ඉස්සර අපේ සීයලා ආච්චිලා සුළු බඩගින්නටත් කාපු කැලේ හැදෙන රසගුණ පිරි කැලෑ ගෙඩි

health tips

අපිට ගොඩක් දේවල් සල්ලිවලට ගන්නට පුළුවන්කම තිබුණත් සල්ලිවලටවත් ගන්න බැරි හරි අපූරු දේවල් මේ ලෝකයේ තියෙනවා. අද අපි ගෙවන සංකීර්ණය ජීවිතයට වඩා මීට වසර ගණනාවකට කලින් අපි ගත කරපු ජීවිතය හරිම සුන්දරයි. හරිම සරලයි.  ගහකොළ එක්ක, සතා සීපාවා එක්ක හරි අපූරු සබැඳියාවක් එදා අපිට තිබුණා. නවීන මංමාවත්, යාන වාහන නොතිබුණු ඒ කාලයේ පාසල් ඇරිලා බඩවැටි මැදින් එන  දරුවන් බඩගින්නට වගේම විනෝදාස්වාදයට පුංචි පුංචි රසවත් පලතුරු මගදිගට කඩා ගෙන කෑවා.

ඒවායේ රසය විතරක් නෙමෙයි ගුණයත් ඉතාම ඉහළ නිසා එදා බාල මහළු කොයි කවුරුත් නිදුක් නිරෝගීව ජීවත් වුණා. මං මුලින් කිව්වා වගේ අපිට අද ඒ වගේ පලතුරු එහෙමත් නැත්නම් ගඩා ගෙඩි සල්ලිවලටවත් ගන්නට හැකියාවක් නැති වෙලා. මෑතක් වනතුරු ගම්බද පළාත්වල හදිසියෙන් හෝ මේ වගේ ගඩාගෙඩි මුදලට විකිණීමට තිබුණත් අද ඒ වගේ අවස්ථාවක් ලැබෙන්නේ නැති තරම් .

ඉතින් වසවිස බහුල පලතුරු තමයි අද අපි වගේම අපේ  දරුවන් පවා ආහාරයට ගන්නේ. ඒ නිසාම තමයි අකාලයේ නොයෙකුත් ලෙඩ රෝගවලට නූතන පරපුර ගොදුරු වෙමින් යන්නේ. කෙසේවෙතත්  දැන් දැන් අපිට එදා වගේ කැලෑ පලතුරු දකින්නට අවස්ථාව අඩු වුණත් අපි අද කල්පනා කළා අපෙන් ඈත් වෙලා යන මේ ගඩා ගෙඩි කොතරම් අපිට ගුණදායක ද කියලා ඔබට නැවත මතක් කරන්නට.

  • දං

 අනිත් අයට හොරෙන් කාලා හංගන්න බැරි හරි අපූරු කැලෑ පලතුරක් තමයි දං කියන්නේ. කට, දිව විතරක් නෙමෙයි  දත් පවා දම් පාට වෙනවා මේ දං ආහාරයට ගත්තම.  කහට රස, පැණි රස, ඇඹුල් රස වගේම තිත්ත රැසකුත් මිශ්‍ර  අපූරු රසයක් තමයි  දං පළතුරේ තියෙන්නේ. ප්‍රතිඔක්සිකාරක ගුණ ඉතාම ඉහළ පලතුරක් වන නිසා අපේ ශරීරයට එයින් ලැබෙන ප්‍රතිලාභ ඉතාම ඉහළයි .

  • මොණර පෙතන්

ප්‍රතිඔක්සිකාරක සහ   පිළිකා නාශක ගුණ ඇති ඉතාමත් වේගයෙන් වඳ වී යන මොණර පෙතන් අපේ කාලේ තවත් රසවත් පලතුරක්.

  • ලෝලු

අදුම රෝගීන්ට බෙහෙවින් ගුණදායක ලෝලු ඖෂධීය  ගුණයෙන් ඉතා ඉහළයි. ඉතා ඉහළ ප්‍රතිඔක්සිකාරක   ගුණ ඇති නිසා පිළිකා ඇතුළු නොයෙක් රෝගවලින් ද ආරක්ෂාව  සලසනවා.

  • නමිනං

 බිම සිට කඳේ ඉහළට ගෙඩි හැදෙන නමිනං ගහක් ටිකක් උනන්දු කරල බැලුවොත්  සොයා ගන්නට අපහසු වෙන්නේ නැහැ. ඉදුණු ගෙඩි කහ පැහැයක් ගන්නවා. අමු ගෙඩි කහට තිත්ත ගතියක් ගන්නවා. ඉදුණු පසු හරි අපූරු මිහිරි පැණි  රසක් සමඟ ප්‍රනීත රසයක් භුක්ති විඳින්නට පුළුවන්. ඉතාම බහුල මේ පලතුර පණු රෝග සමනය සඳහා ඉතාම ගුණදායක බව සඳහන් වෙනවා.

