ඔබ දැන සිටිය යුතු වකුගඩු වල ගල් හටගැනීමට බලපාන හේතු 10 ක්

health tips

ජලය අඩුවෙන් පානය කිරිමේ ප්‍රතිඵලය ලෙස මූත්‍රා තුළ කැල්සියම්,ඔක්සලේට් සහ යූරික් අම්ල සාන්ද්‍ර වි වකුගඩුවේ සිට මූත්‍රා මාර්ගයේ කුඩා කැටිති ලෙස මතුවීමට පටන්ගනියි.මෙම කැටිති සාමාන්‍ය මූත්‍රා බැහැර වීමේ ක්‍රියාවලියේදී මූත්‍රා සමඟ ගසාගෙන යන අතර ප්‍රමාණයෙන් විශාල කැටිති වකුගඩුවේ ඉතිරි විය හැකියි. මේවා කාලයත් සමඟ ක්‍රමයෙන් එකට එකතු වී විශාල ගල් බවට පත් වේ. මේවා මූත්‍රා මාර්ගය අවහිර කරමින් දැඩි අපහසුතා මතුකරයි.

වකුගඩු ආශ්‍රිතව ගල් ඇති වීමේ අවදානම කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් තුල වැඩි වැඩිය. මෙම පීඩාකාරී ස්වභාවයේ රෝග ලක්ෂණ මුල් අවදියේම පහළ නොවන නිසා රෝග තත්වය හඳුනාගැනීම අපහසුය.

මුළින්ම වකුගඩු වල ගල් හටගැනීමට හේතු සොයාබලමු.

සිරුරේ ජල ඌනතාව- වකුගඩු තුළ එකතුවන ඉහත සඳහන් ආකාරයේ කැටිති සාදන ඛනිජ ලවණ මූත්‍රා සමඟ දියකරහැරීමට වකුගඩු වලට හොඳින් ජලය ලැබිය යුතුයි. හොඳින් ජලය පානය නොකිරීම නිසා මෙම අවදානම ඉහළ යයි. දිනකට වතුර වීදුරු 10 ක් (ලීටර් 1.5-2) පමණ පානය කිරීමට සැලකිලිමත්වන්න. ලෙමන් හෝ දෙහි මුසු කළ වතුර ද වඩාත් ගුණදායකයි. සිට්‍රේට්ස් මඟින් ගල් හටගැනීම වළක්වයි.

