කෙසෙල් කියන්නේ අපි හැමෝම නිතරම ආහාරයට ගන්නා රසවත් ගුණවත් පලතුරක්. කෙසෙල් ගෙඩි , කෙසෙල් මුව පමණක් නෙවෙයි කෙසෙල් බඩ කියන්නෙත් අපිට නීරෝගීව ජීවත් වෙන්නට ආහාරයට ගත හැකි පෝෂණ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක්.නමුත් මේ කෙසෙල් බඩ මාළුව ගැන අපේ නූතන පරපුර දන්නේවත් නැතුව ඇති. මොකද අපේ ඒ වටිනා දේවල් පිළිබඳව නූතන පරපුර සතු දැනුම බොහොම අල්පයි. නවීන පන්නයට ගෙන යන ජීවන රටාව තුළ ආහාරයත් විලාසිතාවක් බවට පත්වෙලා. ඒ නිසා එදා අපේ ගැමියන්ගේ රසවත් ගුණවත් ආහාර කොතරම් ගුණයෙන් ඉහළ ද කියලා දැන ගැනීම නීරෝගී ජාතියක් බිහි කරන්නට ඉතාම වැදගත්. ඒ නිසාවෙන් අපි අද කෙසෙල් බඩ ගැන කතා කරමු.
අපේ රටේ උදවියට මේ පහසුවෙන් සපයා ගන්නට හැකියාව තියෙන කෙසෙල් බඩ වටින්නේ නැති වුණාට උතුරු ඇමරිකානුවන් සහ යුරෝපිකයන් අද වෙද්දි පිටි ලෙස සකස් කරලා තියෙන කෙසෙල් බඩ පිටි වෙළදපොලෙන් මිලට ගෙන එදිනෙදා කෑම සමඟ ආහාරයට ගන්නට පුරුදු වෙලා ඉන්නවා. ඉතින් වැසි කාලයකට හෝ අධික සුළඟ නිසා කඩා වැටෙන කෙසෙල් කඳ හෝ කෙසෙල් කැන කපාගත් පසු ඉවතලන කඳ කොටස් නිකරුණේ අපතේ යන්නට නොදී එයින් රසවත් ගුණවත් ආහාරයක් සකස් කරගන්නට අපිට හැකියාව පවතිනවා.මොකද පෝෂණ ගුණයෙන් අනූන මේ කෙසෙල් බඩ අඩු කැලරි සහිත ආහාරයක්. තන්තු බහුලයි. කැල්සියම්, ලවණ, පොටෑසියම්, විටමින් B6, විටමින් A, විටමින් C ද සැලකිය යුතු මට්ටමෙන් අන්තර්ගත වෙනවා. ඒ නිසාම මේ කෙසෙල් ගසකින් එදා අහල පහළ ගෙවල් කිහිපයකටම රසවත් ආහාරයක් සපයා දුන්නා.ඒ විතරක් නෙවෙයි අහල පහළ උදවියගේ ලෙඩ රෝග බොහොමයකටම අගනා ඔසුවක් ද වුණා.
මේ කෙසෙල් බඩවලින් ඉතාම රසවත් ආහාර සකස් කර ගන්නට පුළුවන්. ව්‍යංජනයට බැදුමට, මැල්ලුමට,වඩේ සාදන්නට, සුප් විදියට වගේම කිරි සමඟ අමුවෙන් පානයන් ලෙසත් සකස් කර ගන්නට හැකියාව පවතිනවා. කෙසෙල් අඩ මාළුවක් සඳහා අළු කෙසෙල්, සීනි කෙසෙල්, ඇඹුල් කෙසෙල් ආදියේ බඩ භාවිතා කරන්නට පුළුවන්.

කෙසෙල් බඩ ආහාරයට ගැනීමෙන් සිරුරට ලැබෙන ප්‍රතිලාභ
- ශරීරයේ බර වැඩිවීම පාලනය කරනවා.
- මහා අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වළක්වනවා.
- ආහාර ජීර්ණ පද්ධතිය පිරිසිදු කරනවා.
- ශරීරයේ අනවශ්‍ය මේදය දියකර හරිනවා.
මේ සඳහා කෙසෙල් බඩය වංගෙඩියේ කොටාගෙන එළකිරි සමඟ රත් කරලා මී පැණි හෝ සීනි ස්වල්පයක් දමා උදෑසන හිස්බඩ පානය කරන්නට ඕන.කැත බඩ වැඩි බර අඩු කරලා තෙල් මන්ද දියකර හරින්නට එය කදිම ඖෂධයක්.
- දියවැඩියාව පාලනය කරනවා.
