කෙසෙල් ලාංකීය අපේ ජනප්‍රියම පලතුර වුණාට කෙසෙල් මුව ආහාරය සඳහා ගන්නේ ඉතාම සීමිත් පිරිසක් විතරයි. අපේ මුතුන් මිත්තන් නිරන්තරයෙන්ම ආහාරයට එකතු කර ගත්තු වස විස නැති ආහාරයක් වුණු කෙසෙල් මුව අද අපේ ආහාර ලැයිස්තුවේ ඉතාම පහළ තැනක තමයි තියෙන්නේ. අද දේශීය ආහාරවලට කුඩම්මාගේ සැලකිලි ලබාදීම නිසාම වර්තමානයේ aඅපි ඇමෝම වගේ රෝගීන් වෙලා. මේ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්නට දීර්ඝායුෂ ලබන්නට නම් අපි නැවත අපේ ආහාර රටාවට හුරු වෙන්නට ඕන. දේශීය ආහාරවල වටිනාකම ගැන හැමෝම දැනුවත් වෙන්නට ඕන.ඒ සඳහා තමයි අපි මේ ලිපියෙන් ඔබට කෙසෙල් මුව ගැන කතා කරන්නට සිතුවේ.
ආයුර්වේදයේ ආහාර ඖෂධ විදිහට ගත යුතු බව සඳහන් වුණත් අද බොහෝ දෙනෙකුට ආහාරය විලාසිතාවක් වෙලා. මේ නිසාම මිලෙන් අඩු, ඉතා පහසුවෙන් සපයා ගන්නට හැකි සරල ආහාරයක් වීම, පිස ගැනීමට සූදානම් කරන මොහොතේ පටන් වර්නය වෙනස් වීම, තරමක කහට ස්වභාවයක් දැනීම ආදී කරුණු නිසා කෙසෙල් මුව ගැනත් ඔවුන් තුළ තියෙන්නේ අඩු තක්සේරුවක්. නමුත් ඔබට නිරෝගී ජීවිතයක් ගත කරන්නට අවැසි නම් මේ ආහාරය ඒ සඳහා කොතරම් වටිනවාද කියලා ඔබ් දැනගත යුතුමයි.ඉතින් අපි කතා කරමු කෙසෙල් මුව අපේ ශරීරයට කොතරම් ප්රතිලාභ ගෙන දෙන ආහාරයක් ද යන වග.
කෙසෙල් මුව තායි කෑම අතරේ ජනප්‍රිය අංගයක්. නමුත් අපේරටේ ඇතැම් වැඩිහිටි උදවිය හැරුණාම කෙසෙල් මුව ආහාරයට එකතුකර ගන්නේ එහෙමත් කෙනෙක් පමණයි. නමුත් ඔබ අහලා ඇති කෙසෙල් මුව යකඩ ඌනතාවයට හොඳම ආහාර අතරින් ඉහලින්ම තියෙන ආහාරයක් බව.
මෑතකදී කරන ලද පර්යේෂණවලින් අනාවරණය කරගෙන තියෙන විදිහට කෙසෙල් මුව ග්‍රෑම් 100 ක යකඩ මිලි ග්‍රෑම් 56.4 ක් අඩංගු වෙනවා. එය පීකුදුවල මෙන් 10 ගුණයක් ද නිවිතිවල මෙන් විසි ගුණයක් ද වෙනවා. ඒ වගේම ලෝකයේ වැඩිපුරම කෝපර් එහෙමත් නැත්නම් තඹ අඩංගු වෙන ආහාරය ලෙසත් කෙසෙල් මුව පිළිගැනීමට ලක්වෙලා තියෙනවා.
ඒ හැරුණාම පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, සෙලනියම්, සින්ක් ආදී ඛනිජ වර්ග බොහොමයක්ම අඩංගු වෙනවා. විටමින් A සහ C අඩංගු ආහාරයක් නිසා ප්‍රතිශක්තිකරණය වර්ධනය කරගන්නට උදව් වෙන ඉතාම හොඳ ආහාරයක්. ඒ වගේම කෙසෙල්මුව ප්‍රෝටීන්වලින් ද බහුලයි. මේ කෙසෙල් මුවවල යම් ප්‍රමාණයකට එතනෝල් අඩංගු වන නිසා එය බැක්ටීරියා විනාශ කිරීමේ හැකියාවකින් යුක්ත බව සොයාගෙන තියෙනවා
පෝෂණ ගුණය අතින් ඉතාම ඉහළ මේ කෙසෙල් මුව අපේ රුචි අරුචිකම් අනුව විවිධ ආකාරයන්ට පිළියෙල කර ගන්නට පුළුවන්. කොස් ඇට, කරවල, හාල්මැස්සන්, පරිප්පු ආදිය සමග රසවත් එලවලුවක් ලෙසත්, ඇඹුලක්, සම්බෝලයක්, අච්චාරුවක් හෝ සලාදයක්, ලෙසත් රසවත්ව පිළියෙල කර ගන්නට පුළුවන්. සාම්ප්‍රදායික ලෙස සකස් කරන ව්‍යංජනයට වඩා නව සූප ශාස්ත්‍ර ක්‍රමවලට අනුව කෙසෙල් මුව පිළියෙල කර ගන්නට හැකි නිසා මෙය රසවත් කෑමක් කියලා කියන්නට පුළුවන්.