  1. ඇතැම් ආහාර පාන ඔබ ආහාරයට ගන්නා ඇතැම් ආහාර පාන වකුගඩු ගල් ඇතිවීමේ අවදානම ඉහළ දමයි.මූත්‍රා නිපදවීමේදි කැල්සියම් හා ඔක්සලේට් එක්වීම වකුගඩු ගල් ඇතිවන එක් ආකාරයකි.ඔබ මින් පෙර වකුගඩු ගල් වලින් පෙළී ඇත්නම් නිවිති,බ්‍රෑන් (නිවුඩු) සහ රුබාර්බ් වැනි ඔක්සලේට් අන්තර්ගතය බහුල ආහාර වලින් වළකින්න.කැල්සියම් සහ ඔක්සලේට් බහුල ආහාර එකවර ආහාරයට ගන්නේ නම් අවදානම අඩුය.ඊට හේතුව ඒවා එකිනෙක සම්මිශ්‍ර වන්නේ වකුගඩු වල නොව බඩවැල් තුළ වීමයි.
  1. අධික ලුණු (සෝඩියම්) භාවිතය ඔබ දිනකට අධිකව මේස ලුණු ආහාරයට ගන්නවා නම් මෙම අවදානම ඉහළ වෙයි.සෝඩියම් මඟින් මූත්‍රා වල කැල්සියම් මට්ටම් ඉහළ දැමීම මීට හේතුවයි.චිප්ස්, ෆ්‍රයිස් වැනි බැදුම් ආහාර, සෝස්,සකස් කළ මස් මාලු, ටින් කළ ආහාර වල මේවා බහුලයි.
  1. සත්ව ප්‍රෝටීන් මූත්‍රා වල ආම්ලිකබව වැඩිකම වකුගඩු ගල් ඇතිවීම බලපාන තවත් හේතුවක්.අධික ලෙස රතු මස් වර්ග වැනි සත්ව ප්‍රෝටින් බහුල ආහාර නිසා සිරුරේ යූරික් අම්ල මට්ටම් ඉහළ යයි. එවිට වකුගඩු තුළ ගල් සෑදෙයි. මූත්‍රා වල කැල්සියම් මට්ටම් ඉහළ යාමට ද මෙම සත්ව ප්‍රෝටීන් බහුලව ආහාරයට ගැනීම හේතුවෙයි.මෙහිදි සිට්‍රේට් මට්ටම් පහත බසියි.මෙම සංයෝගය වකුගඩු තුළ ගල් ඇතිවීමට හේතුවෙයි.
  1. බඩවැල් ආශ්‍රිත ගැටලු ක්‍රෝන්ස් රෝගය (Chrohn’s) හෝ ව්‍රණමය පුරිතන්දාහය (ulcerative colitis) වැනි ප්‍රදාහක බඩවැල් රෝග වලින් පෙළෙන්නේ නම් වකුගඩු ගල් ඇතිවීමේ අවදානම ඉහළය.පාචනය වැනි බඩවැල්  රෝග නිසා මූත්‍රා පිටවීම වෙනදාට වඩා අඩුවෙයි.බඩවැල් වල අතිරික්ත ඔක්සලේට් උරාගැනීම වැඩිවෙයි.ඒවා මූත්‍රා වලට එකතු වීම ප්‍රතිඵලයයි.නමුත් මෙම අවදානම ඇත්තේ ඔබට නිදන්ගත බඩවැල් රෝග ඇත්නම් පමණයි.
  1. ස්ථූලතාව BMI අගය 30 හෝ ඊට වැඩි නම් ඔබ ස්ථූල අයෙකි. මෙවැනි අය තුළ වකුගඩු ගල් අවදානම ඉහළ බව හඳුනාගනියි. මේද ආහාර වලින් වැළකී සිටීම ඉතා වැදගත්.බර අඩුකරගැනීමේ සැත්කම් වලට යොමුවීමෙන් සිරුරට පෝෂණය උරාගැනීම සම්බන්ධ යම් යම් ගැටලු ඇතිවිය හැකියි.විශේෂයෙන් gastric bypass  සැත්කම් වලට ලක්වූවන්ට මෙම අවදානම වැඩි බව සඳහන් වේ.
  1. ජානගත රෝග ජානමය බලපෑම් නිසා ද මෙම රෝග අවදානම ඇතිවෙයි.ඇතැම් ජානගත රෝග වකුගඩු තුළ කෝෂ්ඨ (cysts) ඇතිකරවයි.උපතේදීම තිබූ දෝෂයක් මෙවැනි වකුගඩු ගල් ඇතිවීමට හේතුවිය හැකියි.
  1. දෙවන කාණ්ඩයේ දියවැඩියාව මෙම දියවැඩියා තත්වයෙන් පෙළෙන්න හට වකුගඩු ගල් ඇතිවීමේ අවදානම දෙගුණයකටත් වඩා ඉහළ බව පෙන්වාදෙයි.ඉන්සියුලින් ප්‍රතිකාර ලබාගන්නේ නම් මෙම අවදානම තවත් වැඩිය.දියවැඩියා තත්වය මූත්‍රා වල ආම්ලිකබව වැඩිකිරීම මීට හේතුවයි.මූත්‍රා ආම්ලික වීම වකුගඩු වල ගල් ඇතිවීමේ ඉඩකඩ වැඩිවීමට හේතුවෙයි.
  1. රක්තවාතය (gout) ඔබ මෙම තත්වයෙන් පීඩාවිඳින්නේ නම් වකුගඩු ගල් ඇතිවීමේ අවදානමක් ද ඇත.සන්ධි ආශ්‍රිතර යූරික් අම්ල තැන්පත් වී සෑදෙන කැටිති පීඩාකාරී රක්තවාතයට හේතුවෙයි. මෙවැනිම පීඩාකාරී ගල් වකුගඩු තුළ ද සෑදෙයි.යූරික් අම්ල බහුල වීම රක්තවාතයට බලපාන අතර එම අම්ල වකුගඩු තුළ පෙරීමට ලක්වීම නිසා ද මෙම තත්වයන් දෙක එකිනෙකට සම්බන්ධයි.වකුගඩු තුළ අපද්‍රව්‍ය නිසි ලෙස පිරිපහදු නොවීමෙන් ඒවා ඉතිරි වී කැටිති සෑදෙයි. ඇතැම් ඖෂධ වලට සිරුර ප්‍රතිචාර නොදැක්වීමෙන් වකුගඩු තුළ සංකූලතා මතුවිය හැකි අතර බොහෝවිට වකුගඩු තුළ ගල් හටගැනීමට පවා හේතුවෙයි.
  1. හයිපර්පැරාතයිරොයිඩිසම් (hyperparathyroidism) පැරතයිරොයිඩ් ග්‍රන්ථි වලින් අධිකව හෝර්මෝන නිපදවීමෙන් ඇතිවන තයිරොයිඩ් ගැටලු තත්වයකි.මෙය වකුගඩු ගල් ඇතිවීමට බලපාන බහුල සාධකයක්.වකුගඩු ගල් ඇති පුද්ගලයින් සඳහා බොහෝවිට පැරතයිරොයිඩ් ග්‍රන්ථි ආශ්‍රිත ගැටලු ඇත්දැයි වෛද්‍ය පරීක්ෂණ සිදුකරනු ලබයි.මෙසේ පරික්ෂා කරන පිරිසකින් බාගයකටත් වඩා දෙනා පැරතයිරොයිඩ් පිළිකා ගැටිති (parathyroid tumor) වර්ධනයකින් පෙළෙන බව හඳුනාගැනීමට ලැබෙන සම්භාවිතාව ඉහළයි.අධික තයිරොයිඩ් හෝර්මෝන ස්‍රාවය නිසා සිරුරේ කැල්සියම් මට්ටම් ඉහළ යයි. මෙය වකුගඩු ගල් ඇතිවීමේ අවදානම ඇතිකරයි.
  1. රීනල් ටියුබියුලර් ඇසිඩෝසිස් තත්වය (renal tubular aciodosis) මෙම තත්වය නිසා සිරුරේ ඉලෙක්ට්‍රොලයිට මට්ටම් අසමතුලිත වී යයි.මෙහිදී වකුගඩු වල කැල්සියම් තැන්පත්වීම වඩාත් ඉහළ යයි.වකුගඩු ගල් වර්ධනය වීම ප්‍රතිඵලයයි.

