අක්මා රෝග දියවැඩියාව මට්ටු කරන කිතුල් පිටි කැඳ සතු ගුණ 16 ක්

health tips

කිතුල් ගස කියන්නේ අපට බොහෝ ප්‍රයෝජන ගෙන දෙන කප්රුකක්. එදා ජන ජීවිතයේ පැණි රසේ ඉල්ලුම කිතුල්වලින් සැපයුණා. පොල් වගේම කිතුලෙත් ඇති මහඟු ප්‍රයෝජන නිසාම දුගී පැලේ සිට රජ මැදුර දක්වා කිතුල කප් රුකක් වුණා. කිතුල් රා, තෙලිජ්ජ, කිතුල් පැණි අප සමඟ බද්ධ වී තිබුණේ මීට වසර ගණනාවකට පෙර සිටයි. ජනවහරේ පැවතෙන විදියට එළාර සහ දුටුගැමුණු රජු අතර සිදුවුණු විජිතපුර සටනේදී තුවාල ලැබූ සෙබළුන්ගේ තුවාලවලට කිතුල් පැණිවලින් සෑදු කැවුම් තියලා බැන්දාලු. කොහොම නමුත් එදා කාන්තාවගේ කෙහෙරැල්ල ජන කවියා උපමා කළෙත් කිතුල් රෑනකට. පැරණි ගැමි ජීවිතය හා බැඳුණු මේ කප්රුක සෑම නිවසකම පාහේ දකින්නට තිබුණා. තමන්ගේ පවුලේ ආදරණීයන් පවා කිතුල් ගසට සමාන කිරීමට ඔවුන් උත්සාහ කර ඇත්තේ එදා පැරැන්නන්ගේ ගැමි ජීවිතය කිතුල් ගස සමඟ ඉතා සමීපව බැඳී තිබුණු නිසාවෙන්මයි.

  • අප්පච්චී අපෙ ගේ දොර කිතුල වගේ 
  • අම්මා අපේ ඒ කිතුලේ පැණි වාගේ 
  • ලොකු අක්කා ඒ කිතුලේ මල වාගේ 
  • පර අම්මා මා වුස්සා කොළ වාගේ 

නමුත් එදා පැවති කිතුල් කර්මාන්තය නම් අද අඩාල වෙලා. කෙසේවුවත් කිතුල් රා,කිතුල් පැණි, කිතුල් පිටි, කිතුල් හකුරු ආදී සෑම දෙයක්ම ඉතා ඉහළ ගුණයකින් යුක්තයි. නමුත් අපේ නිවසක කිතුල් පිටි කැඳක් හෝ හැදෙන්නේ ඉතාම කලාතුරකින්. නමුත් එදා පැරැන්නන් නිතර පානය කරපු කැඳක් තමයි කිතුල් පිටි කැඳ. කිතුල් පිටිවලින් කැඳ විතරක් නෙවෙයි කිරියා වගේ දේවලුත් ඉතා රසවත්ව සකසා ගන්නට පුළුවන්. ඉතින් බොහෝ දෙනෙක්ට අමතකව ගියපු උදෑසනට කිරිපිටි නැතුවම බැරි අපේ වත්මන් පරපුරට කිතුල් පිටි ගැනයි මේ කියන්න යන්නේ.

සාමාන්‍යයෙන් කිතුල් පිටි සකස් කර ගන්නේ මල් පිපී අවසන් වීමෙන් පසුවයි. මුලින්ම මේ කිතුල් ගස කපාගෙන ගස පලා ගනු ලබනවා.මැද තියෙන කොටස නැත්නම් කිතුල් බඩය කපා ඉවත් කර  ගන්නවා.මේ ගත්තු කිතුල් බඩ කුඩා කැබලිවලට කපලා වංගෙඩියේ දමා කොටා ගන්නවා.හොඳින් කෙටුණාම වතුර භාජනයකට දාලා කලවම් කරලා මිරිකලා කෑලි ඉවත් කරගන්නවා.පසුව කිරි ගෝටුවක් ආධාරයෙන් වෙනත් භාජනයකට පෙරා පැයක් විතර නොසොල්වා තබාගනු ලබනවා.පසුව පිටි ටික භාජනයේ පතුලේ මිදුනම කැලැත්තෙන්නේ නැති විදියට වතුර ටික ඉවත් කර ගන්නවා.පසුව මේ පිටි ටික අව්වේ වියළා ගන්නවා.හොඳින් වේලුණාම අතින් පොඩිකරගැනීමේ හැකියාවක් තියෙන නිසා පොඩි කරගෙන අවශ්‍ය නම් පෙනේරයකින් හලාගෙන කිතුල් පිටි සකස් කර ගන්නට පුළුවන්. එදා ගැමි ජනතාව මේ කිතුල් පිටි හොඳින්ම වියළා දුම් මැස්සේ එල්ලා තිබීම සිරිතක්ව තිබුණා. එකල ඉවත් කැවිලි වර්ග සඳහා මිශ්‍ර  කරන්නට මේ කිතුල් පිටි යොදා ගත්තා.

