එදා රජවරුන්ගේ රාජ භෝජනයට පවා අනුමත කළ ලෙඩරෝග රාශියකට ගුණදායක පළතුරක් අද වෙද්දි අප අතරින් දුරස්ව ගිහින් තියෙනවා. ඒ තමයි කාමරංකා. පැණි රස, ඇඹුල් රස හා තිත්ත රස එකට එකතු වුණු මේ පලතුර මුඛයේ කෙළ ශ්‍රාවය වීම උත්තේජනය කරන්නට හැකියාව ඇති බව සොයාගෙන තියෙනවා. ඒ වගේම ඒ කාමරංකා පලතුර ශ්‍රී ලංකාව නිජ භූමිය කොටගත් බව විවිධ අවස්ථාවල සඳහන්ව තිබීමත් තාරකා විද්‍යාව පිළිබඳව හැදෑරු අයෙක් එහි නම් තබන්නට උදව් වුණු බවත් නිසාම මේ පලතුර ඉතා විශේෂ වෙනවා. ඒ හැරුණාම අද වෙද්දි ලෝකයේ වෛද්‍ය ක්‍රම කිහිපයක් විශේෂිත වූ ලෙඩ රෝග කිහිපයකට ප්‍රතිකාර විදියට මේ පලතුර භාවිතා කිරීමත් එහි සුවිශේෂී බව සහ වටිනාකම වැඩි කරන්නට හේතුවෙලා තියෙනවා. ඒ හැරුණාම මෑතකදී වැඩිදෙනාගේ කතා බහට ලක්වුණු කාරණයක් වන්නේ මේ කාමරංකා ආහාරයට ගැනීම පුද්ගලයෙකුට මරණය පවා අත්කර දෙන්නට සමත් බවයි. ඉතින් සැබෑවටම කාමරංකා ආහාරයට ගැනීම අපේ ශරීරයට හිතකරද අහිතකරද යන්නයි අද අපි කතා කරන්නට සූදානම් වන්නේ.
ඝර්ම කලාපීය රටවල ඉතාමත් හොඳින් වැවෙන කාමරංකා සතු උද්භිත විද්‍යාත්මක නාමය Averrhoa Carambola වන කාමරංකා පිලිපීනය,කොළොම්බියාව,ඇමරිකාව,නැගෙනහිර ආසියාව,මලයාසියාව දකුණු ඉන්දියාව ආදී රටවල ඉතා හොඳින් වැවෙනවා. කොහොමනමුත් මේ වන විට සිදුකර ඇති පර්යේෂණවලට අනුව කාමරංකා සතු විශේෂ ඖෂධීය ගුණයන් රාශියක් අනාවරණය කරගෙන තියෙන අතර ඒවගේම එහි ඇති යහපත් විෂ සහිත බවත් අනාවරණය කරගෙන තියෙනවා.
කාමරංකා පලතුරේ බහුලව අඩංගුව තියෙන්නේ විටමින් C . ඒ හැරුණාම කැල්සියම්, පොටෑසියම්, සෝඩියම් ආදී පෝෂකවලින් වගේම ප්‍රතිඔක්සිකාරක රාශියකින් ද සමන්විතයි. විශේෂයෙන් ආහාර ගැනීමෙන් පසුව ආහාරවල අඩංගු යකඩ ශරීරයට අවශෝෂණය කරගත හැකි අතුරුපසක් ලෙසටත් කාමාරංකා විශේෂ වෙනවා.
කාමරංකා සතු හිතකර ගුණ

- ස්නායුවල ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි
- ස්නායු රෝගවලින් පීඩා විදින අයට ගුණදායකයි.
- අස්ථි නීරෝගි කර ශක්තිමත් කරයි.
- ආහාර ජීර්ණය පහසු කරයි.
- පුරුෂයන්ගේ ලිංගික ශක්තිය වර්ධනය කරයි.
- පිළිකා ඇතිවීම වලකයි.
- සිරුරේ හෝර්මෝන අසමතුලිතතාවය සමතුලිත කරයි.
- ශරීරයේ විස නසයි.
- රක්තහීනතාවයට ගුණදායකයි.
- නින්ද නොයාමේ රෝගයට ගුණදායකයි.
- හිසරදය සුව කරයි.
- පාචනයට ඉතා සුදුසුයි.
- රුධිරයේ අහිතකර කොලෙස්ටරෝල් පාලනය කරයි.
- මල බද්ධය දුරලයි.
- සෙංගමාලයට ගුණදායකයි.
- ඇස් රෝග නසයි
- වට පණු රෝගයට සුදුසුයි.
- කිරිදෙන මව්වරුන්ට කිරි වැඩීමට සුදුසුයි.
- කුරුලෑ නසයි.
- සිරුරේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි.
- ස්ථුලතාවයෙන් මිදීමට උපකාරී වෙයි
- මුත්‍ර පිටවීම පහසු කරයි.
- අර්ශස් රෝගීන්ට ගුණදායකයි.
- අසාත්මිකතා හේතුවෙන් ඇතිවන චර්ම රෝග සඳහා ගුණදායකයි.
- පොතු කබර රෝගය සඳහා ඉතා සුදුසුයි.
කාමරංකා සතු අහිතකර බලපෑම්

