විවිධ ලෙඩ රෝගවලට ගුණ දෙන කැඳ වර්ග 14 ක්

health tips

කිරිපිටි නොමැතිව දවස ආරම්භ කරන්නට  අද අපිට හැකියාවක් නැතිවුණත් එදා ගැමියන් දවස ආරම්භ කළේ ගුණවත් රසවත් කැඳ කෝප්පයකින්. අද බොහෝ ගෘහණියන්ට අඩුම සතියකට දෙවතාවක් හෝ  කොළ කැඳ ටිකක් තම නිවැසියන්ට සකස් කර දෙන්නට නොහැකිවෙලා තියෙනවා. මේ වටිනා කැඳ වර්ග අපෙන් ඈත්වී යාමත් නිසාම දවසින් දවස ලොකු කුඩා  සැමදෙනාම නොයෙකුත් ලෙඩ රෝගවල ගොදුරු බවට පත්වෙනවා. ලාංකිකයන් විදියට එය සැබැවින්ම අවාසනාවන්ත  තත්ත්වයක්.  මොකද අපට අවට වටපිටාවෙන් මේ විස්මිත ගුණ ඇති ඔසු පැල රාශියක්ම ඉතා පහසුවෙන් සපයා ගන්නට හැකියාව පවතිනවා. නමුත් ඒවායින් නිසිඵල  ප්‍රයෝජන නොගැනීමයි අවාසනාවන්ත තත්ත්වය. 

පොදුවේ කොළ කැඳ කියන්නේ මතක ශක්තිය වඩවන ගුණයන් රාශියක්ම ලබාදෙන සිරුරේ ප්‍රතිශක්තිය වැඩි කරන ආහාර රුචිය වැඩි කරන ආහාරයක්. ප්‍රබෝධමත්ව දවස ආරම්භ කරන්නට ශක්තිජනකම පානයක්. මේ කැඳ සඳහා එකතු කරන දේශීය සහල් වර්ග වගේම රතු ළූණු, සුදු ළූණු, ඉඟුරු ආදියෙත් ඇති ගුණයන් රාශිය අපිව බොහෝ ලෙඩරෝගවලින් ආරක්ෂා කරනු ලබනවා. මේ ගුණයන් ලබා ගන්නට කැඳ සකස් කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කිහිපයක්ම පවතිනවා.

  • සහල් භාවිතා කිරීමේදී කුරුට්ට සහිත රතු කැකුළු හෝ හීනටි සහල් යොදා ගන්න.
  • කොළ යුෂ එකතු කරගැනීමෙන් පසු බොහෝවෙලාවක් ලිප තබා  ගැනීමෙන් වළකින්න. එය පෝෂණ කොටස් විනාශ වී යාමට හේතු වෙනවා.
  • කැඳ සකස් කිරීමේදී එයට ඉඟුරු, සුදු ළූණු, රතු ළූණු වගේම ගම්මිරිස් ඇට දෙක තුනක් ද එකතු කරන්න.

ගොටුකොළ කැඳ

  • ලොකු කුඩා සියලු දෙනාට ඉතාම ගුණදායකයි.
  • කිරිදෙන මව්වරුන්ටත් ගැබිණි  මව්වරුන්ටත් ගුණදායකයි. 
  • පීනස් රෝග සමනය කරයි. 
  • ශරීරය සිසිල් කරයි. 
  • ප්‍රතිශක්තිය වැඩි කරයි. 
  • හිසකෙස් වර්ධනය කරයි. 
  • රුධිර සංසරණ ක්‍රියාවලිය මැනවින් සිදු කරයි. 
  • ආයුෂ වැඩි කරයි. 
  • කුඩා ළමුන්ගේ බුද්ධිය වර්ධනය කරයි. 
  • අක්ෂි ආබාධ දුරු කරයි.
  • මතක ශක්තිය වර්ධනය කරයි.

ඉරමුසු කැඳ

  • ඔසප් දිනයන්වලදී කාන්තාවන්ට ඉතා සුදුසු  කැඳ වර්ගයක්.
  • ලේ විෂවීම තත්ත්වයන් සමනයට උපකාරී වෙයි. 
  • කුසගින්න වඩවයි. 

වැල් පෙනෙල 

  • දියවැඩියා  රෝගීන්ට සුදුසුයි. 
  • පුරුෂ ධාතු වර්ධනය කරයි. 
  • ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
  • ස්නායු ශක්තිමත් කරයි. 
  • ආහාර අරුචිය දුරලයි. 
  • රුධිරය පිරිසිදු කරයි.  
  • හදවත් වේදනාවන්ට සහනය සලසාලයි. 

පොල්පලා 

  • මුත්‍රා  දැවිල්ල, මුත්‍රා  ගල් ආදී මුත්‍රා රෝගාබාධයන්ට ඉතාම ගුණදායකයි.