  • හිබටු

දියවැඩියාව ඇතුළු රෝග බොහොමයකටම  ගුණදායක හිබටු ඒ කාලයේ බත් වෙනුවටත් ආහාරයට ගත්තලු.  නමුත් අද වෙද්දි මේ පලතුර  දකින්නට නොමැති වීම නම් ඉතාම අවාසනාවක්. ඉදුණු පසු තද තැඹිලි පැහැයක් ගන්නා හිඹටු දියවැඩියා රෝගය වැළඳුනු පුද්ගලයන්ට වගේම දියවැඩියාව ඇතිවීමේ අවදානම ඇති පුද්ගලයන්ට එයින් ආරක්ෂා වෙලා ඉන්නත්  උදව් වෙන හරි අපූරු පලතුරක්.

  • මොර

පැණි රසයකින් යුක්ත මොර හරියට රඹුටන් වගේ. එහි රසය වගේම සුවඳත් එයටම ආවේණිකයි. ලෝකයේම ජනප්‍රිය පළතුරක් වුණාට අද වෙද්දි අපේ රටේ බොහෝ දෙනෙක් අතරින් මේ පලතුර ගිලිහිලා ගිහින්.  කැල්සියම්, ප්‍රෝටීන, පොස්පරස්, යකඩ, මැග්නීසියම් ආදී පෝෂය පදාර්ථ බොහොමයකින් පොහොසත් මේ  මොර ශාකයේ විවිධ කොටස් ඖෂධ වශයෙන් ද භාවිතයට ගන්නවා. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතාම ඉහළ මොර අපේ තරුණ බව රැකගන්න ඉතාම හොඳ පළතුරක්. 

  • කෝන්

විටමින් සී,  ඩී ඇතුළු  විටමින් බොහොමයකින් පරිපූර්ණ මේ පලතුර ඇඹුල් රසයකින් යුක්ත වුණාට ඉදුණු පසු පැණි රස ස්වභාවයක් ගන්නවා. දුඹුරු පැහැති ගෙඩිය තුළ ඇති මදය තැඹිලි පාටයි. මේ කෝන් හැදෙන්නෙ පොකුරු වශයෙන්. කෝන් ගෙඩිය වෙරළු ගෙඩියක් තරම් ප්‍රමාණයෙන් යුක්තයි.

 ආයුර්වේදයට අනුව තරමක් උෂ්ණාධික පලතුරක් වුණත්, අතීසාරය, කොළරාව, වාත වේදනා, හිසරදය, උණ සෙංගමාල ආදී රෝගවලට මේ ශාකයේ කොළ, ඇට, මල් ආදියත්  භාවිතයට ගන්නවා. ඒ විතරක් නෙවෙයි කෝන් පලතුර ලිංගිකශක්තිය  වඩවන පලතුරක්  විදිහටත් සැලකෙනවා.

  • වීර

ඇඹුල් ගතියක් සහිත පලතුරක් වුණාට හොඳින් ඉදුණු ගෙඩිවලින් ලාවට පැණි රසයක් තියෙනවා. වීර හැදෙන කාලයට වීර ගසේ අතු පිටින් කඩලා දාලා ගෙඩි කඩා ගන්නවා. මිනිසුන් වුණු අපි විතරක් නෙවෙයි වඳුරන්, මුවන්, ගෝනුන් වගේ සතුන් පවා මේ වීර  ආහාරයට ගන්නට හරිම කැමතියි.

  • පඩ ගෙඩි

නම කොහොම වුණත් මේ පළතුරේ රසය වගේම ගුණයත්  කියා නිම කරන්නට බැහැ.බී  වර්ගයේ විටමින් අධික පලතුරක්.  මෙහි රසය වැල් දොඩම්වලට සමානයි. විටමින් සී   සහ ඩී  බොහෝ ප්‍රමාණයක් අඩංගු පලතුරක් තමයි මේ පඩ ගෙඩි.මේ ශාකය වැල් රඹුටන් විදිහටත් හඳුන්වනවා මේ පඩ දළු මැල්ලුම්වලට වගේම අර්ශස් රෝගීන්ගේ සහනය සඳහා තම්බා භාවිතයටත්  ගැනෙනවා. අද වෙද්දි ලදුකැලෑ බඩවැටි අහිමි වෙමින් යන නිසා මේ අපූරු පලතුර සොයාගන්නා එක එතරම් පහසු නැහැ.

  • කරඹ

 කැලෑ  ගෙඩි විදිහට අපිට ආහාරයට ගන්නට හැකි හරි අපූරු රසවත් පලතුරක් තමයි කරඹ. ප්‍රතිකාරක ගුණ ඉතාම අධික කැලෑ ගෙඩියක් වන මෙහි  ගුණයත් හරි අනර්ඝයි. දම් පැහැයකින් යුක්ත මේ රසබර පලතුර සොයාගන්න එක එතරම් අපහසු නැහැ.

