වකුගඩු ආශ්‍රිත ගල් වළකන කැකිරි

health tips

කැකිරි කියන්නේ ජලය බහුලවම අඩංගු වෙන අඩු මිලකට ලබාගත හැකි ගුණයන්ගෙන් ඉතා ඉහළ ආහාරයක්. නමුත් බොහෝදෙනා ආහාරයට ගන්නට රුචිකත්වයක් නොදක්වන ආහාරයක් .මෙය එළවලුවක් විදියට වගේම පලතුරක් විදියටත් ආහාරයට ගන්නට පුළුවන්. සීනි, කැකිරි, ගොන් ඇකිරි, කවුඩු කැකිරි, හේන් කැකිරි ,හීන් කැකිරි තිත්ත කැකිරි, කොමඩු කැකිරි ආදී වශයෙන් කැකිරි වර්ග ගණනාවක් අපි ආහාරයට ගනු ලබනවා. ඒ අතුරින් ව්‍යංජනයක් විදියට බහුලවම ආහාරයට ගන්නේ හේන් කැකිරි. ඒ හැරුණාම අනෙක් කැකිරි වර්ග පලතුරක් ලෙස හෝ පානයක් ලෙසත් ආහාරයට ගනු ලබනවා. ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වෙන්නේ ගුණ නොනසා කැකිරි ව්‍යංජනයක් පිළියෙල කර ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු කාරණා කිහිපයක් පිළිබඳව. මොකද අද අපි බොහෝදෙනා ආහාර පිසීමේදී අනුගමනය යම් යම් ක්‍රමවේද නිසා ආහාරවල අඩංගු වටිනා පෝශක බොහොමයක්ම අහිමිව යන නිසාවෙන්.

කැකිරිවල කැලරි වගේම ප්‍රෝටීනත් ඉතා අඩු ප්‍රමාණයක් තමයි අන්තර්ගත වෙන්නේ.ඒ හැරුණාම, තන්තු,  කාබෝහයිඩ්රේට්, කැල්සියම්, යකඩ, මැග්නීසියම්, පොස්පරස්, පොටෑසියම්, සෝඩියම්, විටමින් A,C,K ,බීටා කැරොටීන් ආදී අපේ ශරීරයේ පැවැත්මට අත්‍යවශ්‍ය සංඝඨක කිහිපයක්ම අන්තර්ගත වෙනවා.කැකිරි ග්‍රෑම් 2.5 ක් ආහාරයට ගැනීමෙන් අපේ ශරීරයට දෛනිකව අවශ්‍ය වන යකඩ සහ මැග්නීසියම් ප්‍රමාණය සපුරා ගන්නට හැකියාව ලැබෙනවා.

කැකිරි සතු විස්මිත ගුණ 

  • මුත්‍රා  ගල් සහ වකුගඩු ආශ්‍රිතව ගල් ඇතිවීම පාලනය කරයි.
  • සිරුරේ දාහය නිවා සිරුර සිසිල් කරයි 
  • මුත්‍රා අඩිස්සිය, මුත්‍ර  දැවිල්ල, නින්ද නොයාම හිසේ රුදාව් ආදී රෝගවලට සහනය සලසයි
  • ආහාර මාර්ගයේ පිළිකා ඇතිවීම පාලනය  කරයි 
  • විජලනය දුරලයි 
  • උණ සඳහා සහනය සලසයි 
  • අමිල පිත්ත රෝගයට ඉතා ගුණදායකයි 
  • පිත්තාශයේ ගල් ඇතිවීම වළක්වයි 
  • සිරුරේ  විෂ නැති කරයි 
  • ප්‍රදාහයන් සමනය කරයි 
  • මුත්‍ර මාර්ගය ආශ්‍රිත ආසාදන තත්ත්වයන් දුරලයි 
  • සෙංගමාලයට ගුණදායකයි 
  • මුත්‍ර  පිට කිරීමේදී ඇතිවන වේදනාව සහ අපහසුතාවයන් සඳහා සහනය ලබාදෙයි 
  • මුත්‍රා  පිරිසිදු කරයි 
  • පුරස්ථි ග්‍රන්ථිය ආශ්‍රිත රෝග සඳහා ගුණදායකයි 
  • ආහාර ජීර්ණය පහසු කරයි 
  • පිත දුරලයි 
  • කැකිරි ඇට පණු රෝග සඳහා ඉතාම ගුණදායකයි 
  • ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි 
  • ඇසේ සුද ඇතිවීමේ අවදානම අඩු කර ඇස් පෙනීම වර්ධනය කරයි 
  • බර අඩුකර ගැනීමට උපකාරී වෙයි 
  • දියවැඩියාව පාලනය කරයි 
  • මනස සන්සුන්ව තබා ගන්නට උපකාරී වෙයි 
  • සම සහ හිසකෙස්  නීරෝගී කරයි 
  • මල බද්ධය ඇතිවීම වළක්වයි 
  • අධි රුධිර පීඩනය පාලනය කරයි 
  • පේශීන්ගේ ක්‍රියාකාරිත්වය  සඳහා ඉතා වැදගත්.
  • රුධිරවාහිනීවල ඝනවීම පාලනය කරයි.
  • කොලෙස්ටරෝල් පාලනය කරයි  

