පිලිකා නසන දියවැඩියාවට ගුණදෙන පෝෂණයෙන් අනූන කහට ගෙඩි

health tips

ඒකාකාරී ජීවන රටාවක් ගත කරන අපි බොහෝදෙනෙක් ලබාගන්නේ ඒකාකාරී වූ ආහාර ලැයිස්තුවක්. ඉතින් මෙයින් මිදෙන්නට කොතරම් දැනුවත් කිරීම් සිදු කළත් බොහෝ දෙනෙක්ට ඉන් මිදෙන්නට තවමත් හැකියාව ලැබී නැති බව පෙනෙන්නට තියෙන කාරනාවක්. අපි සීමිත ආහාර වර්ග කිහිපයක් පසුපස හඹා ගියත්  අපේ පරිසරයේ ඕනෑතරම් වස විසෙන් තොර පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරපාන ඕනෑතරම්.

 ස්වභාවික පරිසරයෙන් ඉතා පහසුවෙන් සපයා ගත හැකි ආහාරවලින් අපි ඈත්වෙද්දි ඒවා පිළිබඳව තියෙන පාරම්පරික දැනුම ක්‍රමයෙන් වියැකී යනවා. ඉතින් මේ උත්සාහය අපේ දේ රැක ගන්නට නීරෝගී ජාතියක් ගොඩ නඟන්නට. ඉතින් එදා අපේ මුතුන් මිත්තන් නිරන්තරයෙන් භාවිතා කරපු වටිනා කියන ඖෂධයක් සහ ආහාරයක් ගැනයි මේ කතාව. මේ ශාකය තමයි කහට ගස් කියලා කියන්නේ. 

ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ සහ තැනිතලා ප්‍රදේශවල පහත් බිම් ආශ්‍රිතව හොඳින්ම වැවෙන මේ ශාකය දැඩි නියඟ කාලයන්වලටත් හොඳින් ඔරොත්තු දෙනවා. ඉතා විශාලව වැඩෙන මේ ශාකයේ මල් හට ගන්නේ සිංහල අවුරුද්දට පෙර.  අපේ මුතුන් මිත්තන් මේ ගසේ කොළ, පොතු ,ගෙඩි, අරටුව, මුල් ආදී සියල්ලම එදිනෙදා භාවිතයට ගත්තා ඖෂධ වශයෙන් වගේම ආහාර වශයෙන්. 

මේ ශාකය පිළිබඳව කතාකරද්දී අමතක කරන්නට බැරි විශේෂම කාරණාවක් තියෙනවා. ඔබ හැමෝම දන්නවා ශ්‍රී ලංකාව වින්නඹු චිකිත්සාවක්  තිබූ රටක් බව. එදා අද වගේ දරුවන් ප්‍රසූත කිරීම සඳහා රෝහල් තිබුණේ නැහැ. ඒ සඳහා සහායට ආවේ වින්නඹු මාතාව. ඉතින් දරුවන් ප්‍රසූත කිරීමේ සිට භාවිතා කරපු නැතුවම බැරි ශාකයක් තමයි මේ කහටගහ.

දරු ප්‍රසූතියෙන් පසුව කහට ගසේ කොළ පොතු දමා තම්බාගත් වතුරෙන් මව්වරුන් නෑවීමේ  සිරිතක් එදා තිබුණා .ඒ විතරක් නෙවෙයි මවගේ යෝනි ප්‍රදේශයේ  වේදනාවන් තුවාල සීරීම් සහ වෙනත් සංකූලතා මගහරවා ගන්නට එය ප්‍රතිකාරයක් විදිහටයි ඔවුන් භාවිතා කළේ. මේ ප්‍රතිකාරය නිසාම ඉහිල්ව තිබූ යෝනි ප්‍රදේශය ඉක්මනින් නැවත යථා තත්ත්වයට පත් කරගන්නට හැකියාව ලැබෙනවා. එහි තවත් විශේෂත්වයක් තමයි රුධිර ගැලීම නතර කරවීමේ හැකියාව. 

මේ ශාකයේ ඖෂධීය වටිනාකම හැරුණාම  කහට ගසේ ගෙඩි ව්‍යංඡන විදිහට සකසා ආහාරයට ගන්නට පුළුවන්. හොඳින් වර්ධනය වුණු කහට ගෙඩියක් ලොකු පේර ගෙඩියක ප්‍රමාණය ගන්නවා. මේ  කහට ගෙඩි ව්‍යංජනය ශ්‍රී ලංකාවට ආවේණික ආහාරයක් විදිහට සැලකුවත් විශේෂයෙන්ම සබරගමුවට ආවේණික ආහාරයක් යැයි කීම වඩාත් සුදුසුයි.  මේ කහට ගෙඩි ව්‍යංජනය අනෙක් එළවලු සකසනවා වගේ ඇබ්බැහි වන තරමේ රසකට සකසා  ගැනීම එතරම් පහසු කාරණයක් නෙවෙයි.

 කහට ගෙඩි තරමක් තිත්තට හුරු කහට ගතියකින් යුක්ත නිසා බොහෝ දෙනෙක් ව්‍යංජනය සකසන්නට පෙර ගොරකා සමඟ කහට ගෙඩි තම්බා දිය හැර ගන්නවා. නමුත් පිසීමට පෙර මෙසේ තම්බා ගැනීමෙන් එහි රසයට සුවඳට වගේම ගුණයටත් යම් හානියක් වෙන බව කියන්නට අවශ්‍යයි.  

