ඔබත් තෙල් අධික කෑම නිතර ගන්න කෙනෙක් නම්  කජු ආහාරයට එක් කර ගන්න අමතක කරන්න එපා

health tips

ලොකු කුඩා බොහෝ දෙනෙක් වඩාත් ප්‍රියකරන රසවත් ආහාරයක් තමයි කජු කියන්නේ. මෙය රසවත් පලතුරක් විදියට වගේම ව්‍යංජනයක් විදියටත් ඖෂධයක් විදියටත් භාවිතයට ගැනෙන අපූරු ශාකයක්. ආයුර්වේදයට අනුව කජු මිහිරි රසය පැණි රස වගේම කහට රසින් යුක්තයි. වැඩිම විටමින් ප්‍රමාණයක් අන්තර්ගත වෙන වස විසෙන් තොර ස්වභාවික පලතුරක් විදිහට  කජු පුහුලන් දරුවන්ට ලබාදිය යුතු හොඳම  පලතුරක්. කජු ශාකයේ සෑම කොටසක්ම මිනිසුන් වන අපට නීරෝගීව ජීවත් වෙන්නට ආහාර වශයෙන් වගේම ඖෂධ වශයෙනුත් භාවිතයට ගන්නට හැකියාව තියෙනවා. ඒ නිසාවෙන් අපි අද කල්පනා කරා ඔබට කජු සතු  අපූරු ගුණ ගැන ඔබව දැනුවත් කරන්නට.

 කජු මද

කජු ගෙඩියේ ඇති මදය ඉතාම රසවත් වගේම පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්. මේවා ඉතාම රසවත් නිසාම බාල තරුණ මහලු කොයි කවුරුත් කජු මද නම් එපා කියන්නේ නැහැ. මේ මදය ආහාරයට  ගන්නේ ගෙඩිය පුළුස්සා ගැනීමෙන්. මේවා පුළුස්සා ගැනීමේදී එහි ඇති විෂ ගතිය ඉවත් වෙනවා. ඒ හැරුණාම කජු මද ව්‍යංජනයක් ලෙස පිළියෙල කර ආහාරයට ගන්නට වගේම විවිධ රසකැවිලි පිසීමේ දී ඒවා රස ගන්වා ගන්නත් කජු මද  බහුලවම භාවිතයට ගන්නවා. මස් මාළු ආහාරයට නොගන්නා පුද්ගලයෙකුට ඇති වෙන්නට හැකි ප්‍රෝටීන ඌනතාවයන්ටත් කජු මද  තරම් සුදුසු තවත් ආහාරයක් නම් නැහැ. 

කජු මද විටමින් b, විටමින් b6, විටමින් සී, ඊ , කේ, තයමින්,කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස් සෝඩියම්, සෙලේනියම්, සින්ක් ආදී ශරීරයට අත්‍යවශ්‍ය අංශුමාත්‍ර මූලද්‍රව්‍යවලින් වගේම ඔමේගා ත්‍රී මේද අම්ල ඔමේගා 6  සික්ස් මේද අම්ල වගේම ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 20 ට අධික ප්‍රමාණයකින් ද පොහොසත්. ඒ හැරුණාම කාබෝහයිඩ්‍රේට්, තන්තු, ප්‍රෝටීන සීනි සහ මේදයත් කජුවල අන්තර්ගත වෙනවා. 

රසය වගේම ඉතාම ඉහළ ගුණයක් කජු මදවල අන්තර්ගත වෙන නිසා දිනකට කජු මද හතරක් පමණ ආහාරයට ගන්නට හැකි නම් එය පහත සඳහන් රෝග බොහොමයකින්ම  ආරක්ෂාව සලසා ගන්නට ඔබට හැකියාව ලැබෙනවා. නමුත් අමු කජු මදවල සහ වියලි කජු මදවල ඇති  ගුණය වෙනස්. කොහොමනමුත් කජු ආහාරයට ගැනීමෙන් වාසි රැසක් ලබා ගන්න පුළුවන්. 

  • ශරීරයට ශක්තිය ලබාදෙයි.
  • අස්ථි ශක්තිමත් කරයි.
  • ශුක්‍රාණු වර්ධනයට හිතකරයි. 
  • මළ බද්ධයට ගුණදායකයි. 
  • දත් දිරා යාමට සහ කොරලවලට හේතුවන gram positive බැක්ටීරියාව විනාශ කිරීමට උදව් වෙයි.
  • අධික රුධිර පීඩනය පාලනය කරයි.
  • බර  පාලනය කරයි.
  • සාංකාව දුරුකරයි. 
  • පිළිකා නාශක ගුණයෙන් යුක්තයි.
  • ගැබිනි මව්වරුන්ට ඉතාම ගුණදායකයි. 
  • හදවතේ  ක්‍රියාකාරීත්වයත්වය යහපත්ව තියා ගන්නට උපකාරී වෙයි. 
  • සම පැහැපත් කරයි. 
  • සුවදායි නින්දක් ලබාදෙයි. 

මෙතරම් ගුණදායක කජු වුණත් අසීමාන්තිකව ගැනීම ආසාත්මිකතා ඇති කරන්නට සහ ගැටලු ඇති කරන්නට හේතු වෙන්නට පුළුවන්. ඒ වගේම මේ කජු ඉරුවාරදය රෝගයෙන් පෙළෙන අයට වගේම වකුගඩු රෝගීන්ටත්  එතරම් හිතකර ආහාරයක් නොවෙයි. ඒ නිසා ඒ පිළිබඳවත් සැලකිලිමත් වෙන්න. 

