හිටපු ගමන් හැදෙන තුනටි වේදනා නිට්ටාවටම සුව කරන එළබටු කොළ කැඳ

health tips

නූතන පරපුරට අනුව ලෙඩ කෑම කාණ්ඩයට අයත් වෙන තවත් ගුණදායක ආහාරයක් තමයි එළබටු.  ඔවුන්ගේ අදහස අනුව නම් ලෙඩුන්  පමණක් කෑ යුතු ආහාර විදිහට තමයි මේවා සැලකෙන්නේ. නමුත් ලෙඩ රාශියක්ම දුරු කරගන්නට ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නට එළබටු තරම් ඔසුවක් නැති තරම් . ඈත අතීතයේ අපේ පැරැන්නන් නිතරම එළබටු  ව්‍යන්ජනයක් විදියටත් එළබටු කොළ කැඳක්  විදිහට සතියකට කිහිප වතාවක් ආහාරයට එකතු කර ගත්තේ මේවායේ ගුණ ගැන ඔවුන් මැනවින් දැන සිටි  නිසා. මේ  අපූරු එළබටු ශාකය ආහාරයක් විදිහට විතරක් නෙවෙයි ඖෂධයක් විදිහටත් වටිනාකමක්  උසුලන  නිසා අපි අද කතා කරමු සුවදායී ජීවිතයකට අවැසි මේ අපූරු ශාකයේ ගුණ මහිම ගැන.

 සොලනේසියේ කුලයට අයත් වන එළබටු ශාකය මීටර් එකක් පමණ උසට වර්ධනය වෙනවා. බූව සහිත ශක්තිමත් ශාකයක්. ශාකය පුරාම අධික ලෙස විහිදුණු ශක්තිමත් තියුණු කටු දකින්නට පුළුවන්. මෙහි පත්‍රය සෙන්ටි මීටර් විස්සක් පමණ දිග සෙන්ටිමීටර 4-12  තරම් පළලකින් සමන්විතයි. සුදු හෝ දම් පැහැති පුෂ්ප හටගන්නා  මේ ශාකයේ ඵලය ගෝලාකාරයි. ඉදුණු ගෙඩි කහ පැහැයෙන් යුක්තයි.

එළබටු ශාකයේ සම්භවය අප්‍ර්රිකානු ප්‍රදේශවල බවට සැලකෙනවා. අද වෙද්දී ශ්‍රී ලංකාව හැරුනහම වෙනත් බොහෝ රටවල්වල මේ ශාකය දකින්න පුළුවන්. අපේ රටේ වියළි කලාපයේ හේන් ආශ්‍රිතව බහුලවම මේ ශාකය දකින්න ලැබෙනවා. විශේෂයෙන්ම එළබටු ශාකය කියන්නේ නිසරු පසේ සංකේතයක් විදිහට තමයි එදා ගැමියන් හැඳින්වූයේ .

කැල්සියම් බහුල මේ එළබටු ගෙඩි කිරට, තෙලට වගේම  මැල්ලුමක් වශයෙන් වුණත් හරිම රසවත්ව පිළියෙල කර ගන්නට පුළුවන්. ගුණයත් ඉතාම ඉහළයි.  ඒ විතරක් නෙවෙයි එළබටු ශාකයේ කොළවලින්  සකස් කරන එළබටු කැඳ එදා වගේම අදත් තරමක් ප්‍රචලිත කැඳ වර්ගයක්. මේ කොළ කැඳ විවිධ රෝග සුවපත් කරගන්නට වගේම නිරෝගි ජීවිතයක් ගත කරන්නටත් අනුභවයට ගත හැකියි.

 ඖෂධීය ගුණ විදිහට සැලකුවොත් මෙහි මුළු ශාකයම ඖෂධ විදිහට භාවිතයට ගන්නවා. විශේෂයෙන්ම එළබටු ශාකය උපයෝගී කරගෙන සකස් කරන එළ බටු පැණිය ආයුර්වේදයේ  ප්‍රසිද්ධම ඖෂධයක්. ඒ විතරක් නෙවෙයි  එළබටු මූලික  කරගෙන නිෂ්පාදනය කරන බටු තෙල් ඇදුම, කැස්ස වගේ රෝගවලදී අදටත් බහුලව භාවිතයට ගන්නා ඔසුවක්. 