ව්‍යංජනය සඳහා භාවිතා කෙරෙන්නේ ළපටි කහට ගෙඩි. මේ ලපටි කහට ගෙඩි අළුපල්ලේ තම්බා අඹරා ගැනීමෙන් හෝ පොඩි කර ගැනීමෙන් මැල්ලුම් වගේම ව්‍යංජන පිළියෙල කරගන්න පුළුවන්. ඒ වගේම කහට මල් සහ පොතු තම්බා පානය කිරීමත් ශරීරයේ විවිධ ලෙඩ රෝග සුවපත් කර ගන්නටත් ලෙඩ රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නටත් විශාල උදව්වක් වෙනවා. මේ කහට ගෙඩි ව්‍යංජනය බත් සමග ආහාරයට ගන්නට වගේම බත්,  ඉදි ආප්ප සහ පාන් වගේ දේවල් සමඟත් ඉතාම රසවත්ව ආහාරයට ගන්නට පුළුවන්. 

 කහට ගෙඩි ව්‍යංජනය ආහාරයට ගැනීමෙන් පහත ප්‍රතිලාභ ලබා ගන්න පුළුවන්.

ලේ අර්ශස් රෝගයට ගුණදායකයි.

පිළිකා රෝගවලින් ආරක්ෂාව සලසයි.

හදවතට හිතකර නිසා හදවත් රෝගවලින් රැකවරණය ලබා දෙයි. 

ආමාශයේ හටගන්නා තුවාල සුවකර අම්ලපිත්ත රෝගීන්ට සහනය සලසයි.

දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.

ශරීර ශක්තිය ලබා දෙයි.

රක්තහීනතාවයට ගුණදායකයි.

වාත රෝගවලින් ආරක්ෂාව සලසනවා. 

සම පැහැපත් කර නිරෝගී සමක් උරුම කරදෙයි. 

කහට ශාකයේ ඖෂධීය භාවිතයන් 

යටිපතුල් තුවාල වූ විට

 මේ සඳහා කහට පොතු තම්බා බැඳීම සිදු කරනවා. 

කාන්තාවන්ගේ ශ්වේත ප්‍රදර සහ රක්ත ප්‍රදර රෝග සඳහා

 කහට ගසේ පොතු චූර්ණය මදටිය 6 – 12 අතර ප්‍රමාණයක් ගිතෙල් මී පැනි සමග ලබාදීමෙන් ගුණ ලැබෙනවා. 

රුධිර ගලනය නැවැත්වීම සඳහා

 හදිසි අනතුරුවලදී රුධිරය ගලන තුවාලයකට කහට ගසේ දළු කොටා තුවාලය මත තැබීමෙන් ඉතා ඉක්මනින් රුධිර වහනය නතර කර ගන්නට පුළුවන්.

දියවැඩියා රෝගීන්ගේ සුව නොවන  ඔඩු දුවන  තුවාල සඳහා

දියවැඩියා රෝගීය නිසා සුව නොවන තුවාල තත්ත්වයන් සඳහා එදා අතීතයේදී බහුලව භාවිතා කරපු මේ ශාකය අපිට ප්‍රයෝජනවත් වෙනවා. ඒ සඳහා කහට ගසේ පොතු හා දළු තම්බා ගත් වතුරෙන් තුවාලය සේදීම ප්‍රමාණවත්. ඒ හැරුනහම කහට  ගසේ පොතු ආදියෙන්  විවිධ තෙල් වර්ග වගේම ඖෂධ සකසා භාවිතා කරන්නත් පුළුවන්.

සුව නොවන කැස්ස සඳහා

 මේ සඳහා කහට ගසේ මල් භාවිතයට ගැනෙනවා. කහට මල් පොතු කොටා පොට්ටනි බැඳ වණ්ඩුවේ තම්බා මී පැණි සමග පානය සුදුසුයි.

චර්ම රෝග සඳහා

 කහට පොත තම්බා ගත් වතුරෙන් ඇඟ සේදීමෙන් සමේ රළු ගතිය නැති කරගන්නට වගේම විවිධ චර්ම රෝගවලින් ආරක්ෂාවීමටත් ඉතාම වැදගත්.

දත් මුල් දියවීම සඳහා

 කහට පොතු තම්බා ගත් ජලයෙන් මුඛය සේදීමෙන් මේ තත්ත්වය සුව කරගන්නට පුළුවන්.

දියවැඩියා රෝගය සඳහා 

කහට ගසේ කොළ සහ පොතු තම්බා ගත් ජලය පානය  කිරීම සුදුසුයි. 

ලේ දූෂිත වීම නිසා හටගන්නා වෛරස් රෝග සහ සමේ රෝග සඳහා

මේ සඳහා කහට පොතු තම්බා පානය කිරීම ප්‍රමාණවත්. 

දුර්වල ශරීරයක් ඇති අයට සහ වැටීම් තැළීම් නිසා තෙහෙට්ටුවට පත් දරුවන් සඳහා

කහට ගසේ මල් තම්බා සීනි දමා පානය කිරීමෙන් සහනය සලසා ගන්න  පුළුවන්.

සැලකිලිමත් වෙන්න

 කහට ගෙඩි ඖෂධීය ගුණයෙන් ඉහළ නමුත් වකුගඩු රෝගවලින් පෙළෙන අයට සහ මුත්‍රා දැවිල්ල ආදී රෝග තත්ත්වයන් ඇති අයට එතරම් හිතකර නොවන නිසා  එවැනි අය මේ ශාකය ඖෂධයක් වශයෙන් හෝ  ආහාරයක් වශයෙන් භාවිතයට ගන්නේ නම් වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරන්න.