- බඩවැල් ආශ්‍රිත රෝග බොහොමයක් සුව කරනවා.
- අජීර්ණ තත්ත්වයන් සුව කරනවා.
- ශරීරයේ දාහය නසා සිරුර සිසිල් කරනවා.
- අධි රුධිර පීඩනය අඩු කර එය යහපත් මට්ටමින් පවත්වා ගෙන යන්නට උපකාරී වෙනවා.
- මුත්‍රාශයේ ගල් සුව කරනවා.
කෙසෙල් බඩ මාළුව ආහාරයට ගැනීමෙන් වගේම කෙසෙල් බඩේ කොටා එයට ඉඟුරු යුෂ කරමුංගු කුඩු ස්වල්පයක් එකතු කරලා කිතුල් හකුරු සමඟ මිශ්‍රකර කන්නට දීම මුත්‍රා ගල් දියකර හරින හරි අපූරු ඖෂධයක්. ඒ වගේම ඒ කෙසෙල් බඩ මුත්‍රා මාර්ගය වගේම වකුගඩුත් පිරිසිදු කරන ආහාරයක්.
- ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
- මලබද්ධය වළකවනවා.
- ගැබිනි මව්වරුන්ට ඉතාම ගුණදායකයි.
ගැබිනි මව්වරුන්ට ඇතිවන මුත්‍රා ආසාදන සුවකර ගන්නටත්, මස් පිඩු පෙරලීම සහ මලබද්ධය ආදී අපහසුතා සුවකර ගන්නට උපකාරී වෙනවා. දරුවා ප්‍රසූත කිරීම පහසු වෙන්නට දරුවා පහතට එන්නට පහසු වෙන්නත් එදා වැඩිහිටි උදවිය මේ කෙසෙල් බඩ ආහාරය සඳහා ලබා දුන්නා.ඒ වගේම ගැබිනි මව්වරුන්ට දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන රුධිර වහනයෙන් මිදෙන්නටත් කිරි වැඩීමටත් කෙසෙල් බඩ කදිම ආහාරයක්.
- ආමාශයේ ඇතිවන තුවාල සුව කරනවා.
- නින්ද නොයාමේ රෝගය සුව කරනවා.
- මානසික ආබාධ දුරු කරනවා.
- හිමොග්ලොබින් නිපදවීමට උපකාරී වෙනවා.
- ආයුෂ වර්ධනය කරනවා.
රසවත් කෙසෙල් බඩ මාළුවක් සකසා ගන්නා ආකාරය

මේ සඳහා කෙසෙල් කඳේ මැද ඇති සුදු පාට කොටසයි භාවිතා කරන්නේ.
අවශ්‍ය ද්‍රව්‍ය
- මිටි කිරි කෝප්ප 1 ½
- දියකිරි කෝප්ප 2
- සිහින්ව ලියාගත් රතු ළූනු ගෙඩි 6 ක්
- සිහින්ව ලියාගත් අමු මිරිස් කරල් 3ක්
- සුදු ළූණු බික් 3 ක්
- කරපිංචා
- වියළි මිරිස් කරල් 2ක්
- අබ තේ හැදි 3 ක්
- සූදුරු කුඩු තේ හැදි 3
- මිරිස් කුඩු තේ හැදි 3
- කහ කුඩු තේ හැදි 1
- රස අනුව ලුණු
- ගා ගත් පොල් මිටක්
- උම්බලකඩ
- පොල් තෙල්
සාදා ගන්නා ආකාරය කොටු හැඩයට තරමක් කුඩාවට කපාගත් කෙසෙල් බඩ ලුණු මිශ්‍ර කළ ජලයට දමා හොඳින් සෝදා නැවත ජලයෙන් සෝදා ගන්න. එයට කහ, මිරිස් කුඩු, ලුණු, කෑලි කැපූ මිරිස්, ළූණු ස්වල්පයක් ද එකතු කර දියකිරි දමා තම්බා ගන්න.ඉන්පසුව සූදුරු, අබ හා පොල් එකතු කර හොඳින් අඹරා ගෙන ඒ මිශ්‍රණය තම්බා ගත් කෙසෙල් බඩවලට එකතුකර මිශ්‍ර කරගන්න. එයට මිටි කිරි එකතු කර ලිප තබන්න.ඉන්පසුව බදුනකට තෙල් දමා රත් වූ පසුව එයට තලාගත් සුදුළූණු, රතු ළූණු, කරපිංචා, වියළි මිරිස්, උම්බලකඩ ආදිය තෙලට දමා තෙම්පරාදු කර ගන්න. එයට කෙසෙල් ව්‍යංජනය එකතු කර හොඳින් මිශ්‍රකර ගෙන රස බලන්න.