වකුගඩු දෙක සව්ත්තුවී ඇති විට සිරුරේ සිදුවෙන වෙනස්කම් 10ක්

health tips

වකුගඩු රෝගය කියන්නේ සිරුරේ ඇතිවිය හැකි පීඩාකාරීම රෝග අතරින් එකක්.ඔබේ වකුගඩු රෝගී වී ඇති බව පෙන්නුම් කරන පූර්ව සංඥා කිහිපයක් ගැනයි අද අපි ඔබව දැනුවත් කරන්නේ. ඔබට නිතරම තෙහෙට්‍ටුවක් දැනෙනවද? නිතරම වැසිකිලි යාමට අවශ්‍ය වෙනවද? ඔබේ සම නිතරම අධික වියළි සහ කසනසුලු ස්වභාවයක් ගන්නවද? මේ වගේ ලක්ෂණ ඔබ අත්දකිමින් ඉන්නවා නම් කිසිවිටෙකත් ඒවා නොසලකා හරින්න එපා.

 සම වියළි හා කසනසුලු බවක් ගැනීම .වකුගඩු මඟින් අපේ සිරුර තුළ බොහෝ ක්‍රියාකාරීත්වයන් ‍රැසක් ඉ‍ටු කරනු ලබනවා. රතු රුධිර සෛල නිපදවීමේ සිට සෛල වලට අනවශ්‍ය අතිරික්ත ද්‍රව්‍ය හා තරල සිරුරෙන් බැහැර කිරීම දක්වා වූ විශාල කාර්යක් ප්‍රමාණයක් ඉ‍ටු කරන්නේ වකුගඩු හරහායි.සිරුර තුළ ඛනිජ ලවණ ඇතුළු පෝෂක වල සමතුලිතබව පවත්වාගැනීමත් වකුගඩු වල කාර්යක්.

වකුගඩු නිසි පරිදි ක්‍රියාත්මක නොවන විට එම ඛනිල ලවණ ඇතුළු පෝෂක අතර අසමතුලිතබවක් ඇතිවීමට පටන්ගනියි.මෙය Minerals and bone disorder නම් තත්වයයි.මෙම පෝෂක ඌනතාව සිරුරේ බාහිරින් ද පෙන්නුම් කිරීමට පටන්ගන්නවා. ඔබේ සම වඩාත් වියළී ගොස් කැසීමට පටන්ගන්නේ ද එහි ප්‍රතිඵලයක් ලෙසයි.බරපතල තත්වයකදී නම් මේ හේතුවෙන් වයසට වඩා වියපත් පෙනුමක් ඔබ කෙරෙන් පෙනෙන්නට පටන්ගත හැකියි. වියළි බව සහ කැසිල්ල කිස්විටෙකත් නොසලකා හරින්න එපා. එය ඔබේ වකුගඩු වලට නිවැරදි පෝෂණයක් නොලැබෙන බව ඉඟි කිරීමක් වෙන්න පුළුවන්.එම නිසා වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වඩාත් සුදුසුයි.

ශක්තිය නොමැතිකම ඇතැම් දවස් වල ඇඟට පණ නැති ගතියක් කම්මැලි ගතියක් ඔබටත් දැනිලා තියෙනවා ඇති. හැබැයි හැමදාම වගේ සිරුරට අප්‍රාණික බවක් දැනෙයි නම් එය සාමාන්‍ය තත්වයක් නෙවෙයි.මෙය සෞඛ්‍ය ගැටලුවක්  පිළිබඳ සංඥා කිරීමක් විය හැකියි. බොහෝ දුරට ඒ වකුගඩු රෝගයක් නිසා වන්නට ද බැරි නැහැ.වකුගඩු නිසි ලෙස ක්‍රියා නොකරන විට රුධිරයේ ඇති විෂ අපද්‍රව්‍ය එතුල ගොඩගැසෙන්නට පටන්ගනියි.මේ හේතුවෙන් ඔබට වෙනදාට වඩා සිරුරට මහන්සි ගතියක් අප්‍රාණික බවක් දැනෙන්නට ගනියි. කිසිම වැඩක් කරන්නට ශක්තියක් නැති බව දැනෙයි.මානසික ඒකාග්‍රතාව පවත්වාගැනීම අසීරුවෙයි. රක්තහීනතාව යනු වකුගඩු රෝගය බලපෑමින් ඇතිවන සංකූලතාවක්. සිරුරේ විඩාබර ගතියක් ඇතිවීම එහි ප්‍රතිඵලයක් ලෙස ඇතිවන්නකි. මේ තත්වය නිසා ඔබේ එදිනෙදා වැඩකටයුතු වලට බාධා වීමට පටන්ගනියි. ඔබ දවසේ වැඩි වෙලාවක් ඇඳේ වැතිරී සිටින්නේ නම් ,නිතර අසනීප ගතියකින් පසුවෙනවා නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවීමට කටයුතු කරන්න.