- වකුගඩු රෝග ඇති අයට, වකුගඩුවල ශල්‍ය කර්ම කළ රෝගීන්ට සහ උපතින්ම එක් වකුගඩුවක් පමණක් ඇති අයට ගුණදායක නොවෙයි.
වකුගඩු රෝගය දවසින් දවස හිස ඔසවමින් යන බරපතල රෝගී තත්ත්වයක්. ඒ සඳහා බලපාන හේතු සාධක අතර කාමරංකා පලතුරත් එක් හේතුවක් ලෙසයි හඳුනා ගෙන ඇත්තේ. කාමරංකා නිසා වකුගඩු අකර්මණ්‍ය වනවා යන ආන්දෝලනාත්මක ප්‍රකාශය කර තිබුණේ ජාතික රෝහලේ වෘක්කවේදය පිළිබඳව විශේෂඥ වෛද්‍යවරයෙකු වූ එරංග විජේවික්‍රම මහතා විසින්. ඒ මහතා ප්‍රකාශ කරන ආකාරයට කාමරංකාවල අඩංගු ඔක්සිලික් ඇසිඩ් කියන අම්ල වර්ගය ශරීරගත වූ පසුව වකුගඩු නාල තුළ ඇති වෘක්කානු නම් නාල විශේෂයට හානි ගෙන එනු ලබනවා. මෙවැනි නාල විශාල ප්‍රමාණයක් වකුගඩුවල ඇති අතර ඒවා ශරීරයේ මුත්‍ර පෙරීමටයි දායක වන්නේ.එමගින් ඒ නාල අවහිරවීම නිසා මුත්‍ර කිරීම අඩාල වී ශරීරයෙන් ඉවත් විය යුතු විෂ වර්ග වන යූරියා වගේ දේවල් වකුගඩු තුළ රැඳී පවතිනවා. ඒ අනුව කෙටිකාලීන වකුගඩු ආසාදනවලට කාමරංකා යම් ආකාරයකින් හේතුවන බව සොයාගෙන තියෙනවා. නමුත් කාමරංකා ප්‍රධාන ආහාර වේලට පසුව අතුරුපසක් ලෙස ගැනීම එතරම් ගැටළුවක් නොවන බවයි වෛද්‍යවරුන්ගේ අදහස වන්නේ.
නමුත් හිස්බඩ කාමරංකා පානය කිරීම හෝ කෑම සුදුසු නැහැ.එයට හේතුව ආමාශයේ ආහාර නොමැති අවස්ථාවේ කාමාරංකාවල ඇති ඔක්සිලික් අම්ලය ඍජුවම ශරීරගත වීම නිසා හානිදායක වන නිසා. ඒ වගේම දිනපතා කාමරංකා ගෙඩි ගණනාවක් ගැනීම,නැත්නම් ගෙඩිය බැගින් දිගුකාලයක් ගැනීම ආදී කාරණා රෝග ලක්ෂණ පෙන්වන්නට ගතවන කාලය වෙනස් වන්නට බලපානවා.
- හෘද රෝග ඇති අයට අහිතකරයි.
- දියවැඩියා රෝගීන්ට එතරම් හිතකර නැහැ.
- වලිප්පුව ඇති අයට කාමරංකා ආහාරයට ගැනීමෙන් ස්නායු ආබාධ ඇති වන නිසා එවැනි රෝගීන්ට කාමරංකා සුදුසු නොවෙයි.
- අමිල පිත්ත රෝගීන්ට අහිතකරයි.
- බටහිර ප්‍රතිකාර ලබා ගන්නා අයට ගැනීම නුසුදුසුයි.
කාමරංකා ආහාරයට ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු

- කැඩූ විගසම ආහාරයට ගත යුතුයි.
- බාගෙට ඉදුණු හෝ අමු ගෙඩි ආහාරයට ගැනීම එතරම් සුදුසු නොවෙයි.
- ආහාරයට ගැනීමට පෙර ගලන ජලයෙන් සෝදා ගෙන එහි දාර කපා ඉවත් කරගත යුතුයි.
- වරකදී මධ්‍යම ප්‍රමාණයේ ගෙඩි 3 ට වඩා ආහාරයට නොගත යුතුයි. අධික ලෙස ආහාරයට ගැනීමෙන් මුත්‍රා දැවිල්ල, කරකැවිල්ල, මත් ගතිය හා අධික නිදිමත ඇතිවිය හැකියි.
ඉහත සඳහන් කළ කාමරංගා ආහාරයට ගැනීමෙන් වැළකිය යුතු කාණ්ඩයට අයත් අයෙක් කාමරංකා ආහාරයට ගන්නේ නම් ඉක්මනින්ම රුධිර පරීක්ශාවක් කර ගැනීම ඉතා සුදුසුයි. ඒ වගේම කාමරංකා නිසා ඇතිවන වෘක්කානු අවහිරවීම යළි ඒ පලතුර ආහාරයට ගැනීමෙන් වැළකීමෙන් වගේම සුදුසු ප්‍රතිකාර ලබා ගැනීමෙන් සුව කරන්නට හැකියි. නමුත් වකුගඩු වැනි සංවේදි ඉන්ද්‍රියකට සිදුවන හානි ප්‍රතිකාර මගින් වුවත් සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කළ නොහැකි බව මතක තබා ගත යුතු වෙනවා. නමුත් කාමරංකා ආහාරයට ගන්නා සියලුම දෙනාට වකුගඩු ආබාධ ඇති නොවන බවත් මතකයේ තබාගත යුතුයි.