නහර ගැට ගැසීම අකලට හිසකෙස් පැසීම වළකන අක්කපාන

health tips

අප්‍රිකානු රටකින් මෙරටට සංක්‍රමණය වූ ඖෂධීය පැළෑටියක් ලෙස අක්කපාන ශාකය හඳුනා ගත හැකිය. එනම් kalanchoe pinnata  විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන අක්කපාන ශාකය වැඩි වශයෙන් දැකගත හැක්කේ ගල් තලාවලය. එනම් අක්කපාන ගල්තලාවල හොඳින් වැඩෙන නිසාම “ගල් පාෂාණ” යන නමින් හඳුන්වනු ලැබේ අක්කපාන ශාකය දේශීය වශයෙන් ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ද විදේශීය වශයෙන් නිවර්තන කලාපයේ රටවල ද බහුලව වැඩේ. එනම් පොළවට ලම්බකව අඩි දෙකක් පමණ උසට වැඩෙන අක්කපාන ශාකයේ පත්‍ර මගින් ව්‍යාප්තිය සිදු කරගත හැකිය. 

අක්කපාන ශාකය ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ වැඩි වශයෙන් ප්‍රචලිත වන්නේ මුත්‍ර ගල් දිය කිරීමට භාවිතා කළ හැකි ඖෂධයක් ලෙසය. නමුදු බොහෝ රෝග වලට අක්කපාන කොළ ඖෂධයක් ලෙස භාවිතා කරනු ලැබේ. එනම් අක්කපාන ශාකයේ සල්ෆේට්, ඔක්සලේට්,  කැල්සියම් , පොටෑසියම්…..ආදී පෝෂ්‍ය පදාර්ථ ප්‍රමාණයක් අඩංගුවේ. එමෙන්ම ආයුර්වේදයට අනුව රසයෙන් කෂාය සහ අම්ලවේ. ගුණයෙන් ලඝු සහ රූක්ෂ වන අතර විපාකයෙන් මධුරය, වීර්යයෙන් ශීත වන බව සඳහන්වේ. ඒ නිසාම නොයෙක් රෝග සමනය කිරීමට අක්කපාන ශාකය භාවිතා කරනු ලැබේ. එනම් ඖෂධ භාවිතා කිරීමට අමතරව අක්කපාන කොළ සම්බෝලයක් ලෙස සකස්කර ආහාරයට ගැනීමද මෙම රෝග සුවකර ගැනීමට හේතුවේ. 

අක්කපාන සම්බෝලය සකස් කර ගන්නා ආකාරය. 

අවශ්‍ය ද්‍රව්‍ය

  • අක්කපාන කොළ මිටක්
  • ලොකු ලූණු ගෙඩි එකක්
  • ලුණු ස්වල්පයක්
  • අමුමිරිස් කරල් දෙකක්
  • ගම්මිරිස් ස්වල්පයක් 

අක්කපාන කොළ මිටක් ගෙන හොඳින් සෝදා සිහින්ව ලියලා ගන්න. ඉන්පසු ලූණු ,සහ අමුමිරිස් ද සිහින්ව ලියලාගෙන හොඳින් කලවම් කර ගන්න. ඉන් පසුව රස පදමට ලුණු සහ ගම්මිරිස් මිශ්‍ර කර කෑමට පෙර දෙහි යුෂ යොදා ආහාරයට එකතු කර ගන්න. මෙසේ අක්කපාන කොළ සම්බෝලයක් ලෙස පිළියෙල කර ආහාරයට ගැනීමෙන් ශරීර ගත බොහෝ රෝග සුව කර ගත හැකිය.

අක්කපාන ශාකයේ ඖෂධීය ගුණ 

පිටුපස අවයව ආශ්‍රිතව ඇතිවන වේදනාව සමනය කරයි.අක්කපාන කොළ භාවිතා කිරීම මගින් පිටුපස ප්‍රදේශය හා කොඳු ඇට පෙළ ආශ්‍රිත ව ඇති වන වේදනාවන් සමනය කරගත හැකිය. එනම් මේ සඳහා අක්කපාන කොළ තම්බා එම වේදනාව ඇති ස්ථානවල තැවීම සිදුකළ යුතුය. 

තුවාල ,විසර ගෙඩි සමනය කරයි. අක්කපාන කොළ භාවිතා කිරීම මගින් තුවාල, විසර ගෙඩි මෙන්ම විදුරුමස් වලින් ලේ ගැලීම සමනය කරගත හැකිය. එනම් අක්කපාන කොළ එළඟි තෙල් සමග හොදින් අඹරා තුවාල මතු පිට ආලේප කිරීමෙන් තුවාල සුව කර ගත හැකිය. එමෙන්ම එම ආලේපය විසර ගෙඩි මත ආලේප කිරීමෙන් සැරව ඉවත් කර ගත හැකිය. 

