වකුගඩු අක්‍රීය වූ විට ජලය පානය කළ යුතු ආකාරය

health tips

වසරකට 5000  ඉක්මවූ වකුගඩු රෝගීන් වාර්තා වෙන අපේ රටේ දියවැඩියාව හා සමානවම විශාල බලපෑමක් ඇති කරන්නට සමත් රෝගී තත්ත්වයක් තමයි මේ වකුගඩු රෝගය. ශරීරයේ ඉතා වැදගත් ඉන්ද්‍රියක් වන වකුගඩුවල ක්‍රියාකාරිත්වය මෙසේ දුර්වල වීම වකුගඩු නරක් වීම විදියට හඳුනා ගනු ලබනවා. මේ සඳහා හේතුවන කාරණා අනුව ප්‍රධාන වශයෙන් කෘෂිකාර්මික වකුගඩු රෝගය සහ නාගරික වකුගඩු රෝගය විදියට බෙදා වෙන් කර තියෙනවා. මෙයින් බහුලවම නාගරික වකුගඩු රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවයක් දැක ගන්නට පුළුවන්. ඉතින් වකුගඩු අක්‍රීය වීමක් මත පුද්ගලයා වෙනස් කරගත යුතු ඇවතුම් පැවතුම් මොනවාද. ආහාර රටාව කෙසේ විය යුතු ද. ඉතින් මේ කාරණා ගැනයි අද අපි ඔබ සමඟ කතා කරන්නේ.සාමාන්‍යයෙන් වකුගඩුවල ක්‍රියාකාරිත්වය ඇන හිටීම ක්‍රම දෙකකට සිදු වෙන්නට පුළුවන්. 

1. වකුගඩු තාවකාලිකව එකවර නැවතීම මෙසේ තාවකාලිකව වකුගඩු නතර වීමෙන් පසුව ඊට බලපෑ හේතු යථා තත්ත්වයට පත් වුණාට පසුව එහි ස්වභාවික ක්‍රියාකාරිත්වය නැවත ආරම්භ කෙරෙනවා.

  • ඖෂධ වර්ග 
  • සර්පයන් දෂ්ට කිරීම 
  • රුධිර ගමනාගමනය අඩු වූ විට 
  • හෘදයාබාධවලට ගොදුරු වූ විට 
  • මී උණ වැළදී ඒ විෂ ශරීරයේ රැඳී තිබෙන විට 
  • ඩෙංගු උණ ඇති විට 

මෙසේ වකුගඩුවල ක්‍රියාකාරිත්වය තාවකාලිකව නතර වෙන්නට බලපානවා. 

2. දිගුකාලීනව වකුගඩු ක්‍රියාකාරිත්වය නැවතීම දිගුකාලීනව වකුගඩු නරක්වීම නිසාවෙන් මේ දිගුකාලීන වකුගඩු අක්‍රීයවීම් සිදු වෙන්නට පුළුවන්. ඒ සඳහා පහත හේතු බලපාන්නට පුළුවන්.

  • වසර 5 ඉක්මවූ දියවැඩියා රෝගය 
  • නෙප්‍රයිටි රෝගයට ගොදුරු වීම (මේ රෝගියා සාමාන්‍ය වෛරස් උණ රෝගියෙක් ලෙස සුව වුණත් ඒ වෛරසය නිසා නොදැනුවත්වම වකුගඩු නරක්වීම සිදු වෙනවා.)
  • අධික රුධිර පීඩනය 
  • පුරස්ථි ග්‍රන්ථි ආශ්‍රිත රෝග 
  • මුත්‍රා  ගල් ඇතිවීම 
  • ජානමය වශයෙන් ඇතිවන ආබාධ 
  • නිතර මුත්‍රා  ආසාදනවලට ගොදුරුවීමෙන් නිතර විෂබීජ රැඳී තිබීම

මේ හේතුවලට අමතරව විශේෂයෙන්ම මත් ද්‍රව්‍ය භාවිතය,කුඹුරුවල වැඩ කටයුතු කරන විට අඩුවෙන් ජලය පානය කිරීම වැරදි ආහාර පුරුදු හා චර්යා රටාවන් ද වකුගඩු අක්‍රියවෙන්නට බලපානවා.

වකුගඩු අක්‍රීය වීමක් හඳුනා ගැනීම එතරම් පහසු කාරණයක් නොවෙයි. වෙනත් රෝගයක් සඳහා රෝහල්ගත වූ අවස්ථාවකදී හඳුනා ගත්තොත් හැර බොහෝදුරට දිගුකාලීනව වකුගඩු නරක්වීමක් දැන ගන්නට ලැබෙන්නේ නැහැ. එවැනි තත්ත්වයක් බොහෝදුරට හඳුනා ගන්නා විට වකුගඩු 85% ක් පමණ නරක් වී අවසානයි. එවන් අවස්ථාවක මෙවැනි ලක්ෂණ ඔබට දැක ගන්නට හැකියාව ලැබේවි.