ගුණ නොනැසෙන ආකාරයට කැකිරි ව්‍යංජනයක් පිළියෙල  ගන්නා ආකාරය 

  • ඉහළ පෝෂණ ගුණයෙන් සමන්විත ලෝකයේ 14 වැනි ස්ථානයට කෘෂි රසායන ද්‍රව්‍ය භාවිතා කරන  භෝගයක් විදියටයි කැකිරි නම් කර ඇත්තේ. ඒ නිසා අනෙකුත් එළවලු වගේම මෙය ආහාරයක් විදියට පිස ගන්නට පෙර හොඳින් සෝදාගත යුතු වෙනවා. 
  • තිත්ත ඉවත් කිරීම.
  • කැකිරි ගෙඩියේ නැට්ට පැත්තෙන් පෙත්තක් කපා තිත්ත ඉවත් කරගත යුතුයි. මෙහි අඩංගු වෙන්නේ කුකබෙටීන් කියන සංයෝගය. එය අක්මාව තුළ හෙප්ටික් ග්ලයිකෝජන් නිෂ්පාදනය වීම හෙවත් වැඩි වශයෙන් ග්ලූකෝස් නිෂ්පාදනය යාමනය කිරීමේ යාන්ත්‍රණය පාලනය කිරීමට මෙය ඉතා වැදගත් වෙනවා. දියවැඩියාව ඇති රෝගීන්ට එය පාලනය කර ගැනීමටත් දියවැඩියාව වැළදීමේ අවදානම අඩුකර ගන්නටත් මේ තිත්ත සහිත රසායනික සංඝටකය වැදගත් වෙනවා.
  • ඇට සහ පොතු ඉවත් නොකිරීම සහ කැකිරි ව්‍යංජනයට සහල් සහ පොල් එකතු කිරීමඅද අපි බොහෝදෙනා සිදුකරන ඇට ඉවත් කිරීම නිසා කැකිරිවල අඩංගු වෙන බොහෝ වටිනා පෝෂක අපේ ශරීරයට නොලැබී යනවා. විශේෂයෙන්ම පටක වර්ධනයට අවශ්‍ය කරන ප්‍රති ඔක්සිකාරක ආදිය එමගින් අපේ ශරීරයට නොලැබී යනවා.
  • කැකිරි කැබලිවලට කපා ගන්නා විට කැකිරි ඇට ඇට වෙනම බදුනකට දමා ගන්න. පසුව එළවලුව සකස් කර ගැනීමට පෙර මේ කැකිරි ඇට කබලේ රන්වන් පැහැයක් වනතුරු බැද ගන්න. එයට රන්වන් පැහැයක් වනතුරු බැදගත් සහල් සහ පොල් එකතු කර හොඳින් අඹරා ගන්න. තුනපහ, ලුණු, මිරිස්, යෙදූ කැකිරි එළවලුව දිය කිරෙන් තම්බා ගෙන එයට මේ අඹරාගත් මිශ්‍රණය එකතු කර මිටිකිරි දමා පිසගන්න.
  •  ඉතින් කැකිරි කියන්නේ ලෙඩ රෝග බොහොමයකට ගුණදායක ආහාරයක්.බෝ වන රෝග වගේම බෝ නොවන රෝගවලින් ආරක්ෂා වෙලා නීරෝගී ජීවිතයක් ගත කරන්නට කැකිරි අපිට ස්වභාදහමෙන් ලබාදුන් මහඟු තෑග්ගක්. නමුත් අවාසනාවට අද අපි මේ ආහාරවලින් ඈත්වෙලා. දිව පිනවන රස නහර පිනවන කෘතීම ආහාරවලින් අද අපි කුස පුරවා ගන්නට පෙළබිලා. ඉතින් දවසින් දවස විදවන්නට ලෙඩ රෝග ඇති කරන්නට හේතුවෙන ආහාරවලින් වැළකී සෞඛ්‍යාරක්ෂිත දිවියකට බෙහෙවින් උදව් වන මේ ආහාර ගැනීමට වඩා වඩා උනන්දුවීම නීරෝගී ජාතියක් බිහි කිරීමෙහිලා අතිශයින්ම වැදගත් වෙනවා.