලෙක්ට්‍රොලයිට සමතුලිතතාව ඇතිකරයි.කට පිච්චෙන තරම් උෂ්ණත්වයක නොතිබිය යුතුයි. නිකම් වතුර පානය කිරීමට වඩා ඊට ලෙමන්, ඉඟුරු හෝ මී පැණි ස්වල්පයක් එක්කර පානය කිරීම තවත් ගුණදායකයි.

ඉඟුරු ඉඟුරු වල අඩංගු ප්‍රතිවෛරස් සහ ප්‍රතිබැක්ටීරීය ගුණාංග නිසා ඔබේ පපුවේ සහ උගුරේ සෙම හිරවී ඇති ගතිය අඩු වන අතර හුස්ම ගැනීම පහසු කරයි. විෂද්‍රව්‍ය හරණය කරයි.ප්‍රතිශක්තිය වඩවයි.නිතිපතා භාවිතයට සුදුසුයි.ගාගත් හෝ තලාගත් ඉඟුරු කැබැල්ලක් වතුර කෝප්ප 2ක ප්‍රමාණයකට දමා මිනිත්තු 10ක් උණු කරගන්න.ඉන්පසු පෙරා මී පැණි හෝ ලෙමන් යුෂ තේ හැඳි 1 ක් එක්කර පානය කරන්න.

මී පැණි මී පැණි වල  ප්‍රතිබැක්ටීරීය, ප්‍රතිවෛරස් සහ ප්‍රති-දිලීර ගුණ ඇති බැවින් උගුරේ අමාරුව සමනය කිරීම සහ සෙම් රෝග ඉවත් කිරීම සඳහා අපූරු හා ප්‍රබල ගෘහ ප්‍රතිකාරයක් ලෙස සැලකේ. ඊට අමතරව, විෂබීජ නාශක ගුණ ඇති අතර ආසාදන වලට එරෙහිව සටන් කිරීමට සහ ඉක්මනින් මර්දනය කිරීමට ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට උපකාරී වේ.විටමින්, ඛනිජ ලවණ හා ප්‍රතිඔක්සිකාරක බහුල මී පැණි උණු කිරීම හෝ රත් කිරීම නොකල යුතුයි.සෙල්සියස් අංශක 40දී එහි අඩංගු එන්සයිම බිඳී විනාශවී යාමට පටන්ගැනීම ඊට හේතුවයි.මී පැණි ලිපෙන් ඉවත්කරගත් උණු වතුරට, තේ හා වෙනත් උණුසුම් කසාය වලට පමණක් එක්කරගත යුතුය.කාමර උෂ්ණත්වයේ ඇති මී පැණි පානය කිරීම ද උගුර සමනය වීමට හොඳ ඔසුවකි.මී පැණි මේස හැඳි 1ක් හැන්දකට දමා කටට වත්කරගන්න. උගුරේ තැවරෙන සේ සෙමින් එය පානය කරන්න.විකල්පයක් ලෙස, මී පැණි මේස හැඳි 1ක් හා ලෙමන් යුෂ තේ හැඳි 1/2ක් කෝප්පයක මිශ්‍ර කර ඊට උණුසුම් වතුර ස්වල්පයක් දමා කළවම් කර පානය කරන්න.

ඇපල් සයිඩර් විනාකිරි මෙම විනාකිරි වල සයිනස් ආසාදනයට එරෙහිව සටන් කළ හැකි , ශ්ලේෂ්මල බුරුල් කර ඉවත් කරවන විෂබීජ නාශක ගුණ ඇත. ඇපල් සයිඩර් විනාකිරි වල ස්වාභාවික දිලීර නාශක, ප්‍රති- ප්‍රදාහක සහ ප්‍රති-බැක්ටීරීය ගුණ ඇති අතර එය ඔබේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඉහළ නැංවීමට බෙහෙවින් උපකාරී වේ.සෙම් රෝග තුනී කිරීමට සහ ආසාදන වැලැක්වීමට එය ප්‍රයෝජනවත් වේ. තනුක නොකර භාවිතය අහිතකර විය හැකියි.එබැවින් වතුර සමඟ මිශ්‍ර කර මී පැණි ස්වල්පයක් ද එක්කිරීම උගුරේ කැසිල්ල සමනයට වඩාත් ගුණදායකයි. ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 1ක් උණු වතුර කෝප්පයක මිශ්‍ර කර එයටම මී පැණි තේ හැඳි 1/2ක් දමන්න. කළවම් කර සෙමින් පානය කරන්න. උදෑසනම හෝ ආහාර වේලට අවම පැයකට පමණ පෙර මෙය පානයට ගැනීම සුදුසුයි.

