කෙණ්ඩා පෙරළීමට හේතු 21 ක්

health tips

අපි බොහෝදෙනෙක් එතරම් සැලකිල්ලට ගන්නේ නැති රෝගාබාධ වගේම රෝග ලක්ෂණත් බොහොමයක් තියෙනවා. නමුත් අපි එවැනි තත්ත්වයන් සාමාන්‍ය දෙයක් ලෙසට සිතුවත් එය අපේ සිරුරේ යම් භයානක රෝග තත්ත්වයක්  හඟවන පූර්ව ලක්ෂණයක් විමේ ඉඩකඩ පවතින බව කෙසේවත් අමතක නොකළ යුතුයි. ඉතින් ඒ විදියට හැමෝම වගේ එතරම් ගණන් නොගන්නා තත්ත්වයක් තමයි කෙණ්ඩා පෙරළීම. මේ තත්ත්වයට ජීවිතයේ කෙදිනක හෝ ඔබත් අනිවාර්යෙන්ම මුහුණදීලා ඇති. මොකද මේ තත්ත්වය එතරම්ම සුලබ තත්ත්වයක් වන නිසාවෙන්. ඉතින් මේ ආකාරයට කෙණ්ඩා පෙරළීම ඇතිවන්නේ ඇයි. එය යම් භයානක රෝගයක ලක්ෂණයක්  ද ? අද අපි ඔබ සමඟ කතා කරන්නේ ඒ කාරණාව පිළිබඳවයි.

අනපේක්ෂිත ලෙස සිදුවන මේ කෙණ්ඩා පෙරළීම බාල මහලු කාන්තා පුරුෂ ඕනෑම අයෙකුට අත්විදින්නට ලැබෙන වේදනාත්මක අත්දැකීමක්.කෙණ්ඩා පෙරළීමකදී සිදු වන්නේ හැකිළුණු පේශියක් නැවත ඉහිල් නොවීමක්. මේ වේදනාව තත්ත්පර කිහිපයක සිට මිනිත්තු 15 ක් තරම් කාලයක් දක්වා පවතින්නට පුළුවන්. කෙණ්ඩා පෙරළීමේ තත්ත්වයක් දවසේ ඕනෑම වේලාවක ඇතිවෙන්නට හැකියාව තිබුණත් රාත්‍රී කාලයේදී එවැනි තත්ත්වයන් ඇතිවීම සාපේක්ෂව වැඩියි. ඒ නිසා බොහෝදෙනා පිහිනීමට, ව්‍යායාම් කිරීමට පවා බියවන අවස්ථා ද නැතුවාම නොවෙයි .

මේ කෙණ්ඩා පෙරළීම අත්වල, පාදවල, දණහිසෙන් පහළ වගේම කලවා ප්‍රදේශයේ ඉදිරිපස හා පිටුපසත් , යටි පතුලේ, උදරයේ පිටේ හෝ  වෙනත් ඕනෑම අවයවක් ආශ්‍රිතවත් ඇතිවන්නට පුළුවන්. සාමාන්‍යයෙන් ශරීරයේ සෑම ක්‍රියාකාරිත්වයකටම පාහේ පේශී සංකෝචනයක් සහ ඉහිල්වීමක් අවශ්‍ය වෙනවා.ඒ ආකාරයට පේශීවල මේ ක්‍රියාවලිය නිසිපරිදු සිදු නොවීම නිසා එනම් කෙණ්ඩා පෙරළීම දිගින් දිගටම නිතර නිතර සිදුවීම නිසා ඉතා හානිකර තත්ත්වයන් නිර්මාණය වෙන්නට පුළුවන්. නිදසුනක් ලෙස ඉලඇට අතර පවතින පේශී මගින් උරස් කුහරය සිදු කරන චලන මගින්  ස්වසනය සිදු කරනවා. ඇදුම රෝගීන්ගේ මේ චලනය සිදු වන්නේ ඉතා දුර්වල ආකාරයට. එයට හේතුවන්නේ මැග්නීසියම් ඌණතාවය.සාමාන්‍යයෙන් මාංශපේශී සංකෝචනය සඳහා කැල්සියම් අවශ්‍ය වෙනවා. නැවත ඒවා ඉහිල්වීම සඳහා  මැග්නීසියම් අවශ්‍ය වෙනවා.  ඒ නිසා නිතරම පාහේ කෙණ්ඩා පෙරළීම තත්ත්වය ඇත්නම් එය ජීවිතයට යම් අවදානමක් ඇති කරනවා. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වීම අතිශයින්ම වැදගත්.