  • එරමිණියා

එදා සුලභව සොයා ගන්නට තිබුණු නිතර ආහාරයට ගත් එරමිණියා  අද වෙද්දි සොයාගෙන තියෙන විදිහට වේදනා නාශක ගුණයෙන් සහ ආසාදන වැළැක්වීමේ අපූරු ගුණයකින් යුක්ත පලතුරුක්. කහට රසයක් සමග මිශ්‍ර පැණි රසක් ඇති එරමිණියා ඉදුණු පසු දම් පැහැයක් ගන්නවා. ඉතින් මේ එරමිණියා  අමුවෙන් වගේම ඉදුණු පසුවත් ආහාරයට ගන්නට ලොකු කුඩා හැමෝම කැමතියි.

  • ඇඹුල් පේර

 කැලේ  හැදෙන මෙකී නොකී පේර වර්ග අතුරින් ඇඹුල් පේර කියලා කියන්නේ එදා බොහෝ දෙනෙක් ආසාවෙන් ආහාරයට ගත් අද වෙන විට අපෙන් ඈත් වුණු ශාකයක්. කහ කොළ ආදී විවිධ පාට සහ හැඩවලින් දැක ගත හැකි මේ ඇඹුල් පේර ගුණයෙන් ඉතා ඉහළ පලතුරක්.

  • මසන් 

එදා  ලොකු පොඩි හැමෝගෙම රසවත් පලතුරක් වුණු මසන් එහෙමත් නැත්නම් කැලෑ ඇපල් අද වෙද්දි වඳ වෙලා යාමේ තර්ජනයට මුහුණ දීලා තියෙනවා. ඉතින් ඒක ඇත්තටම අවාසනාවට කාරණයක්. කොහොම නමුත් විටමින් සී ඇතුළු විටමින් වර්ග අධික  මේ පලතුර අමාරුවෙන් හරි හොයාගෙන ආහාරයට ගන්න.

  • පැණි මොර

 මේ පලතුරුත් කෝන් පවුලටම අයත් වෙන ගඩා ගෙඩි වර්ගයක්. අදටත් කලාතුරකින් හරි හොයා ගන්නට අපහසු වෙන්නේ නැහැ. විටමින් බොහොමයක්ම අන්තර්ගත ගුණදායක මේ ආහාරය උෂ්ණාධික පලතුරක් විදියටයි  සැලකෙන්නේ.

  • පලු

 වසරේ එක්තරා කාලයකට ඵල හටගන්නා මේ පලු ගස්වල ඉදුණු ගෙඩි අතු කපා දමමින් කඩා ගන්නවා. බොහෝ දෙනෙක් කන්නට ආසම පළතුරක්. ඉදුණු පසු කහ පැහැයකින් යුක්තයි. ටිකක් වැඩිපුර ආහාරයට ගත්තොත් මත් ගතියකුත් මේ පලතුරේ තියෙනවා. කොහොම වුණත් බී විටමින් ඇතුළු බොහෝ විටමින් වර්ග වලින් අනූන රසබර පලතුරක් තමයි මේ පලු.

  • අට්ටික්කා

 ගං ඉවුරුවල ගඟට නැමිලා හැදෙන අට්ටික්කා ගස්වල කද පුරාම ගෙඩි හටගන්නවා. අමුවෙන් කහට රසයක් තියෙන මේ අට්ටික්කා ගෙඩි තම්බල ලුණු දාලා අමු පොල් එක්ක බඩ පිරෙන්නම කන්නට පුළුවන්. කුසගින්න නැති කරනවා විතරක් නෙවෙයි මල බද්ධය  වැළැක්වීම, ඒ වගේම ශරීරය ප්‍රබෝධමත් කිරීත් මේ අට්ටික්කා ගෙඩි ආහාරයට ගැනීමෙන් ලැබෙන තවත් ප්‍රතිලාභයක්.

  • මාදං

 පොකුරු වශයෙන් හැදෙන මා දං ඉදෙන විට තද දම් පැහැයක් ගන්නවා.  ඇඹුල් රස සහ පැණි රස මිශ්‍ර මේ ගෙඩි කුඩා දරුවන් අතර හරිම ජනප්‍රියයි. පොස්පරස්, කැල්සියම්, යකඩ සහ  විටමින් සී වලින් පොහොසත් මේ මාදං දියවැඩියා රෝගීන් සඳහා ප්‍රතිකාරවලදීත්  භාවිතයට ගැනෙනවා.

එදා ඇතිවෙන්න රස බලපු සුන්දර මතකයන් බොහෝමයක් සැඟවුණු මේ ඵල වැල ගැන කතාබහේ දී බොහෝ  දෙනෙක්ට ගැටලුවක් ඇති මේ පලවැල අද සොයා ගන්නේ කොහොමද කියලා.සොයා ගන්න අපහසු වුණත් උත්සාහයක් දැරුවොත් තවමත් ගම්බද පළාත්වල මේ පලතුරු සොයාගන්නට අපහසු වෙන එකක් නැහැ .