ආයුර්වේදයට අනුව මේ කෙසෙල් මුව බර ආහාරයක් ලෙසටයි සලකනු ලබන්නේ. සාමාන්‍යයෙන් ආහාරයක් බර ආහාරයක් විදියට සලකන්නේ එය ජීර්ණය වීම සඳහා වැඩි කාලයක් ගතවීම සැලකිල්ලට ගැනීමෙන්. මේ අපි බලමු කෙසෙල් මුව අනුභවයෙන් අපේ ශරීරයට ඇති කරන බලපෑම් මොන වගේද කියල.
කාන්තාවන්ට ඉතාම ගුණදායක ආහාරයක්.

විශේෂයෙන්ම අපේ රටේ ගර්භනි මවුවරුන් සහ ළමුන් අතර බහුලම ඌනතා රෝගයක් විදිහට සැලකෙන රතක්තහීනතාවය සඳහා සුදුසුම ආහාරයක් විදිහට කෙසෙල්මුව හඳුන්වන්නට පුලුවන්. මොකද බහුලවම මෙහි යකඩ අන්තර්ගත වෙන නිසා . ඒ විතරක් නෙවෙයි ගර්භනී මව්වරුන්ට් වගේම් කිරිදෙන මව්වරුන්ට කිරි වැඩීමටත් සුදුසු ආහාරයක්.
තවද මේ කෙසෙල්මුව ප්‍රොජෙස්ටරෝන් වැඩිකිරීමේ හැකියාවකින් ද සමන්විතයි. එය කාන්තාවන්ගේ ගර්භාෂය ශක්තිමත් කරන්නට උපකාරී වෙනවා. ඒ වගේම මාසික ආර්තවයේදී ඇතිවන අධික රුධිර වහනය පාලනය කරන්නටත්. උදරයේ ඇතිවන තුවාල ආදිය සඳහා ඉතාම ගුණදායක ආහාරයක් ලෙසත් කෙසෙල් මුව සලකන්නට පුළුවන්.
ඒ හැරුණාම කාන්තා පුරුෂ භේදයකින් තොරව පොදුවේ ගුණ රාශියක් කෙසෙල්මුව අනුභවයෙන් අපට ලබාගන්නට පුළුවන්.
- රක්තහීනතාවය දුරුකරනවා.
- මලබද්ධය වළක්වනවා.
- වාත රෝග සහ පණු රෝග නසාලනවා .
- අධි රුධිර පීඩනය පාලනය කරනවා.
- උදරයේ ඇති වන තුවාල සඳහා සහන සලසනවා.
- ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකාවලින් ආරක්ෂාව සලසනවා.
- ආහාරමය තන්තු බහුල නිසා දියවැඩියාව වළක්වා ගන්නට දායක වෙනවා.
- ඇතැම් බෝවන රෝගවලින් ආරක්ෂාව සලසනවා.
- සුලබවම මැග්නීසියම් අන්තර්ගත නිසා මානසිකව පීඩනය අඩු කර මනෝභාවය වැඩි දියුණු කරනවා.
- ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වය වැඩිදියුණු කරනවා.
- තරබාරුව පාලනය කරනවා .
- ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා අකලට වයසට යාම පාලනය කරනවා.

පෝෂණීය ආහාරයක් විදිහට වගේම විවිධ රෝග සඳහා ප්‍රතිකාරකයක් විදිහටත් මේ කෙසෙල් මුව බහුලවම භාවිතා වෙනවා. විශේෂයෙන්ම කෙසෙල් මුව සිහින් කැබලිවලට කපා කෙසෙල් දළු වල ඔතා උණු අළු පල්ලේ තම්බා මිරිකා ගත් යුෂ අතීසාරය සහ අජීර්ණ රෝග සඳහා ප්රත්යක්ෂ ඔසුවක්.
ඒ විතරක් නෙවෙයි අර්ශස් රෝගයෙන් පෙළෙන රෝගීන් සඳහා විශේෂ පානයක් මේ කෙසෙල් මුව භාවිතයෙන් සකසා ගන්නට පුළුවන්. එය එක් වරක් පමණක් භාවිතයෙන් අර්ශස් රෝගය නිට්ටාවටම සුවපත් කර ගන්නටත් හැකියාව ලැබෙනවා. ඒ නිසා කෙසෙල් මුව වස විසෙන් තොර ආබාධ ආසාත්මිකතාවලින් තොර ඉතාම පෝෂණීය ආහාරයක් විදියටත් ඖෂධයක් විදියට අපිට සලකන්නට පුළුවන්.
සැලකිය යුතුයි
තඹ අධිකව ශරීරයට ලබා ගැනීමේ අතුරු ආබාධ සඳහා හේතු විය හැකි බැවින් කෙසෙල් මුවවල තඹ අධිකව අඩංගු වන නිසා දිනපතා ආහාරයට කෙසෙල්මුව එකතු කර ගැනීම එතරම් සුදුසු නොවන බව මතක තබා ගන්න.