පතාල ගරුඩී හෙවත් කැහිපිත්තන් වැල්වල ඖෂධීය ගුණ 

health tips

ගැඹුරට ගමන් කරන මුල් ඇති හෙයින් පතාල ගරුඩී යන නාමයෙන් ද හදුන්වන කැහිපිත්තන් පොළොවට සමාන්තරව වර්ධනය වන දේශීය වැල් වර්ගයකි. නොයෙකුත් රෝග නසන ඖෂධීය ගුණ පිරි මෙම වැල් ශාකය Menisppermaceae උද්භිද ශාක කුලයට අයත් ශාකයක් වේ. කැසිපිස්සන් යන නමින්ද මෙම වැල් වර්ගය හදුන්වයි. කැහිපිත්තන් වැල්වල පත්‍ර මදක් ත්‍රිකෝණාකාර හැඩයකින් යුක්ත වේ. පත්‍ර උඩු පෘෂ්ඨය දිලිසෙන සුළු සිනිදු මතුපිටකින් සමන්විත වේ. පත්‍ර යටි පෘෂ්ඨය සියුම් බූවක් සහිතය. මෙහි පොකුරු වශයෙන් හටගන්නා කහ පාටින් යුක්ත වේ. මෙම වැලෙහි හටගන්නා කොළ පැහැති ඵලය ඉදුණු පසු සුදු පැහැය ගනී. කැහිපිත්තන් වැල්වල ඖෂධීය ගුණ භාවිතයෙන් අපට නොයෙකුත් රෝග සුවපත් කර ගැනීම සදහා ප්‍රතිකාර කළ හැකිය. මේ සදහා කැහිපිත්තන් වැල්වල පත්‍ර, මුල්, වැල් යනාදි කොටස් යොදා ගනී. 

කැහිපිත්තන් ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සුවපත් කර ගන්නා රෝග 

• සර්ප විෂ සදහා 

• තුවාල සදහා 

• දැවිල්ල සදහා 

• ඉදිමුම් සදහා 

• උණ සදහා 

• චර්ම රෝග සදහා 

• හිසරදය සදහා 

• පාචනය සදහා 

• ආහාර අරුචිය සදහා 

• පණු රෝග සදහා 

• ඔසප් දෝෂ සදහා 

• සෙංගමාලය සදහා 

• පිත් රෝග සදහා 

• පීනස ,ඇදුම, සෙම්ප්‍රතිශ්‍යාව සදහා 

• ගැස්ට්‍රයිටීස් සදහා 

• පිලිස්සුම් සදහා 

• මූත්‍ර ආසාදන සදහා 

• මූත්‍ර අඩස්සිය සදහා 

• වමනය සදහා 

• පූයමේහය සදහා 

• ආහාර අරුචිය සදහා 

• පණු රෝග සදහා 

කැහිපිත්තන් ශාකයේ ඖෂධීය ගුණ 

• වාතය සහ සෙම නසයි.

• රුධිරය පිරිසිදු කරයි.

• මූත්‍රා වර්ධනය කරයි.

• ශරීරය සිසිල් කරයි. 

කැහිපිත්තන් වැල් ශාකයේ ඖෂධීය ගුණ භාවිතයෙන් සකසන අත් බෙහෙත් 

• කැහිපිත්තන් යොදාගෙන සකසනු ලබන කැහිපිත්තන් ජෙලි බොහොමයක් රෝග සදහා ගුණදායක ඔසුවක් වේ.

අම්ලපිත්තය, ලේ පිටවන අර්ශස් හා එයින් ඇතිවන වේදනා සදහා, පූයමේහය, මූත්‍ර දැවිල්ල, සෝම රෝගය, අජීර්ණ, දරුවන්ගේ පණු රෝග ආදිය සදහා මෙම කැහිපිත්තන් ජෙලි වඩාත් ගුණදායක වේ. එමෙන්ම සෙම් රෝග, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, පීනස, ඇදුම වැනි රෝග සදහා ද මෙම ජෙලි වඩාත් ගුණදායක ඔසුවකි. කැහිපිත්තන් ජෙලි සකසා ගන්නේ මේ ආකාරයට ය.

කැහිපිත්තන් කොළ කුඩා කැබලි වලට කපා ජලය ස්වල්පයක් මිශ්‍ර කර හොඳින් කෙටීමෙන් සෑදෙන උකු මිශ්‍රණය මිදෙන්නට තබා මී පැණි ස්වල්පයක් හෝ සීනී ස්වල්පයක් මිශ්‍ර කර පොල්කිරි සමග ආහාරයට ගනු ලබයි. මෙය අගනා අතුරුපසකි. කිරි දෙන මව්වරුන්ට සතියකට අවම වශයෙන් දෙවරක් හෝ මෙම ජෙලි ආහාරයට ගත හැකි නම් මව්කිරි වර්ධනය කර ගැනීමට හැකියාව ලැබේ. වද බවින් පසුවන ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම වන්ද්‍යභාවය නැති කර ගැනීම සදහා ද මෙම කැහිපිත්තන් ජෙලි වඩාත් ගුණදායක වේ. 

. උෂ්ණ බිබිලි සහ කුෂ්ඨ රෝග සදහා 

මෙම රෝග තත්ත්වයන් සුවපත් කර ගැනීම සදහා කැහිපිත්තන් මුල් කෂාය සති දෙකක් පමණ නොකඩවා පානය කළ යුතුය.