අලුතින් දත් ඒමේදී ඇතිවන වේදනාව සමනය කරයි.බොහෝ දෙනකුට පීඩා ගෙන දෙන විදුරුමස් පුපුරා රුධිරය ගැලීම හා ඒ නිසා ඇතිවන වේදනාව සමනය කර ගැනීමට අක්කපාන කොළ මී පැණි සමග මිශ්‍ර කර ආලේප කිරීම ගුණදායකවේ. 

පිළිකා සෛල විනාශකරයි.කරන ලද නවතම පරීක්ෂණවලින් තහවුරු වී ඇත්තේ පිළිකා සෛල විනාශ කිරීමට අක්කපාන ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි බවය. එනම් අක්කපාන වල අඩංගු  කාබනික සංයෝග පිළිකා සෛල විනාශ කිරීමට ඉවහල්වේ. මේ නිසා පිළිකා ඇතිවීම වැළැක්වීමට අක්කපාන කොළ ආහාරයට ගැනීම ගුණදායකය. 

ශරීරයේ ඇතිවන තැලීම් කැඩුම් බිඳුම්, උළුක්කු මෙන්ම ආතරයිටීස් වැනි රෝග නිසා ඇතිවන රෝග සංකූලතා  සමනය කරයි.කැඩුම්, බිඳුම් වෙදකමට මෙන්ම ආතරයිටීස් වැනි රෝග නිසා ඇතිවන ශරීර සංකූලතාවයන් සමනය කරගැනීමට ද ඖෂධයක් ලෙස අක්කපාන භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා අක්කපාන කොළ මිටක් පමණ ගෙන ඇල්දියෙන් අඹරා එම ස්ථානවල ආලේප කිරීම මගින් ඉදිමුම් වේදනා සමනය කරගත හැකිය. 

මුත්‍ර ගල් දිය කරයි.ඈත අතීතයේ සිටම අක්කපාන ශාකය වඩාත් ප්‍රචලිත වන්නේ මුත්‍ර ගල් දියකර හැරීම සඳහා භාවිතා කළ හැකි ඖෂධයක් ලෙසය. එනම් මුත්‍රා ගල් ඇති රෝගීන් අක්කපාන පත්‍ර කීපයක් ගෙන උණුසුම් වතුරට දමා මදක් තැම්බෙන තුරු වසා තබා නිවුණු පසු පානය කිරීම මගින් එම ගල් දියකර කර හැරිය හැකිය. එමෙන්ම අක්කපාන කොළ තම්බා පානය කිරීම ද මෙම රෝගය  සඳහා ගුණදායකය. 

අකලට හිසකෙස් පැසීම වළක්වයි.බොහෝ දෙනෙකුට පවතින හිසකෙස් සම්බන්ධ ගැටළු අතර අකලට හිස කෙස් පැසීමේ ගැටලුව හදුනාගත හැකිය. එනම් අකලට හිසකෙස් පැසීම වලක්වා ගැනීමට ඖෂධයක් ලෙස අක්කපාන කොළ භාවිතා කළ හැකිය. එනම් ඒ සඳහා තලතෙල් සමග  අක්කපාන කොළ යුෂ මිශ්‍ර කර සාදා ගන්නා තෛලය ගුණදායකය. එනම් එම තෛලය හිසේ ආලේප කිරීම මගින් අකලට හිසකෙස් පැසීම වළක්වා ගත හැකිය. 

නහර ගැට ගැසීම සමනය කරයි.බොහෝ දෙනකු පීඩා විඳින නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය සමනය කිරීම සඳහා ආයුර්වේදයේ භාවිතා කරන ප්‍රචලිත ඖෂධයක් ලෙස අක්කපාන කොළ නම් කළ හැකිය. එනම් මේ සඳහා බඳුනක් ලිප තබා ඊට එළඟිතෙල් ස්වල්පයක් මිශ්‍රකර අක්කපාන කොළ දමා මදක් රත් කර නිවුණු පසු නහර ගැටගැසුණු ස්ථාන තැවීම මගින් නහර ගැට ගැසීම සමනය කර ගත හැකිය. 

මේ ආදී වූ බොහෝ රෝග සමනය කිරීමට අක්කපාන ශාකය ඖෂධයක් ලෙස භාවිතා කළ හැකිය නමුදු ගර්භනී මාතාවන් සහ හෘද රෝග ඇති පුද්ගලයින් අක්කපාන භාවිතා කරන්නේ නම් ඊට ප්‍රථම වෛද්‍ය උපදෙස් ලබාගත යුතුය එමෙන්ම මෙම ශාකය අධි මාත්‍රාවෙන් භාවිත නොකළ යුතුය.