කතුරුමුරංගා ආහාරයට එකතු කර ගැනීමට හේතු 7ක්

health tips

දෛනික ආහාර වේලට පළා වර්ගයක් එකතු කර ගන්න පුළුවන් නම් ඒක අපේ නිරෝගි බවට ලොකු උදව්වක් වෙනවා. අපේ කෑමට නිතරම එකතු කර ගන්න  පළා වර්ග තමා ගොටුකොළ, මුකුණුවැන්න, කතුරුමුරුංගා, සාරන, කන්කුන් වගේ කෑම. ඉතිං ඒ පළාවර්ග අතරින් කතුරුමුරුංගා කියන්නෙ බොහොම ගුණ පළා වර්ගයක්. 

කතුරුමුරුංගා අප අතර බොහොම සුලබ පළා වර්ගයක් වුණාට කතුරුමුරුංගා ගැන අපි දන්න දේවල් බොහොම අල්පයි.  ඉතිං අද අපි බලමු කතුරුමුරුංගා ගැන අපි එතරම් දැනුවත් නැති නමුත් වටිනා කරුණු කිහිපයක්.  

කතුරුමුරුංගා වල  සුදු මල්, රතුමල්, නිල් මල්, කහ මල් කියලා  ප්‍රභේද කිහිපයක් තිබෙනවා. ආයුර්වේදයේදී කතුරුමුරංගා හැඳින්වෙන්නේ “අගස්ති” කියලා. එයට හේතුව විදියට ආයුර්වේදය දක්වන්නේ කතුරුමුරුංගා  අහසේ අගස්ති තාරකාවට සමාන නිසා බව කියනවා. ඒ වගේම සෘෂිවරුන් අතර අගස්ති සෘෂිවරයා තරුණ පෙනුමකින් යුක්තයි. කතුරුමුරංගා වලත් බොහෝ රසායනයන් අන්තර්ගත නිසා අගස්ති යන නම යෙදෙන්නට ඇතැයි සැලකෙනවා.

කතුරුමුරංගා වල වෛද්‍ය විද්‍යාත්මක ගුණ

  • මද්‍යසාර නිසා ඇති වෙන අක්මා රෝග තත්වයට වගේම සෙංගමාලය නිසා අක්මාවට ඇති වෙන හානිය සඳහාත් කතුරුමුරුංගා ගුණදායකයි.
  • කතුරුමුරුංගා පෝෂණ ගුණ බහුලව තිබෙන ශාකයක්. මේ කතුරුමුරුංගා වල විටමින් A, B වගේම කැල්සියම් බහුලයි. 
  • ඇස් රෝග වෙනුවෙන් මෙන්ම රාත්‍රි අන්ධකාරයටත් වගේම හතලිස් ඇඳිරියේදී සහනය ලබා ගැනීමට පීකුදු සමග එකට යොදා කතුරුමුරුංගා කොළ පිස ගැනීමෙන් ගුණදායකයි.කතුරුමුරුංගා කියන්නේ හොඳ බෙහෙතක්. අපි සාමාන්‍ය රෝග වෙනුවෙන් කතුරුමුරුංගා යොදා ගන්නවා. 
  • මල බද්ධය ඇති විට කතුරුමුරුංගා කොල ව්‍යංජනයක් විදිහට ආහාරයට ගන්නවා. ඒ වගේම පපඩම් සමග ගැඹුරු තෙලින් බැද ගත් කතුරු කොළ එක් කර ගන්නවා.
  • කට දිව වන වීම හා  උෂ්ණ බිබිලි වලදී කතුරුමුරුංගා කොල මලවා ආහාරයට ගන්නවා. ඒ වගේම කිරි හොද්ද පිස එයට කතුරුකොල එක් කර ගෙන හොද්ද යාන්තම් බුබුලු දමන විට බා ගන්නවා. මෙහි තන්තු බහුල නිසා ආහාර ජීරණය පහසු කරනවා. 
  • තුනටිය වේදනාව සහ හන්දි ඉදිමුම නිසා ඇති වෙන වේදනාවේදී කොළ සහ පොතු අඹරාගෙන ආලේප කිරීම ගුණදායකයි. සාමාන්‍ය තුවාල වෙනුවෙන්ද මේ ආලේපය යොදා ගත් විට එය පිරිසිදු වී දින කීපයකින් සුවය ලැබෙනවා.
  • ලස්සන වෙන්නත් හොඳ කෑමක් තමා කතුරු කොළ හමේ ඇති වෙන ලප කැලැල් මකා ගැනීමට කතුරුමුරුංගා කොළ ඉස්ම ආලේප කිරීම ගුණදායකයි. 
  • යටි පතුල් පැලෙන අපහසුතාවය අපි අතර ඉතා සුලබයි. මේ තත්වය නිසා වේදනාව වගේම පාදවල තිබෙන අලංකාර බව නැති වෙනවා. ඒ අපහසුතාවයට පිලියමක් විදිහට කතුරුමුරුංගා මුල් වියලා කුඩු කර ගෙන මීකිරි සමග මිශ්‍ර කර ආලේප කරන්න.


කතුරුමුරුංගා වලින් පිස ගන්නා ආහාර

  • කතුරුමුරුංගා මැල්ලුම් අපි කතුරුමුරුංගා මැල්ලුමක් විදිහට පිලියෙල කරද්දී යාන්තම් බටර් ටිකකින් තෙම්පරාදු කර ගතහොත් රසය වැඩියි. ඒ වගේම බිමට ගෙන දෙහි ඇඹුල් ස්වල්පයක් එක් කරන්න. සියඹලා කොලයට සමාන හැඩ  ඇති මෙම පත්‍ර ලියා ගෙන වගේම කොළ විදිහටත් සකසා ගත හැකියි.
  • කතුරු මල් තෙම්පරාදුව පාන් පිටි කෝප්ප 4/1 ක් පමණ පොල්කිරිවලින් දියකර ගෙන කොකිස් බදින පදමට සාදා ගෙන එහි කතුරු මල් පෙති තවරා ගැඹුරු තෙලේ බැදගන්න. ඒ වගේම කතුරුමල් සිහින්ව ලියා ගෙන එයට රතුළූණු, අමුමිරිස්, කරපිංචා, උම්මලකඩ ලියාගෙන එක් කරන්න. බටර් හෝ පොල්තෙල් ස්වල්පයක් ලිප තබා එයට  මිශ්‍රණය දමන්න. මිරිස්, කහ, ලුණු, තුනපහ ඇති පදමට දමන්න. මිටිකිරි ස්වල්පයක් එක් කර ගෙන එය පැසුන විට ආහාරයට ගන්න.
  • සලාද කතුරුමුරුංගා කොළ සලාද ආකාරයට පිළියෙල කරන්න පුළුවන්. සලාදයක් විදිහටත් කොළ ලියා ගෙන අමුමිරිස්, රතුළූනු , උම්මලකඩ එක් කරන්න. අවශ්‍ය පමණට ලුණු සහ පොල්, දෙහි ඇඹුල්ද යොදා ගෙන සලාදය පිලියෙල කර ගත හැකියි.