  • මුත්‍රා  පෙන වශයෙන් පිටවීම 
  • මුත්‍රා අඩුවෙන් පිටවීම 
  • ශරීරය ඉදිමීම 
  • සුළු දෙයටත් මහන්සියක් දැනීම 
  • ඇතැම්විට මුත්‍රා  සමඟ රුධිරය පිටවීම 
  • ආහාර රුචිය 

වකුගඩු අක්‍රීයවීමකදී ජලය පානය කළ යුත්තේ කෙසේද අපේ ශරීරයේ ඇති දේහ තරල සහ  ජලය පානය කරන්නේ වකුගඩු මගින්. වකුගඩු නරක් වීමකදී වැඩිපුර දේහ තරල හෝ ජලය ශරීරයෙන් පිට කරන්නට නොහැකි වෙනවා. අපේ ශරීරයට වැඩි අනවශ්‍ය ජලය වැඩි ප්‍රමාණයක් ඉවත් කරන්නේ මුත්‍රා වශයෙන්.සාමාන්‍යයෙන් දිනකට මුත්‍රා  ලීටර 1 ½ ක් පමණ නිපදවන වකුගඩු යම් විටෙක අක්‍රීය වුණොත් ඒ නිපදවන මුත්‍රා  ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වෙනවා. මේ ආකාරයට කාලයක් ගත වෙද්දි මුත්‍රා  නිපදවීම සම්පූර්ණයෙන්ම වගේ නතර වෙනවා. ශරීරයේ වැඩි ජලය පිට නොවෙන නිසා විවිධ සෞඛ්‍ය ගැටළු මතු වෙනවා.

විශේෂයෙන්ම ශරීරය ඉදිමීම, හුස්ම ගැනීමේ අපහසුතාවය වගේම ඇතැම් විට මේ නිසාවෙන්  මරණය වුණත් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා වකුගඩු රෝගයෙන් පෙළෙන අය ජලය පානය කළ යුත්තේ ඉතා අඩු ප්‍රමාණයකින්.

නීරෝගි පුද්ගලයෙක් දිනකට ප්‍රමාණවත් තරම් ජලය පානය කරන්නේ නම් ඒ පුද්ගලයාගේ වකුගඩු ආශ්‍රිතව ඇතිවිය හැකි රෝග බොහොමයක් අඩු වෙන බවත් වකුගඩු නීරෝගී වන බවත් සඳහන් වෙනවා. නමුත් වකුගඩු අක්‍රීය වීමකදී එසේ අධිකව ජලය පානය කිරීම සුදුසු නැහැ. 

• වකුගඩු රෝගවල මුල් අවධියේදී ජලය ලීටර් 2-2.5 අතර ප්‍රමාණයක් දිනකට ගැනීම සුදුසුයි.මුත්‍රා  සම්පූර්ණයෙන් නැවතුණු විට ඩයලයිසිස් ප්‍රතිකර්මය ලබන විට ඒ ජල ප්‍රමාණය  350ml – 400 ml අතර ප්‍රමාණයක් දක්වා සීමා කළ යුතු වෙනවා.

• වකුගඩු රෝගීන් ජලය පානය කළ යුත්තේ පිපාසයක් දැණුනු විට පමණයි .

• වෙනත් බීම ආදී දියර වර්ග පුරුද්දක් ලෙස පානය කිරීමෙන් වළකින්න.

• විටින් විට ජලයෙන් කට සෝදා දැමීම සුදුසුයි.

• පෙගවූ රෙදි හෝ අයිස් කැටවලින් වියළි තොල් පිස දැමීම සුදුසුයි.

• ඖෂධ  පානයේදී ජලය අඩුවෙන් භාවිතා කරන්න.

ඒ නිසා වකුගඩු රෝගියෙකුගේ මුත්‍රා පිටවීම ක්‍රමයෙන් අඩුවෙමින් යන්නේ නම් සහ මුත්‍රා පිටවීම සම්පූර්ණයෙන්ම නතර වී ඇත්නම් දිනකට ගන්නා ජලය සහ දියර ප්‍රමාණය ක්‍රමයෙන් අඩු කළ යුතුයි. ඒ නිසා දියවැඩියා රෝගීන් ජලය පානය කළ යුතු ප්‍රමාණය වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව සීමා කරන්න.