පෙණ ගතියකින් යුතු මූත්‍රා පිටවීම මෑතක සිට පිටවන මූත්‍රා වල පෙණ අධික ස්වභාවයක් දැකිය හැකි නම් එය වකුගඩු රෝගයේ මූලික පූර්ව ලක්ෂණක් වන්නට ද බැරි නැහැ.මූත්‍රා පෙණ ගතියක් ගැනීම යනු විශාල මුබුළු පිරී තිබීමයි.මෙසේ අධික ලෙස පෙණ මතුවන්නේ මූත්‍රා වල ප්‍රෝටීන අධික වීම නිසයි.එසේ වන්නේ වකුගඩු අකර්මන්‍ය වීම නිසයි. මූත්‍රා වල ප්‍රෝටීන් අධික වීම බරපතල වකුගඩු රෝගයක් පිළිබඳ ඉඟි කිරීමක් විය හැකියි.වකුගඩු රෝගීන් තුළ බහුලව දකින්නට ලැබෙන රෝග ලක්ෂණයක් ලෙසත් මේ තත්වය හඳුන්වන්න පුළුවන්.

නින්ද බාධාකාරී වීම සහ නිතර නපුරු සිහින දැකීම වැඩිහිටි පුද්ගලයින් බොහෝ දෙනාට තිබෙන ගැටලුවක් තමයි නින්ද නොයාම හෙවත් අනිද්‍රාව. දවස් ගණනක් තිස්සේ හොඳ නින්දක් ලබන්න උත්සහ කරලා අවසානයේ නින්දට ගියත් බියකරු සිහින පෙනෙන්නට පටන්ගැනීම; නැවත නිදාගැනීමට උත්සහ කලත් එය අසාර්ථක වීම; ඔබත් මේ ගැටලුවෙන් පෙළෙන කෙනෙක්ද? එසේ වන්නේ ඔබේ රුධිර විෂ ද්‍රව්‍ය වලින් පිරී ඇති නිසයි.සිරුරේ ඇති අපද්‍රව්‍ය හා විෂ ඉවත්කිරීම කළ යුත්තේ වකුගඩු වලින් වුණත් එහි ක්‍රියාකාරීත්වය ඇණ හිටීම නිසා ඒවා රුධිරය තුළ එකතුවීමට පටන්ගන්නවා.නිදාගැනීම අපහසු වීම හා බියකරු සිහින පෙනීමෙන් නින්දෙන් අවදීවීම සිදුවන්නේ මේ බලපෑම නිසයි. නමුත් සෑම වකුගඩු රෝගියෙකුටම නපුරු සිහින පෙනීම කියන තත්වය ඇතිවන්නේ නැහැ.

මූත්‍රා සමඟ රුධිරය පිටවීම මූත්‍රා වල රුධිරය තිබීම සාමාන්‍ය තත්වයක් නොවෙයි.වකුගඩු රෝග වලින් පෙළෙන පුද්ගලයින් තුළ බහුලව දැකිය හැකි රෝග ලක්ෂණයක් තමයි මේ තත්වය.වකුගඩු නීරෝගීව නොපවතින විට රතු රුධිර සෛල  මූත්‍රා සමඟ මිශ්‍ර වීම සිදුවිය හැකියි. වකුගඩු ගල්, පිළිකා ගැටිති වර්ධනය වීම් සහ ඇතැම් විට වකුගඩු ආසාදනය වීමේ තත්වයකදී මේ ලක්ෂණය පහළ විය හැකියි.

ආහාර අරුචිය ආහාර පාන වලට ප්‍රියතාව අඩුවීම වකුගඩු රෝගයේ මූලික ලක්ෂණයක් විය හැකියි. රසායනික සංයෝග රුධිරය තුළ එකතුවීමට පටන්ගැනීම  හේතුවෙන් මේ තත්වය ඇතිවෙයි.අපද්‍රව්‍ය රුධිරය තුළ ගොඩගැසීමට පටන්ගැනීම හඳුන්වන්නේ යුරේමියාව ලෙසයි.මෙය බඩගින්නට වගේම ඔබේ රස සංවේදනයට ද සෘණාත්මකව බලපෑම් ඇති කරයි. මේ නිසා ඔබ වඩාත් ප්‍රිය කරන ආහාරයක් වුවත් රස බලන විට ඔබේ දිවට එය ලෝහ (යකඩ) රසයක් මෙන් දැනෙන්නට පටන්ගනියි. ආහාර අරුචිය ඔබේ සිරුරේ බර අඩුවීමටත් බලපානවා. ඒවගේම සිරුරට ලැබිය යුතු නිසි පෝෂණය ද නොලැබී යයි. මෑතක සිට ඔබට ආහාර අරුචියක් දැනෙයි නම් වෛද්‍යවරයෙකු හමුවී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගන්න.

