බහුලවම අසන්නට ලැබෙන රෝග තත්ත්වයන් අතුරින් මුත්‍රා ගල් ප්‍රධාන වෙනවා. මේ තත්ත්වය කාන්තාවන්ටත් වඩා පුරුෂයන් අතර දකින්නට ලැබෙනවා. සාමාන්‍යයෙන් වයස අවුරුදු 20 -50 අතර පුද්ගලයන් අතර මේ මුත්‍ර ගල් ඇතිවීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. බොහෝ ලෙඩ රෝග අපේ යම් යම් වැරදි පුරුදු නිසා ඇතිවෙන බව ඔබ දන්නවා. ඉතින් මේ මුත්‍ර ගල් කියන්නෙත් සැබැවින්ම අපේ නොසැලකිලිමත්කම නිසාම බොහෝවිට ඇතිවන තත්ත්වයක්. ඉතින් අද කතා කරමු වැඩිදෙනෙක් පීඩා විදින අතිශය වේදනාකාරී මුත්‍රා ගල් පිළිබඳව.
වකුගඩු කියන්නේ අපේ ශරීරයේ ක්‍රියාත්මක වෙන පෙරනයක් . දේහයයේ අපද්‍රව්‍ය පෙරා ඉවත් කරන කාර්ය වකුගඩු මගින් සිදු වෙද්දි ඒවා බැහැරට යවනු ලබන්නේ මුත්‍රා වශයෙන්. අපේ වැරදි පුරුදු නිසා මුත්‍රා සාන්ද්‍ර වීම මත වකුගඩුවේ සිට මුත්‍රා මර්ගයේ කුඩා කැටිති ඇතිවීම සිදු වෙනවා. සාමාන්‍යයෙන් මේ කැටිති මුත්‍රා සමඟ ගසාගෙන ගියත් විශාල කැටිති වකුගඩුවේ ඉතිරි වීම සිදු වෙනවා.මේ කැටති කාලයක් සමඟ ක්‍රමයෙන් එකතු වී විශාල වී ගල් ඇතිවී මුත්‍ර මාර්ගය අවහිර වීම සිදු වෙනවා.මේ ගල් වකුගඩුවල, මුත්‍ර වාහිනීවල සහ මුත්‍රාශය යන ස්ථානවල ඇති වෙන්නට හැකියාව පවතිනවා.
මුත්‍රා ගල් ඇතිවීම සඳහා බලපාන සංඝටකවලට අනුව මුත්‍රා ගල් වර්ග කිහිපයක් හඳුනා ගන්නට පුළුවන්. රෝගියාට ප්‍රතිකාර කිරීමේදී වගේම රෝගියා ආහාර පාලනය කිරීමේදීත් තමන්ගේ දේහයේ ඇති ගල් වර්ගය කුමක් ද යන්න දැන සිටීම ඉතාම වැදගත්.

- කැල්සියම් සහිත ගල් මේවායේ සංයුතිය කැල්සියම් ඔක්සලේට් කැල්සියම් ෆොස්ෆේට් ආදී රසායනික සංයුතීන්ගෙන් සමන්විත වෙනවා. මුත්‍රා ගල්වලින් 80% ක්ම කැල්සියම් ඔක්සලේට් අඩංගු අතර වැඩි දෙනෙක් අතර ඇතිවන ගල් වර්ගය වන්නේ ද මේ කැල්සියම් ගල්. ඒ නිසාම ඒ ගල් X – ray පරීක්ශණයක් මගින් හඳුනා ගන්නත් හැකියාව තියෙනවා.
- යූරික් අම්ල ගල් මෙවැනි ගල් ඇති වෙන්නට හේතු කිහිපයක්ම බලපානවා. තරබාරුව, අධික ලෙස ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීම ඒ අතර ප්‍රධාන වෙනවා. මුත්‍රා අධික ලෙස ආම්ලිකවීමෙන් ඇතිවන මේ ගල් සාමාන්‍ය එක්ස් කිරණ පරීක්ශාවකින් හඳුනා ගන්නට බැහැ.
- සිස්ටීන් ගල් ඉතාම අඩුවෙන් වාර්තා වෙන මේ ගල් වර්ගය වකුගඩුවේ ඇති ඇමයිනෝ අම්ල ගමනාගමන මාර්ගයේ පරම්පරාගත රෝගී තත්ත්වයක් මත ඇති වෙනවා. තරුණ අවධියේදී ඇතිවන මෙය ජීවිත කාලය පුරාම පැවතිය හැකි ගල් වර්ගයක්.
- ආසාදන ගල් නිතර ඇතිවන මුත්‍රා ආසාදනවලට ප්‍රතිකාර නොකිරීම හේතුවෙන් ඇතිවන මේ ගල් ඉතා විශාල වන නිසා එය වකුගඩුවලට පවා දැඩි හානි ගෙන දෙන්නාට හේතු වෙනවා.
මුත්‍රා ගල් ඇති වෙන්නට බලපාන හේතු
- ජානමය සාධක
- වකුගඩුවල ව්‍යුහයේ වෙනස්කම්
- ජලය අඩුවෙන් පානය කිරීම
- කිවුල් ජලය පානය කිරීම
- ශරීරය විජලනයට ලක්වීම මේ නිසා අධික තාපයට සහ හිරු එළියට නිරාවරණය වන රැකියාවල නිරත වෙන පුද්ගලයන්ට මුත්‍රා ගල් ඇතිවීමේ අවදානමක් පවතිනවා.
- බඩවැල් සහ වකුගඩු ආශ්රිත රෝග
- ඔක්සලේට් බහුල ආහාර වර්ග අධික පරිබෝජනය (රාබු, පිපිඤ්ඤා, තේ, කැකිරි, අනෝදා, ආටා පිටි, රතු සහල් ,තේ, රතු පැහැ මෑ, සෝයා, රතු අල, බණ්ඩක්කා, රාබු, මුරුංගා , නෙලුම් අල, කෙසෙල් මුව , නිවිති, මුරුංගා කොළ, පාස්ලි, දෙලුම් ,අලි පේර, කජු, ආමන්ඩ්, චොක්ලට්)
රෝගය හඳුනා ගත හැකි ලක්ෂණ

