වකුගඩු ගල් එහෙමත් නැත්නම් මුත්‍රා මාර්ගයේ ගල් ඇතිවීම කියන්නේ අද බොහෝදෙනෙක් පීඩාවිදින අතිශය වේදනාකාරී රෝගයක්. ඉතින් ඒ තත්ත්වයෙන් පීඩා විදින රෝගීන් වගේම වෙනත් රෝගවලින් පීඩා විදින රෝගීන් හැමෝම වගේ තමන්ගේ ආහාර ගැන වැඩි සැලකිල්ලක් දක්වනවා. ඇතැම් රෝග සඳහා නොගත යුතු හෝ සීමා කළ යුතු ආහාර වර්ග පවතිනවා. ඒ වගේම ඒ ඒ රෝගවලින් පෙළෙන විට ඒ රෝගියා ගත යුතුම ආහාර වර්ග ගැනත් කතා කෙරෙනවා. ඒ වගේම ඒ ගත යුතු ආහාරවල ප්‍රමාණයන්, ජලය පානය ඇතුළු ආහාර පුරුදු සහ චර්යා රටාවන් ගැන රෝගීන් වැඩි උනන්දුවක් දක්වනවා. මොකද අපි හැමෝම තමන්ට වැළදිලා ඇති රෝගයෙන් ඉතා ඉක්මනින් මිදෙන්නට උනන්දු වෙන නිසා. නමුත් අනවශ්‍ය ලෙස රෝගයකදී බියවීම නිසා කිසිදු විද්‍යාත්මක බවින් තොරව කෙනෙක් සඳහන් කළ පමණින් යම් ආහාර නොගෙනම සිටින්නටත් ඇතැම් රෝගීන් කටයුතු කරනවා. ඒ නිසාම සමහර අවස්ථාවල රෝගීයාට ලැබිය යුතු පෝෂයදායි ආහාරවේලක් නොලැබී යන්නට මේ අනවශ්‍ය ආහාර පාලනය හේතුවක් වෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසාම අද අපි කතා කරන්නට සිතුවේ මුත්‍රා ගල් නිසා පීඩා විදින රෝගියෙක් ආහාර ගත යුතු ආකාරය පිළිබඳව ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳවයි .

අපේ ශරීරයේ ඇති අපද්‍රව්‍ය පෙරී ඉවත් කරන්නේ වකුගඩු මගින්. ඒ ආකාරයට පෙරන අපද්‍රව්‍ය මුත්‍රා මාර්ගය හරහා ඉවතට යනවා. කැල්සියම්, පොස්පේට්, යූරික් ඇසිඩ් කියන සංඝටක අපේ ශරීරයේ ගල් ඇති කරන්නට හේතු වෙනවා. මේ සංඝඨකවල සාන්ද්‍රණය අපේ මුත්‍රා තරලයේ අධික විට ඒවා වකුගඩුවල හෝ මුත්‍රා මාර්ගයේ තැන්පත්වීම සිදු වෙනවා.ඒ ප්‍රමාණය ක්‍රමයෙන් විශාල වෙලා කාලයක් ගතවෙද්දි ගල් බවට පත් වෙනවා.මේ ගල් ඇතිවෙන්නට ඉහත සඳහන් කළ සංඝටක වගේම ඒවායේ සාන්ද්‍රණයත් බලපෑම් කරනු ලබනවා.
මුත්‍රා ගල් විවිධ රසායනික සංයුති සහිතව ඇති වෙන්නට පුළුවන්. එසේ මුත්‍ර මාර්ගයේ ඇතිවිය හැකි ගල් වර්ග මෙසේ දක්වන්නට පුළුවන්.
- කැල්සියම් ඔක්සලේට්
- කැල්සියම් පොස්ෆේට්
- යූරික් ඇසිඩ්
- සිස්ටීන්
- ස්ටෘවයිට්
- මේ අතරින් බහුලවම දකින්නට ලැබෙන්නේ කැල්සියම් ඔක්සලේට් කියන ගල් වර්ගය නිසා පීඩා විදින රෝගීන්. ඉතින් මේ රෝගීන් තුළ තැන්පත් වෙලා තියෙන ගල් වර්ගය අනුව ආහාර රටාව වෙනස් කරගන්නට සිදු වෙනවා. ඒ නිසා මුත්‍ර ගල් සහිත රෝගියෙක් තමන්ගේ දේහයේ ඇති ගල් වර්ගය නිසිපරිදි හඳුනා ගැනීම ඉතා වැදගත්.මේ සඳහා තමන්ගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කිරීම වගේම ඒ සඳහා සිදු කරන පරීක්ෂණ ප්‍රයෝජනවත් වෙනවා. නමුත් කුමන ආකාරයේ ගල් වර්ගයක් දේහයේ ඇත්නම් පොදුවේ එවැනි ඕනෑම රෝගියෙක් සඳහා අනුගමනය කල හැකි විද්‍යාත්මකව තහවුරු කරන ලද ක්‍රමවේද කිහිපයක් ද පවතිනවා.