. මී මැසි, දෙබර, බඹර දෂ්ඨ කිරීම් සදහා. 

කැහිපිත්තන් කොළ , කුප්පමේනිය කොළ , බැබිල කොළ , දෙහි ඇඹුලින් අඹරා දෂ්ඨ කළ ස්ථානයෙහි ආලේප කිරීමෙන් මෙම සත්ත්ව විෂ මර්දනය වේ.

• දත් මුල් දියවීම සුවපත් කර ගැනීම සදහා.

කැහිපිත්තන් මුල් තැම්බූ ජලයෙන් කට සේදීම මේ සදහා ගුණදායක වේ. 

• සුව නොවී පවතින සැරව ගලන තුවාල සදහා.

කැහිපිත්තන් කොළ සහ මුල් කොටා ගත් යුෂ ආලේප කිරීමෙන් මෙම තුවාල ඉක්මනින් සුවපත් කර ගත හැකිය. 

• නොනවත්වා බඩ බුරුලෙන් යන විට එම තත්වය සුවපත් කර ගැනීම සදහා.

කැහිපිත්තන් මුල් තලා ලබා ගන්නා යුෂවලට මොරු ස්වල්පයක් එකකර උක් හකුරු හෝ සීනි ස්වල්පයක් මිශ්‍ර කර පානය කිරීමෙන් එම අපහසුතා මගහරවා ගත හැකිය. 

• පිත නිසා හට ගන්නා කැස්ස සදහා.

කැහිපිත්තන් කොළ සමග හීනටි හාල් යෙදූ කැද පානය කිරීම මේ සදහා ගුණදායක වේ. 

• වී කරල් ආදිය ඇස්වල වැදීමෙන් ඇතිවන සීරීම් ආදිය සුවපත් කර ගැනීම සදහා.

කැහිපිත්තන් කොළ ,අරළු ,අමුකහ ස්වල්පය බැගින් ගෙන වෙනිවැල් ගැට, කොහොඹ කොළ තම්බනලද ජලයෙන් අඹරා එම යුෂ පිරිසිදු රෙදි කඩකින් ඇසට බිංදු කිහිපයක් යොදන්න.

• සෙංගමාලය , පිත අධික වීමේන් සෑදෙන රෝග , චර්ම රෝග සදහා.

කැහිපිත්තන් කැද සාදා පානය කිරීම මේ සදහා ගුණදායක වේ. 

• කාන්තාවන්ගේ ඔසප් වේදනා සදහා.

මේ සදහා කැහිපිත්තන් කොළ සහ මුල් යෙදූ කෂාය වඩාත් ගුණදායක වේ. එය එම වේදනා සමනය කර ගැනීම සදහා උපකාරී වේ. 

• වෙවුළුම් සහිත උණ සදහා.

කැහිපිත්තන් මුල් ස්වල්පයක් ගෙන බදුනකට දමා වතුර පත අටක් එක් කර පත අට එකට සිදුවා ගෙන සකසා ගන්නා කෂායට ගම්මිරිස් කුඩු ස්වල්පයක් එක්කර පානය කිරීම මගින් මෙම උණ ඉක්මනින් සුවපත් කර ගත හැකිය. මූත්‍ර ගල් හා මූත්‍ර දැවිල්ල ඇතුළු මූත්‍ර රෝග රැසක් සදහා ද මෙම කැහිපිත්තන් මුල් කෂාය ගුණදායක වේ. උදෑසන සහ සවස කැහිපිත්තන් මුල් කෂාය පත භාගය බැගින් හකුරු කැබැල්ලක් සමග දින හතක් පමණ එක දිගට පානය කිරීමෙන් මෙම මූත්‍ර රෝග සියල්ලම සුවපත් වෙයි. 

. පිලිස්සුම් හා වෙනත් දැවිලි අවස්ථා සදහා. 

කැහිපිත්තන් කොළ හොඳින් කොටා ජෙලි පදමට ගෙන ආලේප කිරීම මේ සදහා සිදු කළ යුතුය. පැපොල රෝගය නිසා හටගන්නා දැවිල්ලටද බිබිලි වලටද මෙය වඩාත් ගුණදායක ඔසුවක් වේ. ගින්දරට හෝ උණුවතුරට පිළිස්සුණු විට තද දැවිල්ලක් සමග දිය බුබුලු හට ගන්නා අවස්ථා පවතී. එවැනි අවස්ථාවන්හි පිළිස්සුණු විගසම කැහිපිත්තන් කොළ එළකිරෙන් අඹරා පිළිස්සුණු ස්ථානයෙහි ආලේප කිරීමෙන් දැවිල්ල සමනය වන අතර දිය බුබුලු හට ගැනීම ද නවතී. 

මේ ආදී වශයෙන් නොයෙකුත් රෝග සුවපත් කර ගැනීම සදහා ගුණදායක ඔසුවක් ලෙස කැහිපිත්තන් වැල් ශාකය භාවිත කළ හැකිය. මෙවැනි වටිනා ඔසු පිළිබඳ දැනුවත් වී සිටීම ඕනෑම කෙනෙකුට ඉතා වැදගත් වේ