කහ කිරි කහ වල ඇති කර්කියුමින් සංඝටක වල පැසවීම වළකන හා ප්‍රතිඔක්සිකාරක ගුණ බහුලයි.ප්‍රතිශක්තිය වඩවන අතර තුවාල සුවකරයි.උගුර කැසීම ඇතුළු ශ්වසන ආසාදන රෝග ලක්ෂණ අඩුකරයි.කහ කිරි ඊට හොඳ ඔසුවකි.කිරි කෝප්ප 2ක් උණු කරගන්න. ඊට කහ කුඩු තේ හැඳි 1ක් දමා කළවම් කරන්න.කිරු හොඳින් උණු වීමට තබා, ලිබෙන් ඉවත්කරන්න. උණුසුම් මට්ටම සිසිල් වූ පසු මී පැණි ස්වල්පයක් දමා පානය කරන්න.

තේ හරිත තේ, ඖෂධිය තේ හා කලු තේ ඇතුළු ඕනෑම තේ වර්ගයක් උගුර කැසිල්ල සමනයට ඵලදායිය.තේ වල ප්‍රතිඔක්සිකාරක, විටමින් හා කැල්සියම් වැනි ඛනිජ ලවණ අඩංගුයි. කැමොමයිල් තේ, වදමල් තේ, පිච්ච තේ ආදි ඖෂධිය තේ වර්ග වල ද ප්‍රබල ගුණ අඩංගුයි.තේ පානය කිරීමේදි සීනි අඩුවෙන් භාවිත කරන්න.උණුසුම් පිට සෙමින් පානය කරන්න.

වැල්මී ආයුර්වේදයේ කැස්ස, උගුරේ තුවාල, හඬ ගොරෝසුවිම සහ උගුරේ කැසිල්ල සුවකරන ඔසුවක් ලෙස වැල්මී භාවිත කෙරේ.වැල්මී තම්බා තේ පානයක් ලෙස සැකසිය හැකියි. මේවා තැම්බූ වතුරෙන් උගුර සේදීම ද හොඳ පිළියමකි.වතුර කෝප්ප 2ක ප්‍රමාණයක් හා වැල්මී කුඩු තේ හැඳි 1ක් පෑන් එකට දමා උණු කරගන්න.පෙරා පානය කරන්න. වැල්මී සිරප් වුව ද ඔබට භාවිතයට ගත හැකියි.

කරාබු නැටි ඉපැරණි ඉන්දියානු මෙන්ම චීන වෛද්‍ය ක්‍රම වලද කරාබු නැටි කටේ,උගුරේ හා ඉහළ ශ්වසන මාර්ගයේ රෝග වලට ඔසුවක් ලෙස භාවිත කර ඇත.කරාබු නැටි හා කරාබු තෙල් දත් කැක්කුම්, මුඛ දුර්ගන්ධය , උගුරේ තුවාල හා උගුරේ කැසිල්ල සමනයට නිර්දේශ කරයි.මේවායේ ඉයුජිනෝල් නම් සංඝටක අඩංගු අතර ඒවා ප්‍රබල වේදනානාශක මෙන්ම විෂබීජනාශක ලෙස ක්‍රියාකරයි. වතුරේ කරාබු නැටි කිහිපයක් තම්බා තේ ලෙස සකසා පානය කළ හැකියි.කරාබු නැටි 2-3ක් තලා, නටන උණු වතුර කෝප්ප 2ක ප්‍රමාණයකට දමා තවත් මිනිත්තු 3 ක් පමණ තැම්බෙන්නට හරින්න. උණුසුම් මට්ටම නිවුණු පසු පානය කරන්න.

