ගැස්ටික් සතියෙන් සුව කරන කෙකටිය ශාකයේ ගුණ 22ක්

health tips

අද අපි ආහාර ගනිද්දී ගුණයට වැඩිය රසයට මූලික තැනක් දෙන නිසා රෝගාබාධ ගැනත් වැඩිපුර කතා කරන්න සිද්ධ වෙලා. ඒත් අපේ මුතුන් මිත්තන් ආහාරයට ගත්තු ආහාර නැවතත් අපේ ආහාර රටාවට එකතු කරගන්නට උනන්දු වුණොත් නම් නිරෝගීව  බොහෝ කාලයක් ජීවත් වෙන එක ගැටලුවක් නෙවෙයි. ඒත් ඉතින් ගුණදායක ආහාර වේලක් සකසා ගන්නට  මුදල් වියදම් කරන්නම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේ ලෙහෙසියෙන්ම සපායා ගන්නට හැකියාව තියෙන ගුණදායක ආහාරයක් තමයි කෙකටිය.

 මේ කෙකටිය ශාකය කශේරු කියලත් හඳුන්වනවා. ජලාශ්‍රිත ප්‍රදේශවල දකින්නට ලැබෙන මේ ශාකය අපේ රටට ආවේනික දුර්ලභ ශාකයක් විදියට තමයි සැලකෙන්නේ. .මෙහි පත්‍ර  බොහොමයක් ජලයේ ගිලී පවතිනවා. සුවදින් යුත් මෙහි මල් සුදු රෝස හෝ ලා දම් පැහැයෙන් සමන්විතයි. කෙකටිය ශාකයේ දඩු ආහාරය පිණිස භාවිතා කරන අතර මල් සහ අල විසර්ප ආදියට ප්‍රතිකාර සඳහා භාවිතා වෙනවා. ඒ  හැරුණාම කෙකටිය අල වගේම දඩුත් ව්‍යංජනයක් ලෙස ආහාරයට ගන්නවා. 

ඒ වගේම අල තම්බා පොල් සමඟ ආහාරයට ගන්නා අතරේ මේවායේ මල් සහ නටුව කිරට වගේම තෙලටත් ඉතා රසවත්ව පිළියෙළ කරගන්නට පුළුවන්. කිරි වැඩීමට සහ දරු ප්‍රසූතියෙන් පසුව මව්වරුන්ට බොහෝවිට ලබා දෙන්නේ කෙකටිය අල ව්‍යංජනය හෝ මේවායේ මල් කැඳ වශයෙන්.

මේ කෙකටිය රසවත් ගුණදායි ආහාරයක් විතරක් නෙවෙයි. විවිධ රෝග සුවපත් කිරීම සඳහා භාවිතා වෙන වටිනා කියන ඖෂධයක්. කෙකටිය අල වගේම මල් 

  •  අතීසාරය
  •  රක්ත අතීසාරය
  •  රක්ත අර්ශස්
  •  ප්‍රදර රෝග
  •  සෝම රෝග
  •  අක්ෂි රෝග 
  • ග්‍රහණිය 
  •  වමනය

ශරීර දුර්වලතා  රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර පිණිස භාවිතයට ගැනෙනවා. ඒ හැරුනහම මේවා ව්‍යංජනයක් විදිහට මැල්ලුමක් විදිහට තෙම්පරාදුවක් විදිහට හෝ ආහාරයට එකතු කර ගැනීමෙන් අපට සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට සුවිශාල දායකත්වයක් ලබා දෙනවා. ඉතින් අපි බලමු මේ ශාකයේ ඖෂධීය ගුණ මොනවද කියලා.