- හැකි තරම් ජලය පානය කිරීම මුත්‍රා තරලයේ මුත්‍රා ගල් නිර්මාණය කරන විවිධ සංඝටක ඉහළ යාම වකුගඩු ගල් ඇතිවීමේ ප්‍රවණතාවය වැඩි කරන්නට හේතු වෙනවා. ඒ සාන්ද්‍රණය අඩුකර ගන්නට හැකි හොඳම ක්‍රමය වෙන්නේ වැඩිපුර ජලය පානය කිරීම. ඒ සඳහා අපේ දේහයේ ඇති ගල් වර්ගය අදාල වෙන්නේ නැහැ. දිනකට ජලය ලීටර් 2- 3 ක් දක්වා ප්‍රමාණයක් පානය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ලා කහ පැහැයෙන් සහ දුර්ගන්ධයකින් තොරව ඔබේ මුත්‍ර පිට වෙන්නේ නම් එයින් හැඟවෙන්නේ ඔබ ප්‍රමාණවත් තරම් ජලය පානය කරන බවයි. ඒ නිසා හැකිතරම් ජලය පානය කරන්න.
- අධික සීනි සහිත පැණි බීම ,කෝලා වර්ග ආදී දේවල්වලින් හැකිතාක් ඈත්වීම

- කැල්සියම් ඔක්සලේට් ගල් වර්ගය ඇති රෝගියෙකු ආහාර පාලනය කළ යුතු ආකාරය -කැල්සියම් අඩංගු ආහාර සාමාන්‍ය පරිදි ලබා ගන්න.මේ ගල් ඇති රෝගීන් කැල්සියම් සහිත ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම වගේ සීමා කිරීම දකින්නට ලැබෙනවා. නමුත් විද්‍යාත්මකව තහවුරු කරගෙන තියෙන ආකාරයට කැල්සියම් ඔක්සලේට් ගල් ඇති රෝගියෙක් සාමාන්‍ය පරිදි කැල්සියම් තමන්ගේ ආහාර වේලට එකතු කර ගැනීම අත්‍යවශ්‍ය වෙනවා.
- කැල්සියම් පෙති භාවිතයෙන් වැළකෙන්න.’කැල්සියම් පෙති පානය කරන අයෙක් නම් එය මේ රෝගයෙන් පෙළෙන අයෙකුට එතරම් යෝග්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා කැල්සියම් පෙති ගැනීම නතර කළ යුතුයි.
- ඔක්සලේට් අධික ආහාරවලින් වැළකෙන්න.අපේ දේහයට ඔක්සලේට් අධිකව ලැබුණොත් කැල්සියම් ඔක්සලේට් ගල් සෑදීමේ හැකියාව ඉහළ යනවා. ඒ නිසා ඔක්සලේට් අධික ආහාර වන ආටා පිටි,රතු සහල් ,තේ , රතු පැහැ මෑ, සෝයා, රතු අල, බණ්ඩක්කා, රාබු, මුරුංගා , නෙලුම් අල, කෙසෙල් මුව , නිවිති, මුරුංගා කොළ, පාස්ලි, දෙලුම් ,අලි පේර, කජු, ආමන්ඩ්, චොක්ලට් ආදී ආහාරවලින් හැකි තරම් වැළකීම වඩා සුදුසුයි.
- පෙති වශයෙන් ලබා ගන්නා විටමින් C ප්‍රමාණය යම් පාලනයක් සහිතව ලබා ගන්න.
- ප්‍රෝටීන් අධික ආහාර සාමාන්‍ය පරිදි ලබා ගැනීම සුදුසුයි.
- ලුණු භාවිතය හැකිතරම් සීමා කරන්න පලතුරු සහ එළවලු හැකි තරම් ආහාරයට ගන්න. එමගින් මුත්‍රාවල ආම්ලිකතාවය අඩුකර ගන්නට හැකියාව ලැබෙන නිසා එයින් කැල්සියම් ඔක්සලේට් ගල් ඇතිවීමේ ප්‍රවණතාවය බෙහෙවින් අඩු කරනවා.
යූරික් ඇසිඩ් ගල් සහිත රෝගියෙක් ආහාර පාලනය කළ යුතු ආකාරය
- ප්‍රෝටීන් බහුල ආහාර (රතු මස් ,හරක් මස් ,පීකුදු, කෙලවල්ලා මාළු ) ගැනීම සීමා කරන්න. දේහයට අවශ්‍ය ප්‍රමාණයට පමණක් ලබා ගන්න.
- මධ්‍යසාර භාවිතය අවම කරන්න
- අලුත් එළවලු පලතුරු ආහාරයට ගැනීම වැඩි කරන්න.
- ලුණු භාවිතය අඩු කරන්න.
ඕනෑම ලෙඩකට අනවශ්‍ය ලෙස බිය වීම නිසා අනවශ්‍ය ලෙස තමන්ගේ ආහාර පුරුදු හා චර්යා රටා වෙනස් කර ගැනීම එතරම් සුදුසු කාරණයක් නෙවෙයි. ඒ නිසා වෛද්‍ය උපදෙස් අනුව රෝගය සුවකර ගන්නට හෝ පාලනය කර ගන්නට කටයුතු කිරීමයි වැදගත් වෙන්නේ.