කිතුල් පිටිවල වැඩි වශයෙන් පිෂ්ඨය අඩංගු අතර ඒ හැරුණාම කැල්සියම්, ප්‍රෝටීන්, පොස්පරස්, විටමින් B, ඛනිජ ලවණ සහ මේදය සුළු වශයෙන් අඩංගු වෙනවා. 

ඉතින් මේ විදියට සකස් කර ගන්නා කිතුල් පිටිවලින් සාදාගන්නා කිතුල් පිටි කැඳ ඉතා රසවත් වගේම ගුණයෙන් ඉහළයි. උදෑසන කිරිපිටි වීදුරුවක් පානය කරනවාට වඩා, දරුවන්ට ක්ෂණික ආහාර දෙනවා වෙනුවට කිතුල් පිටි කැඳ කෝප්පයක් පානයෙන් අපට සැලසෙන ප්‍රතිලාභ අති මහත්. නමුත් අවාසනාවට බොහෝ අයට උදෑසන කිරිපිටි කෝපය නැතුව දවස ආරම්භ කරන්නටත් බැහැ.

කිතුල් පිටි කැඳ මුලින්ම සාස්පානට පොල් ගෙඩියක පමණ කිරි දමා එයට රස අනුව ලුණු සීනි දමා ලිපේ තියන්න.කිරි ටික හැදිගාමින් පස්සවා ගන්න. පසුව කිතුල් පිටි වතුර ස්වල්පයක් අරගෙන එයට දියකර ගන්න. මේ සඳහා වතුර නැතිව දියකිරි භාවිතා කරන්නත් පුළුවන්. මේ විදියට සාදාගත් කිතුල් පිටි මිශ්‍රනය ලිපේ තියෙන පොල් කිරි භාජනයට ටිකෙන් ටික හැදිගාමින් එකතු කරගන්නවා. පසුව විනාඩි 5 ක් පමණ කැටි ගැසෙන්නට නොදී හැදිගාමින් පස්සවාගෙන පානය කරන්න.අවශ්‍ය නම් මේ කැඳ සඳහා කැකුළු සහල් ස්වල්පයක් වුණත් එකතු කර ගන්නට පුලුවන්.

කිතුල් පිටි කැඳ පානය කිරීමෙන් ලැබෙන ප්‍රතිලාභ 

  • රක්තහීනතාවයෙන් පෙලෙන අයට ඉතා ගුණදායකයි.
  • වෙහෙස මහන්සි වන අයට වගේම දුර්වල ශරීර ශක්තියක් ඇති අයටත් ඉතාම ගුණදායක  පානයක්.
  • ලොකු පොඩි සැමට ආහාර උත්තේජකයක් ලෙස ක්‍රියා කරයි.
  • රත් පිත නිසා ඇතිවන ක්ලාන්තය සුව කරයි.
  • අමිල පිත්ත රෝගීන්ට සහනය සලසයි.
  • දියවැඩියා රෝගීන්ට ගුණදායකයි.
  • ශරීරයේ දාහය නසලයි.
  • කෑම රුචිය වඩවයි.
  • ගැබිනි මව්වරුන්ට ගුණදායකයි.
  • අක්මා රෝග නසයි.
  • අධි රුධිර පීඩනය සමනය කර ආමාශගත තුවාල දුරු කරයි.
  • අර්ශස් රෝගීන්ට ඉතා යහපත්.
  • රෑට නින්ද නොයන අයට ඖෂධයක්.
  • පාන්ඩු තත්ත්වයෙන් මුදවා ගනියි.
  • ශරීරය පුෂ්ටිමත් කරයි.

සැලකිය යුතුයි.

  • කැස්ස, ඇදුම, හතිය, ඇති රෝගීන්ට කිතුල් පිටි කැඳ දිනපතා පානය කිරීම එතරම් සුදුසු නොවෙයි.

රසයෙන් වගේම ඖෂධීය වශයෙන් හා ඉහළ ගුණයක් සහිත කලවම් නොවූ කිතුල් පිටි සොයා ගැනීම නම් අභියෝගයක්. සියල්ලම මුදල් මතම තීරණය වීම නිසා වෙළෙන්දා කූඨ උපක්‍රම මේ සඳහා භාවිතා කරනවා. ඒ නිසා අද බොහෝදෙනාට ගුණයෙන් ඉහළ කිතුල් පිටි ලබා ගැනීම නම් මහත් ගැටළුවක්.