  • බඩේ දැවිල්ල, ඇඟපතේ දැවිල්ල, මල මාර්ගයේ  සහ මුත්‍රා  දැවිලි ආදී තත්ත්වයන් දුරු කරනවා.
  • ලේ අර්ශස් රෝගීන්ට ගුණදායක වෙනවා.
  • රක්ත අතීසාරයට ගුණදායක වෙනවා.
  • ශරීරයේ  උෂ්ණාධික බව දුරු කරනවා.
  • වණවල ඉදිමුම් සුව කරනවා.
  • පිපාසය දුරු කරනවා.
  • අමිල පිත්ත රෝගීන්ට ගුණදායකයි.
  • දරුවන් ප්‍රසූත කළ කාන්තාවන්ගේ රුධිර වහනය වළක්වනවා.
  • දියවැඩියා රෝගයට ගුණදායක වෙනවා.
  • ලිංගික බෙලහීනතාවය දුරු කරනවා.
  • වණ සහ ඉදිමුම් නැති කරනවා. 
  • මව්වරුන්ගේ කිරි වඩවනවා. 
  • ඇස් රෝග නසනවා.
  • දේහයේ විෂ නැති කරනවා.
  • චර්ම රෝග සඳහා ගුණදෙනවා.
  • හදවත නීරෝගී කරනවා.
  • ආහාර රුචිය වර්ධනය කරනවා.
  • දාහය සන්සිඳවනවා.
  • ආහාර රුචිය ඇති  කරනවා. 

කෙකටිය රෝග සඳහා 

ඇස් රෝග සඳහා වැල්මී සමඟ  අඹරා පුරවලියන් යොදනු  ලබනවා.

වමනය සඳහා-කෙකටිය අල තම්බා ගත් ජලය මී පැණි සහ වී පොරි සමඟ කලවම් කර පානයට ලබාදීමෙන් වමනය සුවකර ගන්නට පුළුවන්.

දියවැඩියාව සඳහා-කෙකටිය අල, මාදං ඇට, රණවරා මුල්, කොතල, කෙමිය මුල්, උළුහාල් එක සමානව ගෙන පිරිසිදු කර කොට කෂාය කර පානය කිරීම සුදුසුයි.

අතීසාරය සඳහා-කෙකටිය අල තම්බන ලද ජලය පානය හෝ එය කෂාය කර බොන්නට දෙනු ලබනවා.

අමිල පිත්ත රෝගය සඳහා -සම්පූර්ණ කෙකටිය ශාකයම තම්බා පානයට ලබාදීම සුදුසුයි.

පිපාසය සඳහා-කෙකටිය මල් හෝ අල තම්බන ලද ජලය පානය කිරීම සුදුසුයි.

දරු  ප්‍රසූතියෙන් පසුව ලේ වහනය වැළැක්වීමට සහ මව්කිරි වර්ධනයට-කෙකටිය අල මල් කැඳ හෝ ව්‍යංජන ලෙස සකසා ආහාරයට ගනු ලබනවා.

කෙකටිය ව්‍යංජනයක් පිළියෙල කරගන්නා  ආකාරය 

  • කෙකටිය  
  • කරපිංචා 
  • ලියාගත් රතු ළූණු  
  • ලියාගත් සුදු ළූණු  
  • ලියාගත් කොච්චි 
  • කූනිස්සන් 
  • කෑලි මිරිස් කුඩු 
  • තුනපහ 
  • ගොරකා 
  • ලුණු  
  • කහ 

සාදා ගන්නා ආකාරය සෝදාගත් කෙකටිය දළුවල මල් ටික පිසීමට පෙර ඉවත් කර ගන්න .කෙකටිය දඩු ටික තරමක් දිගටි ආකාරයට කපා ගන්න. පසුව මැටි බදුනක්  ලිප තබා එයට තෙල් දමා තෙල් රත් වුණු  පසු රතුළූනු , කොච්චි, කරපිංචා සහ සුදු ළූණු  එකතු කර රන්වන් පැහැ වනතුරු බැද ගන්න. කපාගත් කෙකටියවලට කෑලි මිරිස් තුනපහ, කහ, ලුණු, ගොරකා සෝදාගත්  කූනිස්සන්  ආදිය එකතු කර හොඳින් මිශ්‍රකර ගන්න. ඒ කෙකටිය මිශ්‍රණය  බැදගත් ළූණු ආදිය සමඟ එකතු කර තම්බා ගන්න. 

දුර්ලභ ශාකයක් වුණත් අපේ ආහාරවේලට නිතර එකතු කරගත යුතුම ආහාරයක් මේ කෙකටිය. කෙකටිය ශාකයේ සෑම කොටසක්ම පාහේ ආහාරය පිණිසත් ඖෂධ පිණිසත් භාවිතයට ගන්නා නිසා  මේ ශාකය අනාගත පරපුර වෙනුවෙන් රැක ගත යුතුම ශාකයක්.