මේ එළබටු ශාකයේ  අඩංගු පෝෂය  පදාර්ථ ලෙස කැල්සියම්, යකඩ, පොස්පරස්, ඇමයිනෝ අම්ල, සුක්‍රෝස්,ග්ලූකෝස්  , සොලනින් ආදිය සඳහන් කරන්න පුළුවන්. මේ එළබටු සතු සුවිශේෂී ගුණ බොහොමයි.

එළබටු සතු ඔසු ගුණ

  • වාජීකරණ ගුණයෙන් සමන්විතයි.
  • වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරනවා.
  • කල්ගත වූ කැස්ස නිතර ඇතිවන ස්වසන රෝග සෙම් රෝග සඳහා ඉතාම ගුණදායකයි. 
  • නොමේරූ එළබටු තුන්දොස් සමනය කරන්නට උපකාරී වෙනවා.
  • මුත්‍රා කාරක ගුණ සහිතයි.
  • අර්ශස් රෝගීන්ට ගුණදායකයි.
  • පීනසට සහනය ගෙන දෙනවා.
  • නිතර පවතින  හිසරදයට ගුණදායකයි.
  • ඇස්වලින් කඳුළු ගැලීම, ඇස්වල කැසීම, ඇස්වල නගන ආදී ඇස්වල රෝග සඳහා ගුණදායකයි.
  • සමේ ලප කැලැල් නැතිකර සම පැහැපත් කරනවා.
  • මළබද්ධය දුරු කරනවා. 
  • අක්මාවේ ආබාධ සුව කරනවා.
  • සර්ප විෂ නැති කරනවා.
  • චර්මරෝගවලට ගුණදායකයි. 
  • ඇග උණු කරවා යාම සහ ඔසප් ගැටළු නැතිකරන්නට උපකාරී වනවා.
  • අර්ශස් රෝගීන්ට ගුණදායකයි.
  • කුසගින්න වඩවනවා.
  • තුනටිය අමාරු, හන්දි වේදනා දුරු කරනවා .

එළබටු කොළ කැඳ සකසා ගන්නා ආකාරය

 අවශ්‍ය දේවල්

  •  එළබටු  දළු අවශ්‍ය පමණට
  •  කැකුළු සහල්
  •  සුදුළූනු බික් කිහිපයක්
  •  ගා ගත් පොල් 
  • ලුණු

 සාදන ක්‍රමය එළබටු කොළ සෝදා පිරිසිදු කර බ්ලෙන්ඩරයට දමා එයටම  සුදුළූනු සහ පොල් දමා වතුර  ස්වල්පයක් දමා බ්ලෙන්ඩර් කර යුෂ ලබාගන්න. සහල් සෝදා ලිපේ තබා හොඳින් තැම්බුණු  පසුව එයට බ්ලෙන්ඩර් කර ගත් එලබටු යුෂ දමා අවශ්‍ය පමණට ලුණු දමා මද ගින්නේ රත්කර පානයට ගන්න.

කොලෙස්ටරෝල්වලින් පීඩා විඳින අය පොල් එකතු නොකර මෙය සකසා  ගන්න. වැඩි රසයක් සඳහා හකුරු ස්වල්පයක් සමඟ පානය කරන්න.

 දරුවන්ගේ නිරෝගී බව ආරක්ෂා කර ගැනීම, සෙම් රෝග, පීනස, ඇදුම ආදී රෝග සමනය සහ ශරීරයේ ප්‍රතිශක්තිකරණය වර්ධනය ඇතුළු තවත් අමතර වාසි ලබා ගන්නට  මේ එළබටු කැඳ සැකසීමේ දී එයට වැල්තිබ්බටු , යකිනාරන් සහ කුප්පමේනිය ආදිය එකතු කරන්නටත් හැකියාව තියෙනවා .