අමු කජුවල කිරි රසය වැඩි නමුත් කජු මෝරන විට තෙල් බවට හැරෙනවා.  කජු සමග මස් මාලු වැඩිපුර අනුභව කළ විට වයස් භේදයකින් තොරව හිසරදය, මත්භාවය, බඩ පිපීම සහ උදර වේදනාව ආදිය ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම වයස අවුරුදු 60 ට වැඩි අය අනුභවයට සුදුසු වෙන්නේ කජු මද දහයක් පහළවක් පමණක් බවත් මතක තබා ගන්න.

කොහොම නමුත් කජු ව්‍යංජනය පිළියෙල කිරීමේදී  පොල් කිරි සහ තෙල් අඩුවෙන් භාවිතා කළ යුතුයි. එසේ නොවුණොත් එය ජීර්ණයට අපහසු වෙන්න පුළුවන්. මුං ඇට, ගොටුකොළ, මුකුණුවැන්න,කඩල, බෝංචි, පතෝල, කැරට් ආදිය දමා මේ ව්‍යංජනය සකසා ගන්නට  පුළුවන් නම් එයින් රසය වගේම ගුණයත් වැඩි කරගන්න පුළුවන්. ඒ වගේම තේ පානය කරන විට කෘතීම රස කැවිලි අනුභවයට වඩා කජු මද හතරක් පහක් ආහාරයට ගන්න පුළුවන් නම් එය ඉතාම සුදුසුයි. 

කජු පුහුලන් 

ලොකු කුඩා හැමෝම ඉතා ආසාවෙන් කන කජු පුහුලන් ලෝකයේ ඇති විටමින් බහුලම පලතුරක් විදියට සැලකෙනවා. එහි යකඩ වගේම විටමින් සී විශාල වශයෙන් අඩංගු වෙනවා. කජු පුහුලන් ආහාරයට ගැනීමේදී එහි කහට රසය නිසා ඇතිවන කැස්ස මගහරවා ගැනීමට දෙහි යුෂ ටිකක් එකතු කර ගැනීම සුදුසුයි. මේ  රසායනික ද්‍රව්‍ය මේවායේ අන්තර්ගත නොවන නිසා ශරීරයට අහිතකර බලපෑමක් ඇතිවෙන්නේ නැහැ.

  • දියවැඩියා රෝගීන්ට වගේම කොලෙස්ටරෝල් ඇති අයටත් කජු පුහුලන් ඉතාම ගුණදායකයි. 
  • ස්කර්වි රෝගය ඉතා ගුණදායකයි.
  • ගර්භාෂගත රෝග සඳහා ගුණ ලබාදෙයි. 

කජු  දළු

 කජු පුහුලන් වගේම කජු මදයත් ආහාරයට ගන්නා බව ඔබ හැමෝම දන්නවා. නමුත් බොහෝ දෙනෙක් නොදන්නා කාරණය තමයි කජු ශාකයේ නොමේරූ දළු ආහාරය පිණිස ලබාගත හැකි බව.

රතු පැහැති නොමේරූ කජු දළු ගෙන වතුරේ දමා හොඳින් තම්බා ගෙන දෙතුන් වරක් සෝදාගෙන සිහින්ව ලියා එයට රතු ළූණු, අමු මිරිස්, කරපිංචා ආදිය දමා තුනපහ පොල් කිරි එකතු කර ලිප තබා පිස ගැනීමෙන් රසවත් ආහාරයක් පිළියෙල කර ගන්නට පුළුවන්. මේ කජු දළු මාලුව විශේෂයෙන්ම අර්ශස් රෝගීන් සඳහා ඉතාම ගුණදායක ආහාරයක්.

ඒ වගේම කජු ගසේ කොළ යුෂ දත් කැක්කුමට, තදබල අතීසාරයට සහ දියවැඩියාව සඳහා ඖෂධ වශයෙන් භාවිතයට ගැනෙනවා. මේවායේ ඉතා ඉහළ බැක්ටීරියා නාශක ගුණයක් ද අන්තර්ගත වෙනවා. 

කජු ගසේ පොත්ත

 කජු පොතු තම්බා ගත් වතුර විවිධ රෝග තත්ත්වයන් සඳහා ගුණදායකයි. විශේෂයෙන්ම මේ පොතු තම්බා ගත් ජලය පානය කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගන්නට පුළුවන්. ඒ හැරුණාම සන්ධි ඉදිමුම් ආදී රෝග තත්ත්වයන්වලින් මිදෙන්නටත් එය අපිට උපකාරී වෙනවා .

ලෙලිවල ඇති තෙල්  

ලාදුරුවල ඇතිවන හිරි ගතියට, පොතු කබර රෝගයට, කරගැට, ඉන්නන් සදහා ආලේපය පිණිස මේ තෙල් භාවිතා කරනු ලබනවා. ඒ වගේම මෙහි පණුවන් නැසීමේ ගුණයක් ද පවතිනවා. 

කජු මදය ඉතා රසවත් බවින් වැඩි නිසාම ඒවා වියළා වසර පුරාම භාවිතයට ගන්නට හැකි නිසා අපිට මේ පෝෂදායී ආහාරය ඕනෑම කාලයකදී ආහාරය පිණිස භාවිතා කරන්න පුළුවන්. වෙනත් කෙටි ආහාර කුඩා බඩගින්නකට එකතු කර ගන්නවාට වඩා රසයෙන් වගේම ගුණයෙන් ඉතා ඉහළ කජු මද කිහිපයක් ඒ වෙනුවට එකතු කර ගැනීමෙන් ඔබට වඩාත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන්.