ඇතැම් ඖෂධ ප්‍රතිකාර ඇතැම් ඖෂධ වල අතුරු බලපෑම් ලෙස මෙය ඇතිවෙයි.ප්‍රතිජීවක (actibiotics) මෙහිදී විශේෂයි.HIV (AIDS) තත්වයට ප්‍රතිකාර ගන්නා රෝගීන් තුළ ඔවුන් භාවිත කරන ඇතැම් ඖෂධ වර්ග මෙවැනි බලපෑමක් ඇතිකරයි.අධි රුධිර පීඩනයෙන් පෙළෙන අයට නියම කෙරෙන ඇතැම් මූත්‍රාවර්ධක ඖෂධ  (diuretics) වලින් ද  මෙවැනි බලපෑමක් ඇතිවේ.

*වකුගඩු වල ගල් ඇතිවීම ඉතා වේදනාකාරි තත්වයක්. මේවා ප්‍රදාහයට ලක්වී වෙනත් බරපතල සෞඛ්‍ය ගැටලු වලට තුඩු දීමට ඉඩ තිබෙයි.නිසි ප්‍රතිකාර ගැනීම වැදගත් වන්නේ ඒ නිසයි. සෞඛ්‍ය සම්පන්න ආහාර පාන මෙන්ම දිනකට හොඳින් දියර වර්ග පානය කරන්න.