- අතිශය වේදනාකාරී බඩේ කැක්කුම මේ වේදනාව යටිබඩ දෙසට විහිදී යමින් විටින් විට ඇතිවන තදබල වේදනාවක්. මුත්‍ර ගමන අඩාල වීමෙන් වකුගඩු තුළ ඇතිවන පීඩනයෙන් වකුගඩුවේ ආවරන ඇදීමකට ලක්වී වේදනාව ඇති කරනවා.වේදනාව අධික වීම ,පැය කිහිපයක් පැවතීම
- ක්ෂණිකව ඇතිවීම වේදනාව ශිෂ්ණය හෝ කෝශ වෙත ගමන් කිරීම ආදී ලක්ෂණ මගින් මේ රෝගය හඳුනා ගන්නට උපකාරී වෙනවා.
- වමනය
- කොන්දේ වේදනාව ගල් ඇති ස්ථානය අනුව කොන්දේ හෝ යටිබඩේ වේදනාව ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම පිට කොන්දේ වේදනාව ඇතිවිට පිට අතින් තද කළ විට වේදනාව තවත් වැඩිවීමක් දකින්නට පුළුවන්.
- දහදිය දැමීම සාමාන්‍යයෙන් මුත්‍ර වාහිනී නිතරම උත්සාහ කරන්නේ ගල් තල්ලු කර දැමීමට. ඒ නිසා ගලක් ගමන් කරද්දි දැඩි වේදනාව සමඟ දහදිය දැමීම, ඔක්කාරය, ක්ලාන්තය දුඹුරු පැහැයෙන් මුත්‍රා පිටවීම ආදී ලක්ෂණත් ඇති වෙනවා. මේ වේදනාව සමඟ පිට කෙරෙන මුත්‍රා ගල් මිලිමීටර් 15 ට වඩා කුඩා ප්‍රමාණයේ ඒවා.
- නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇතිවීම
- මුත්‍රා සමඟ ලේ පිටවීම
- මුත්‍රා පිට කිරීමේදී වේදනාවක් ඇතිවීම
- දුර්ගන්ධයක් සහිතව මුත්‍රා පිටවීම
පරීක්ෂණ මේ රෝගය විනිශ්චිය කර ගැනීම සඳහා වෛද්‍යවරයා මුත්‍රා පරීක්ෂණ, X – ray පරීක්ෂණ සහ Ultra sound පරීක්ෂණ උපයෝගී කරගනු ලබනවා. ඒ අනුව ගල් පිහිටා ඇති ස්ථානය අනුව, වකුගඩුවල ව්‍යුහය අනුව රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව සහ වේදනාව අනුව ප්‍රතිකාර තීරණය කරනු ලබනවා.

මුත්‍රා ගල් ඇතිවීමේ සංකූලතා
- මුත්‍රා සමඟ රුධිරය වහනය වීම
- මුත්‍රා ගල් මුත්‍රාශ බිත්තිය හරහා ගුද මාර්ගය හෝ යෝනි මාර්ගය තුළට ඛාදනය වීම
- මුත්‍රා ආසාදන ඇතිවීම
- ප්රතිකාරවලින් පසුවත් ගල් ඉතිරිවීම
- නැවත ගල් ඇතිවීමේ අවදානම
- වකුගඩු ඉදිමීම
සාමාන්‍යයෙන් මිලිමීටර් 15 ට වඩා වැඩි මුත්‍රා ගලක් ඇති විටෙක හෝ ප්‍රමාණයෙන් කුඩා මුත්‍රා ගලක් මුත්‍රා වාහිනී බිත්තියට ඇලී කා වැදී ඇති විට මුත්‍රා වාහිනියේ ස්වාභාවිකව සිහින් වුණු කොටස්වලින් එකක් සිරවෙන්නට පුළුවන්. එවිට ඒ පැත්තේ වකුගඩුවෙන් මුත්‍රා පෙරීම අඩපණ වී වකුගඩුවට හානි ඇති වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වකුගඩු ඉදිමීමේ රෝගය ඇති වෙනවා.
ඉතින් මුත්‍රා ගල් කියන තත්ත්වය සුළුවට නොගෙන ඉතා ඉක්මනින් නිසි වෛද්‍ය උපදෙස් ගැනීමට කටයුතු කළ යුතු වේදනාකාරී රෝගයක්.