නිතර නිතර මූත්‍රා පහ කිරීමට අවශ්‍ය වීම මෑතක සිට නිතර නිතර වැසිකිලි යාමේ අවශ්‍යතාව දැනෙනවා නම් ඔබ අධි අවදානම් වකුගඩු ගැටලුවකින් පෙළෙනවා විය හැකියි. මෙය වෙනත් සෞඛ්‍ය ගැටලුවක ප්‍රතිඵලයක් ලෙස වුව ද මතුවිය හැකි බවත් කිව යුතුයි (උදා: පුරස්තිථි ඉදිමීම, මූත්‍රා මාර්ග ආසාදන හේතුවෙන්…). මෙය වකුගඩු රෝගයක් හේතුවෙන් ඇතිවන තත්වයක් නම් බොහෝ විට රාත්‍රී කාලයේදී මේ අවශ්‍යතාව දැනීමට පටන්ගැනීම විශේෂත්වයක්.වකුගඩු ලෙඩ වී ඇති විට එහි ඇති මූත්‍රා පෙරන අවයව වලට හානිවෙනවා.මේ තත්වය නිසා ඉක්මනින් මූත්‍රා පහකිරීමේ අවශ්‍යතාව සිරුරට දැනෙන්නට පටන්ගන්නවා.

දෙපතුල් හා වළලුකර ඉදිමීමට පටන්ගැනීම ගොඩක් අය මෙය වයසට යාමේදී ඇතිවන සාමාන්‍ය තත්වයක් ලෙස සිතා නොසලකා හරිනවා.නමුත් මීට හේතුව ඔබේ වකුගඩු ආශ්‍රිත ගැටලු තත්වයක් වෙන්නට ද පුළුවන්.ඔබ වයස අවුරුදු 30 ඉක්මවූ කෙනෙක් නම් ඔබේ ශරීර සෞඛ්‍ය ගැන පෙරට වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්න.යටිපතුල් හා වළලුකර ඉදිමීම ඔබේ වකුගඩු අකර්මන්‍ය වෙමින් පවතින බව සංඥා කරයි.මෙය වහාම ප්‍රතිකාර ගත යුතු තත්වයක්.වකුගඩු අක්‍රීය වීම නිසා සිරුරේ සෝඩියම් තැන්පත්වීම ඉහළ යාමත් එක්ක මෙසේ කකුල් ඉදිමීමට පටන්ගනියි. මේ තත්වය අක්මා රෝගී වීමෙන්, හෘද රෝග හා ඇතැම් විට පාද වල රුධිර නාළ (නහර) ගැටලු හේතුවෙන් ඇතිවන රෝග ලක්ෂණයක් වීමට ද ඉඩ තිබෙනවා.

මාංශ පේශී (කෙණ්ඩා) පෙරළීම මාංශ පේශී පෙරළීමේදී ඇතිවන්නේ දැඩි පීඩාකාරී බවක්. ඒ වෙලාවට වේදනානාශක ආලේපනයක් ගල්වා එම ස්ථානය ඇතිල්ලීම හෝ වේදනානාශකයක් ගැනීමයි ගොඩක් අය කරන්නේ.නමුත් මේ තත්වය දිගින් දිගටම ඇතිවෙනවා නම් එය නොසලකා  හරිය නොහැකියි. මෙසේ වන්නේ වකුගඩු රෝගී වීමෙන් ඔබේ සිරුර තුළ ඉලෙක්‍රොලයිට අසමතුලිත වීමේ ප්‍රතිඵලයක් ලෙසයි. මෙම අසමතුලිතතාව නිසා සිරුරේ පොස්පරස් මට්ටම් නියාමනය දුර්වල වීම සහ කැල්සියම් මට්ටම අඩුවීම වගේ ගැටලු ඇතිවීමට පටන්ගනියි.මෙය ඔබේ මාංශ පේශීන් තුළ කැක්කුම් ඇතිකිරීමට සෘජුවම බලපානවා.සති දෙකක් පමණ එක දිගට නිතර මේ තත්වය ඇතිවේ නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.

ඇස් ඉදිමීම නිතරම වගේ ඇස් ඉදිමී තිබීම වකුගඩු රෝගයේ පොදු ලක්ෂණයක්.ඇසේ බාහිර ප්‍රදේශ ඉදිමී ඇති ස්වභාවය කැපී පෙනෙයි.සිරුර තුළ ප්‍රෝටීන් රඳවාගැනීමට රෝගී වූ වකුගඩු වලට නොහැකි වීම නිසා ඒවා මූත්‍රා සමඟ පිටවෙනවා.කලින් සඳහන් කලා වගේ මූත්‍රා පෙණ ගතියක් ගන්නේ ඒ නිසයි.මෙහි ප්‍රතිඵලයක් ලෙස සිරුරේ ප්‍රෝටීන හිඟවීමෙන් ඔබේ ඇස් ඉදිමීමට පටන්ගන්නවා. 

ලෝකයේ මරණ වලට මූලික වන බහුලම හේතු අතර 16 වැනි ස්ථානයේ පවතින්නේ නිදන්ගත වකුගඩු රෝගයයි. ඉහත ලක්ෂණ ඔබ තුළත් හඳුනාගැනීමට හැකි නම් වහාම වෛද්‍යවරයෙකු වෙත යොමු වී ඔබේ සෞඛ්‍ය තත්වය පරික්ෂා කරගැනීමට කටයුතු කරන්න.