මුකුණු වැන්න 

  • විෂ දුරලයි. 
  • මුත්‍රා  සමඟ ලේ පිටවීම, ඇස් රෝග හා පීනස ආදිය සමනය කරයි. 
  • කුෂ්ට නසයි. 
  • කුසගිනි වඩවයි. 
  • රුධිරය පිරිසිදු කරයි. 
  • හිසරදය දුරලයි. 
  • සම පැහැපත් කරයි. 
  • මල බද්ධය සමනය කරයි. 
  • හිස ආශ්‍රිත රෝග සුව කරයි. 

රණවරා 

  • දියවැඩියා රෝගයට ගුණදායකයි. 
  • මුත්‍රා  දැවිල්ලට ගුණදායකයි.

මොනර කුඩුම්බිය 

  • අක්මා රෝගයට ගුණදායකයි. 
  • සෙංගමාල තත්ත්වයන් සමනයට උපකාර කරයි. 

කරපිංචා 

  • ආහාරවල රසය වැඩි කරන්නට ගුණය වැඩි කරන්නට යොදන කරපිංචා කැඳ සතු ගුණයන් බොහොමයි.
  • ශරීරයේ විෂ ඉවත් කරයි. 
  • ඕනෑම සර්ප විෂ  ඉවත් කරයි. 
  • කොලෙස්ටරෝල් සමනය කරයි.
  • ඇස් පෙනීම වර්ධනය කරයි. 
  • කටහඩ පැහැදිලි කරයි. 
  • පණු රෝග සුවපත් කරයි.
  • හදවත් රෝග සුවපත් කරයි.  

නෙලුම් අල

  • නෙළුම් අල කැඳ සෙමට ගුණදායකයි. 
  • ශරීරයේ පැහැය වර්ධනය කරයි. 
  • චර්ම රෝගීන්ට ගුණදායකයි.

හීන් බෝවිටියා 

  • අක්මාව ශක්තිමත් කරයි. 
  • සෙංගමාලයට ප්‍රතිකාර සඳහා භාවිතා කරයි. 
  • අක්මාවේ තෙල් අවම කරන්නට උපකාරී වෙයි. 
  • අර්ශස් රෝගයට ගුණදායකයි. 
  • පැරසිටමෝල් විෂවීමෙන් අක්මාවට වන හානිය අවම කරයි. 
  • කැඳ සඳහා  බෝවිටියා සහමුලින්ම ගනු ලබන අතර හීන් බෝවිටියා බහුලව යොදාගනු ලබනවා. මෙහිදී මෝරපු බෝවිටියා  කොළ ආහාරයට ගැනීමෙන් අමිල පිත්ත රෝගය  ඇතිවෙන්නට  හැකි නිසා ලපටි දළු මේ සඳහා යොදා ගැනීම වඩා සුදුසුයි.

එළබටු 

  • සෙම හා කැස්ස ආදී රෝගයන්ට ගුණදායකයි. 

කොහිල අල 

  • බඩවැල පහත්වීම හා අර්ශස් යන රෝග සඳහා ඉතාම ගුණදායකයි.
  • මල බද්ධය සුවපත් කරයි. 

හාතවාරිය 

  • අකලට හිසකෙස් පැසීම නතර කරයි. 
  • සිරුර සිසිල් කරයි. 
  • බුද්ධිය වඩවයි. 
  • සරු බව ඇති කරයි. 
  • සමේ  රෝග දුරු කරයි. 
  • මව්කිරි වඩවයි. 
  • සන්ධි වේදනාවන්ට සහනය ගෙනදෙයි. 
  • අර්ශස් රෝගයට ගුණදායකයි. 
  • කාන්තා  රෝගවලට ගුණදායකයි. 

ලුණුවිල 

  • දියවැඩියාවට ගුණදායකයි. 
  • ස්නායු ශක්තිමත් කරයි. 
  • බුද්ධිය වර්ධනය කරයි. 
  • අක්මාව නීරෝගී කරයි. 
  • මානසික ආතතිය දුරලයි. 
  • රුධිරය පිරිසිදු කරයි.

මේ එක් එක් කොළ වර්ග අපේ  ශරීරයට දෙන ප්‍රතිලාභ වෙනස් වුණත් කොළ වර්ග කිහිපයක් එකට යොදා  කැඳ සකස් කර ගන්නටත්  පුළුවන්. නමුත් ඔබේ සෞඛ්‍ය තත්ත්වය රෝග ඉතිහාසය අනුව මේ කැඳ වර්ග නිතර භාවිතා  කිරීම අහිතකර වන්නට පුළුවන්. ඒ නිසාවෙන් ඒ පිළිබඳව  සැලකිලිමත් වන්න.