සුප් කුකුළු මස්, මාලු , එළවළු හෝ වෙනත් සුප් වර්ගයක් පානය කිරීම රෝගීන්ට හොඳ පෝෂණයක් මෙන්ම ගුණයක් ලබාදෙයි.අජීර්ණය, නිරක්තිය, මන්දපෝෂණය, ඉහළ ශ්වසන මාර්ගයේ ආසාදන, පපුවේ අවහිරතා හෝ උගුරේ තුවාල හෝ කැසිල්ල වැනි තත්වයන්ට සුප් පානය ගුණදායකයි.මේවායේ විටමින්, ඛනිජ ලවණ, ප්‍රෝටීන, ජෛව ක්‍රියාකාරි සංඝටක, ප්‍රතිඔක්සිකාරක ඇතුළු පෝෂක බහුලයි.සිරුරේ සජලතාව වැඩිකරයි. වතුර ලීටරයක් පමණ බඳුනකට දමා ඊට කපාගත් එළවළු හා මස් ක‍ටු හෝ වෙනත් අවශ්‍ය අමුද්‍රව්‍ය එක්කරගන්න.ලුණු ගම්මිරිස් දමා මිනිත්තු 40ක් පිසගන්න. උණු පිට ආහාරයට ගන්න.

උගුර කසන ගතිය සමනය කරන දියර මිශ්‍රණ වර්ග කිහිපයක් 

උගුර කළතවා සේදීම බැඳී ඇති සෙම් සො‍ටු බුරුල් කිරීම, ඒවා බැඳීම වැළැක්වීම මඟින් උගුර සමනය කිරීමට උදවු වේ.ඉහළ ශ්වසන මාර්ගයේ අපහසුතා අවම කරයි.ඒ සඳහා පහත සඳහන් දියර මිශ්‍රණ ඔබට යොදාගත හැකියි.

ලුණු හා වතුර ඔබේ මුඛය සේදීම සඳහා උණුසුම් ලුණු වතුර භාවිතා කිරීම සෙම් රෝගයෙන් මිදීමට හොඳම ක්‍රමයකි. උණුසුම් ජලය අපහසුතාවට පත් ඔබේ උගුර සමනය කරයි. ආසාදනයට හේතු වන බැක්ටීරියා විනාශ කිරීමට ලුණු වලට හැකියාව ඇති අතර එමඟින් සෙම නිෂ්පාදනය වීම අඩු කරයි.ලුණු තේ හැඳි 1/4 ක් ඇල්මැරුණු වතුර වීදුරුවකට මිශ්‍ර කරන්න.මිශ්‍රණයෙන් උගුරක් කටට ගෙන ‘ආ’හඬ නගමින් හොඳින් උගුර කලතවා සෝදන්න.ඔබ දිනපතා කිහිප වතාවක් මේ ආකාරයෙන් කළ යුතුය.

ලෙමන් යුෂ හා වතුර උණුසුම් වතුර කෝප්පයකට ලෙමන් යුෂ තේ හැඳි 1/2ක් මිශ්‍ර කර ප්‍රවේසමින් උගුර කළතවා සෝදන්න.එහි ඇති ආම්ලික හා කසට ගතිය විෂබීජ නසයි.

ඉඟුරු, ලෙමන් , මී පැණි හා වතුර වතුර සහ ඉඟුරු මිනිත්තු 5ක් තම්බාගෙන, ලිපෙන් ඉවත්කරන්න. ඊට මී පැණි හා ලෙමන් යුෂ තේ හැඳි 1/2ක් දමන්න.ඉඟුරු හා මී පැණි වල බැක්ටීරියා හා වෛරස නාශක ගුණ ඇත.

කහ වතුර උණු වතුර කෝප්පයකට කහ කුඩු හේ හැඳි 1/2ක් දමන්න, හොඳින් කළවම් කර උගුර කළතවා සෝදන්න.

කරාබු නැටි වතුර කරාබු නැටි 4-6ක් තලා වතුර කෝප්ප 2ක ප්‍රමාණයකට එක්කරන්න. මිශ්‍රණය මිනිත්තු 20ක් උණු කරගන්න. එය භාවිතයෙන් උගුර කළතවා සෝදන්න.

වැල්මී වතුර වැල්මී මුල් තේ හැඳි 1ක් වතුර කෝප්ප 2ක ප්‍රමාණයක් සමඟ මිශ්‍ර කර මිනිත්තු 20ක් තම්බාගන්න. එම වතුරෙන් උගුර සෝදන්න.මෙම පිළියම් භාවිතයට පෙර නිසි වෛද්‍ය උපදෙස් ලබාගැනීමට සැලකිලිමත්වන්න!