එළබටු ශාකයේ  අත් බෙහෙත් 

  • උඳුගොව්වන් කනවාට -පැසුණු එළබටු ගෙඩියක නටුව ආසන්නයෙන්  හරහට  කපාගත් කොටස උඳුගොව්වන් කන ස්ථානය ඇතිල්ලීම ගුණදායකයි.එළබටු ගෙඩි කිහිපයක් හොඳින් තළා ඒ යුෂ මී  පැණි සමඟ මිශ්‍ර කර දිනපතාම උදුගොව්වන් කන ස්ථානවල ආලේප කරන්න.
  • විදුරුමස්  දියවීම,  දත් බුරුල් වීම සහ  දත් කැක්කුමට-වියළි එළබටු ඇට පුළුස්සා එයින් නැගෙන දුම මුඛයට ඇල්ලීමෙන් දත් කැක්කුම් ඇතුළු මුඛ රෝග  සුව කරගන්න පුළුවන්.  
  • අර්ශස් රෝගයට-වියළි එළබටු ඇට පුළුස්සාගෙන එයින් නැගෙන දුම් අර්ශස් ගෙඩි පවතින ප්‍රදේශයට වදින්නට සැලැස්වීමෙන්  සහනය ලැබෙනවා. එළබටු ළපටි ගෙඩි තම්බා මී පැණි සහ සහිඳ ලුණු මිශ්‍රකර දිනපතා ආහාරයට ගැනීමත් මෙවැනි රෝගීන්ට ගුණදායකයි. 
  • කල් ගත වූ කැස්සට -එළබටු දළුවලින් පොල්කිරි එකතු නොකර කැද සකස්කර කර පානයට ලබාදීම කල්ගතවූ කැස්ස සුව පත් කරගන්නට උදව් වෙනවා. 
  • කැස්ස සහ සෙම්ප්‍රතිශ්‍යාව සඳහා– මේ සඳහා එළ බටු පැණිය ඉතාමත්ම ගුණදායකයි.එලබටු මුල් ලබා ගන්නා ප්‍රමාණය වගේ හතර ගුණයක් ජලය මිශ්‍ර කර එය එකක් වන තුරු සිඳවා ගෙන පෙරා ගන්න. ඉන්පසුව පදමට සීනි මිශ්‍රකර පැණියක් වනතුරු කකාරා ලිපෙන් ඉවත් කර තිප්පිලි කුඩු ස්වල්පයකුත් එකතු කරන්න. නිවුණු පසුව බෝතලයකට දමා මෙයින් තේ හැඳි එක බැගින් දිනපතාම උදේ සවස පානයට ගන්න.
  • පණු රෝගවලට එළ බටු කොළ කොටා ඒ යුෂ මේස හැඳි දෙකක් ගෙන එයට ඉඟුරු තේ හැඳි දෙකක් මිශ්‍ර කර පානයට දෙන්න. 
  • නොදැනි මුත්‍රා පිටවෙනවාට-එළබටු මුල් කලං 12 කට වතුර  පත අටක් දමා එකට සිඳුවා පත භාගය බැගින් දින තුනක් උදේ සවස පානයට ගන්න.
  • සර්ප දෂ්ටනවලදී-එළබටු තම්බාගත් වතුර සහ එළබටු ගෙඩි තම්බා පානයට ගන්න. ඒ වගේම එළබටු මුල් අඹරා දෂ්ට කළ ස්ථානයේ ආලේප කිරීමත් මෙහිදී විෂ ඉවත් කර ගන්නට උපකාරී වෙනවා .
  • උණ නිසා ශරීරය දුර්වල වූ විට-ලපටි  එළබටු ව්‍යංජනය උයා ආහාරයට ගැනීම හෝ එළබටු කොළ කැඳ ගුණදායකයි.
  • ගැබිනි මවට නුසුදුසු අවස්ථාවල වමනය යාමට සහ කුඩා දරුවන්ගේ කිරි වමනයට-එළබටු ගෙඩි  යුෂ තේ හැන්දකට මී පැණි තේ හැදි 2ක් මිශ්‍රකර ගිතෙල් තේ හැඳි එකක් ද මිශ්‍ර කර හොඳින් කලවම් කර දිවේ ගෑම වඩාත් සුදුසු බව සඳහන්. 
  • ඇඟ කැසීම, ඇඟේ දැවිල්ල ආදී ආසාත්මිකතාවලට එළබටු කොළ සහ ගෙඩි අරගෙන මී පැණියෙන් අඹරා ශරීරයේ දැවිල්ල සහ කැසීම් ඇති ස්ථානවල ආලේප කර සුළු වේලාවකින් සෝදා හරින්න. 

එළබටු කියලා කියන්නේ අද නූතන පරපුරේ බොහෝ දෙනෙක් හරි හැටි  පරිභෝජනයට නොගන්නා ඔසු පැලෑටියක්. ගුණදායි ආහාරයක්. ඒ නිසා අනාගත පරපුරත් දැනුවත් කරමින් මේ ශාකවලින් උපරිම ප්‍රයෝජනය ලබාගෙන නිරෝගීව ජීවත් වෙන්නට කටයුතු කරන්න. එයයි අපගේ ප්‍රාර්ථනය .