කෙණ්ඩා පෙරළීමට බලපාන හේතු 

  • බොහෝදෙනා අතර පවතින අදහස වන්නේ කෙන්ඩා පෙරළීම නැත්නම් මස්පිඩු පෙරළීම ලුණු අපේ ශරීරයේ අඩුවීම නිසාවෙන් ඇතිවන බවයි. නමුත් එය එක්තරා දුරකට සත්‍ය වුණත් එය එක් හේතු සාධකයක් පමණයි. ඒ හැරුණාම අපි නොසිතන සිරුර අභ්‍යන්තරයේ ඇති බොහෝ ගැටළු හේතුවෙන් මස් පිඩු පෙරළීම් ඇති වන්නට පුළුවන්.
  • කැල්සියම් සහ මැග්නීසියම් ඌණතාවය කැල්සියම් හා මැග්නීසියම් ඌණතාවය නිසා හටගන්නා රෝග 300 කින් පමණ එකක් ලෙස කෙන්ඩා පෙරළීම හඳුන්වන්නට පුළුවන්. ඒ නිසා මේ ඌණතාවය හඳුනා ගන්නටත් වෙනත් රෝග බොහොමයක පෙර නිමිත්තක් ලෙසත් මේ කෙණ්ඩා පෙරළීම සඳහන් කළ හැකියි.
  • දිනකට අප ගත යුතු මැග්නීසියම් ප්‍රමාණය මිලි ග්රෑම් 400ක් වෙනවා. කොළ පැහැති  වර්ග, කොළ පැති එළවළු, පලතුරු වර්ග ආහාරයට එකතු ගැනීමෙන් අපේ ශරීරයට මැග්නීසියම් ලබා ගන්නට පුළුවන්. ශාකවල ක්ලෝරෝෆීල් හෙවත් හරිතප්‍රද  තුළ මැග්නීසියම් අන්තර්ගතවීම එයට හේතුවයි. 
  • මාංශපේශීවල අධික ක්‍රියාකාරිත්වය මාංශපේශී අධිකව වෙහෙස වෙන  ක්‍රියාකාරකම් නිසා මස්පිඩු පෙරලීමක් ඇති වෙන්නට පුළුවන්.
  • ශරීරයේ ජලය ප්‍රමාණවත් තරම් නොමැතිවීම ශරීරයේ ජලය ප්‍රමාණවත් නොවුන විට ඇතිවන විජලන තත්ත්වයකදී  මස්පිඩු පෙරළීමේ තත්ත්වයන් සුලබව ඇති වෙනවා.
  • මාංශපේශීවල ක්‍රියාකාරිත්වයට අතිශයින්ම වැදගත් සෝඩියම් ,පොටෑසියම් ආදී ලවණවල ඌණතාවයන් පැවතීම 
  • විටමින් B 1, විටමින් B 5, සහ  විටමින් B 6 ඌණතාවයන් 
  • සිරුරේ ඇල්කොහොල් ප්‍රමාණය ඉහළයාම 
  • වැරදි ඉරියව් භාවිතය 
  • දිගු වේලාවක් සිටගෙන සිටිම හෝ දිගුවේලාවක් සිටගෙන සිටීම 
  • පතුල් පැතලි වීම 
  • දියවැඩියාව 
  • අධික සීතලට නිරාවරණය වීම 
  • ඇතැම් රෝග සඳහා දෙනු ලබන ඖෂධ 
  • වකුගඩු හා අක්මාවේ අකර්මණ්‍යතාවයන් 
  • තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වය අඩුවීම 
  • පාදවල මාංශපේශී සඳහා  රුධිර සැපයුම අඩුවූ විට
  • ස්නායු තෙරපීම් ඇති විට යම්විටෙක ස්නායු තෙරපීම් ඇති විටෙක ඔබ ඇවිදින විට හෝ සිටගෙන සිටින විට පාදයේ මස්පිඩු පෙරළීම ඇති වන්නට හැකියි.   
  • වයස්ගත වීම කෙණ්ඩා පෙරළීම නැත්නම් මස්පිඩු පෙරළීම වයස්ගත වීමත් සමඟ ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතිනවා. 
  • ගර්භනීභාවය ගැබිනි මවකට මේ අත්දැකීමට මුහුණ දෙන්නට සිදු වෙනවා.ඉහත සඳහන් කරන ලද එක් හේතුවක් හෝ හේතු කිහිපයක් නිසාවෙන් මස්පිඩු පෙරළීම් ඇති වන්නට පුළුවන්.  යම් අවස්ථාවක මස්පිඩු පෙරලීමක් ඇතිවී එය ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් වේ නම් ඒ සඳහා බිය විය යුතු නැහැ. නමුත් නිතර නිතර මස් පිඩු පෙරලීම් ඇතිවීමත්, එවැනි තත්ත්වයකදි වේදනාව හා අපහසුතාවය නැවත යථා තත්ත්වයට පත් නොවී දිගු වේලාවක් පවතින්නේ නම් එය තරමක බරපතල කාරණයක්. එවන් අවස්ථාවකදී වෛද්‍යවරයෙකු හමුවට ගොස් ප්‍රතිකාර ගැනීම අනිවාර්යයි.