ශක්ති සම්පන්නව නිරෝගීව ජීවත් වෙන්නට කැමති ඔබ ගත යුතු කදිම ආහාරයක් ගැන තමයි අපි අද කතා කරන්නේ. අනාදිමත් කාලයක ඉඳලා අපේ මුතුන් මිත්තන් භාවිතා කරපු ධාන්‍ය වර්ග අතරින් වඩාත් විශේෂ ස්ථානයක් හිමිකර ගත්තු කොල්ලු ඇට ගැන තමයි අපි අද කතා කරන්නේ. මේ ගැන සඳහන් වෙන විදිහට අශ්ව ශක්තිය ලබා දෙන්නට තරම් මේ ධාන්‍ය වර්ගය සුවිශේෂී වෙනවා. වර්තමානයේ දී බොහෝ දෙනෙක් පීඩා විඳින රෝග තත්ත්වයන් රැසකට මේ කොල්ලු හොඳම ඔසුවක්. ඉතින් අපි කතා කරමු කොල්ලු ඇට ආහාරයට ගැනීමෙන් අපේ ශරීර සෞඛ්‍ය සම්පන්නව නීරෝගීව තියාගන්නේ කොහොමද කියලා.
මේ කොල්ලු ඇටවල ප්‍රෝටීන, යකඩ, තන්තු, පොස්පරස්, කැල්සියම්, මැග්නීසියම් සහ් පොටෑසියම් ආදී පෝෂ්‍ය පදාර්ථ බොහොමයක් අන්තර්ගත වෙනවා. ඒ නිසාම බොහොමයක් රෝග නිවාරණය කර ගන්නත් විවිධ රෝගවලින් ආරක්ෂා වෙලා ඉන්නත් මෙය අපිට උදව් වෙනවා.
කොල්ලු ආහාරයට ගැනීමෙන් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ

- ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරනවා.
- උණ, සෙම්ප්‍රතිශ්‍යාව ආදී රෝග තත්ත්වයන් සඳහා සහනය සලසනවා.
- ඔසප් වේදනාව සමනය කරනවා.
- නිරක්තිය නැති කරනවා.
- ආහාර ජීරණය පහසු කරනවා.
- දියවැඩියාව ඇතිවීම පාලනය කරනවා.
- ඇස්වල දැවිල්ල සහ කැසීම් ආදී අක්ෂි රෝග තත්ත්වයන් සමනය කරනවා.
- වකුගඩු ගල් ඉවත් කරනවා.
(මේ සඳහා රාත්‍රියේ දී කොල්ලු මිටක් පමණ ගෙන වතුරට දමා පසුදා උදෑසන ඒ වතුර පෙරා පානය කරන්න. කොල්ලුවල අඩංගු වෙන යකඩ සහ polyphenol මගින් වකුගඩු ගල් දිය කර හරිනවා වගේම නැවත ගල් ඇතිවීමත් වළක්වනවා. )
- මලබද්ධය සහ අර්ශස් රෝගය සමනය කරනවා.
- ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් මට්ටම අඩුකරනවා.
- මුත්‍රා ආසාදන සුව කරනවා.
- දත් දිරා යාම ආදී ගැටළුවලක්වා දත් ශක්තිමත් කරනවා.
- අස්ථි ශක්තිමත් කරනවා.
- කිරි දෙන මව්වරුන්ට ගුණදායකයි.
- ආතරයිටීස් රෝගීන්ට හිතකරයි.
- සම නිරෝගී කරනවා.
- පණු රෝග සමනය කරනවා.
- රුධිරය නිපදවීමට උපකාරී වෙනවා.
- හදවත ආරක්ෂා කරනවා.
- ශරීර බර අඩු කරනවා.
- පිළිකා ඇතිවීම වළක්වනවා.
- මාංශ පේශී වර්ධනය සහ සිරුරේ ගෙවී ගිය කොටස් අලුත්වැඩියා කරනවා.
- වයස්ගත වීමත් සමග ඇතිවන අස්ථි සහ සන්ධි ගෙවීයාම පාලනය කරනවා.
- පාචනය තත්ත්වයන් සමනය කරනවා.
මෙතරම් ගුණදායක කොල්ලු අතීතයේ සිටම ලාංකීය ජනතාවගේ ආහාරවේලට නිරන්තරයෙන්ම එකතු වුණා. කොල්ලු තම්බා පොල් සමඟ ආහාරයට ගැනීම, කොල්ලු තම්බා ගත් ජලය පානය කිරීම, ව්‍යංජනයක් ලෙස හෝ තෙම්පරාදුවක් ලෙස සකසා ආහාරයට ගැනීමට වගේම අග්ගලා,තෝසෙ, රොටී, පිට්ටු ආදී රස කැවිලි සකසා ආහාරයට ගැනීමටත් ඔවුන් පුරුදු වෙලා සිටියා. ඒ හැරුණාම කොල්ලුවලින් සකසන සුප් වගේම කොල්ලු කැදත් ඉතා රසවත් වගේම. ගුණදායකයි. ඒ විතරක් නෙවෙයි හොද්දක් උකු කරගන්නත් කොල්ලු පිටි අපිට භාවිතා කරන්නට පුළුවන්. හැමදාම හදන කිරිබතට වෙනසකටත් එක්ක කොල්ලු ඇට එකතු කළොත් ඒ රස ඔයාට කවදාවත් අමතක වෙන එකක් නැහැ.
කොල්ලු පානය සාදාගන්නා හැටි

- කොල්ලු කෝප්ප භාගයක්
- හබල පෙති කෝප්ප භාගයක්
- සූදුරු තේ හැඳි භාගයක්
කොල්ලු ඇට හොඳින් සෝදා වියළා ගෙන කබලේ බැදගන්න. ඉන්පසු සෝදා පිරිසිදු කරගත් හබල පෙති සහ සූදුරු ටිකත් තරමක් බැද ගන්න. මේ සියල්ල එකට දමා හොඳින් බ්ලෙන්ඩර් කරගෙන පෙනේරයකින් හලා නිවුණු පසු බෝතලයක අසුරා භාවිතයට ගන්න.
හොඳින් නටන උණු වතුර කෝප්පයකට මෙයින් කුඩු තේ හැඳි දෙකක් එකතු කර ලුණු ස්වල්පයක් දමා වසා තැම්බෙන්නට හැර මේ පානය කරන්න.
කොල්ලු කැඳ හදන හැටි
- රැයක් පොඟවා තම්බාගත් කොල්ලු ඇට කෝප්ප කාලක්
- රතු කැකුළු බත් කෝප්ප කාලක්
- උකු පොල් කිරි කෝප්ප දෙකක්
- කිතුල් හකුරු ග්‍රෑම් 50ක්
- ලුණු ස්වල්පයක්
- එනසාල් ඇටයක්
මුලින්ම භාජනයකට වතුර ටිකක දමා ලිප තබන්න. පසුව තම්බාගත් කොල්ලු ටිකට වතුර මේස හැඳි හතරක් දමා එයට බත් සහ තලාගත් එනසාල් එකතුකර තරමක ප්‍රමාණයකට අඹරාගන්න. මේ මිශ්‍රණය ලිපේ ඇති වතුර සමඟ මිශ්‍රකර කරන්න. එයටම හකුරු සහ පොල්කිරි දමා අවශ්‍ය පමණට ලුණු එකතු කර හොඳින් නටවාගෙන ලිපෙන් ඉවත් කර රස බලන්න. මේ කැඳ සඳහා කොල්ලු ඇටවලින් සාදාගත් කොල්ලු පිටි භාවිතා කරන්නත් පුළුවන්.
කොල්ලු ආහාරය සඳහා සකස් කිරීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු
- කොල්ලු උෂ්ණ ආහාරයක් නිසා පමණ ඉක්මවා ගැනීමෙන් වළකින්න.
- කොල්ලු ඇට තරමක් තද ගතියෙන් යුක්ත නිසා රැයක් පුරා පොඟවා ගැනීම අවශ්‍යයි.
- මේ කොල්ලු ඇට කබලේ බැද කුඩුකර පෙරුම්කායම් සමග ආහාරයට ගන්නටත් පුළුවන්,
- කොල්ලු ඇට සුදු ළූණු මිශ්‍රකර තම්බා පානය කිරීමෙන් පාදවල සන්ධි කැක්කුම් ඉදිමුම් ආදිය සුවපත් කරගන්න පුළුවන් .
ක්ෂය රෝගීන්, අධි රුධිර පීඩනයෙන් පෙළෙන්නන්, රක්තවාතයෙන් පීඩා විදින්නන් , ගර්භනී මව්වරුන් කොල්ලු ආහාරයට ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.