දණහිසේ වතුර පිරීමේ රෝගයට ආයුර්වේද පිළියම්

health tips

මිනිස් ශරීරයේ තියෙන විශාල සන්ධියක් තමයි දණහිස් සන්ධිය. මේ සන්ධියට මිනිසාගේ ශරීරයේ බර මෙන් තුන් ගුණයක් යොමුවෙනවා.මෙහි වට ප්‍රමාණය කුඩායි.ඒ නිසා අධික පීඩනයක් යොමුවීමෙන් දණහිසේ විවිධ ආබාධ හට ගන්නවා.දණහිස ආශ්‍රිතව ඇතිවෙන ගැටලුකාරී තත්ත්වයන් නිසා කාන්තා පිරිමි සැවොම මහත් පීඩාවට පත්වෙනවා. මේ වේදනාව නිසා එදිනෙදා කළ යුතු කරගන්නටවත් අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම දණහිසේ වතුර පිරීම කියන තත්ත්වයෙන් වැඩි වශයෙන් වයස අවුරුදු 40 ඉක්මවූ කාන්තාවන් පීඩා විදිනවා. මේ රෝගී තත්ත්වය ප්‍රමේහ රෝග ගණයට අයත් වෙන ආමය මුල්කරගෙන ඇතිවන තත්ත්වයක්.මේ රෝගී තත්ත්වය ඇතිවෙන්නට හේතු ගණනාවක්ම බලපානවා. ඒ අතුරින් පුද්ගලයා පීඩා විදින වෙනත් රෝග තත්ත්වයන් ද පාදක වෙනවා. ඒ නිසා ශරීරයේ වෙනත් රෝග සඳහා වූ ප්‍රතිකාර නිසිලෙස ලබා ගැනීම අවශ්‍ය වෙනවා.

දණහිසේ වතුර පිරීමට බලපාන හේතු 

අධික ස්ථුලතාවය ශරීරයේ බර වැඩිවීම නිසා දණහිසට ලැබෙන පීඩනය අධිකයි. මේ නිසා වැඩි වශයෙන් කාටිලේජ ගෙවී යන්නට පුළුවන්. ඒ නිසා මෙවැනි තත්ත්වයන් ඇතිවීමේ ඉහළ අවධානමක් පවතිනවා.

වැරදි ඉරියව් විශේෂයෙන්ම නිතර දණ ගැසීම වගේම වැඩි වේලාවක් සිටගෙන සිටීමත් මේ තත්ත්වය ඇති වෙන්නට බලපානු ලබනවා.

  • දියවැඩියාව 
  • ව්‍යායාම් නොකිරීම

කුඩා කාලයේදී වැඩි වශයෙන් ක්‍රීඩා කටයුතු කරන අයගේ වයසට යාමට පෙර මේ තත්ත්වයන් ඇතිවීමට හේතුවෙයි.

  • බර වැඩිවීම නිසා පාදවල බකල තත්ත්ව ඇතිවීම
  • ආමාවාතය 
  • රක්තවාතය 
  • කුඩ කාලයේ වැටීමෙන් ඇති වූ තැලීම් ආදිය 

රෝග ලක්ෂණ  මේ ලක්ෂණය දණහිසේ වතුර පිරීමේ මූලික ලක්ෂණයයි.

  • දනහිස ඉදිමීම 
  • නිතර ඇතිවන උණ ගතිය 
  • ඇඟපත වේදනාව 
  • දණහිස නැවීමේ අපහසුතාවය හා දණහිසේ තදබල වේදනාව 
  • ඇතැම්විට ඒ මේ අතට සෙලවීම් ඇතිවීම 

දණහිසේ ඇතිවන මේ තත්ත්වයන් එතරම් තැකීමකට නොගැනීමෙන් දණහිස් හන්දිය කොරවීමෙන් ඇවිදීමට පවා අපහසු වී කාලයක් ගතවෙත්ම ඔත්පලවීම සිදුවෙනවා. මොකද දණහිසේ වතුර පිරී තිබීම් ඉතාම හානිදායකයි. එයින් දණහිසේ ඇති කාටිලේජ විනාශ වී යාම සිදුවන නිසා. ඒ නිසා දණහිසේ වතුර ඉවත් කිරීම කළ යුතුයි.නමුත් දණහිසේ වතුර ඉවත් කළත් නැවත නැවත වතුර පිරීම සිදුවෙනවා. නමුත් එසේ නැවත වතුර පිරීම් තත්ත්වයක් ඇතිවෙන්නේ දණහිසේ යම් ගැටළුවක් ඇත්නම් පමණයි. එසේ නැවත දණහිසේ වතුර පිරීම වළක්වන්නට යම් යම් ඖෂධ වගේම ඊට සුදුසු වූ ව්‍යායාම් මාලාවක් වෛද්‍යවරුන් හඳුන්වා දෙනු ලබනවා. ඒවා නිසිපරිදි සිදු කිරීම රෝගියාගේ වගකීමක්.ඇතැම්විට යළි යළිත් දණහිසේ වතුර ඉවත් කිරීම නිසා දණහිසේ පවතින ආවරණකලාව වියළීමෙන් කොරවීම් පවා ඇතිවෙන්නටත් ඉඩකඩ පවතිනවා. ඒ නිසා මේ තත්ත්වය නොසලකා හැරීම හෝ සුළුවට ගැනීම ඉතාම භයානක විය හැකියි. 

කෙසේනමුත් බටහිර වෛද්‍ය ක්‍රමයේදී මේ රෝගය සඳහා යම් ඖෂධ ලබාදීමට පෙර දණහිසේ ඇති වතුර ඉවත් කරනවා. ඒ වගේම එන්නතක් දණහිසට ලබාදෙනවා. 

මේ රෝගය සඳහා ආයුර්වේදයේ වඩාත් සාර්ථක ප්‍රතිකර්මය ලෙස සඳහන් වන්නේ රෝගයට නොව රෝග නිදානයට ප්‍රතිකාර  කිරීමයි. නමුත් අද බොහෝ දෙනා දේශීය වෙදකම වගේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙන් බොහෝ දුරස්ව සිටින නිසා මේ පිළිබඳව බොහෝ අයට වැඩි විශ්වාසයක් නැහැ. නමුත් මේ දණහිසේ වතුර පිරීමේ රෝගයට සාර්ථකම ප්‍රතිකාරයන් ආයුර්වේදයේ පවතිනවා.

ආයුර්වේද ප්‍රතිකාර 

බඩ වියළීම වැළැක්වීමට කසාය ලබාදෙයි.

  • මේ රෝගී තත්ත්වය ඇතිවෙන්නට රක්තවාතය විශාල බලපෑමක් සිදු කරනු ලබනවා. ඒ නිසා රෝගය ඇතිවෙන්නට බලපාන හේතු නසාලීම සඳහා රක්තවාතයට ඉතාම ගුණදායක කසාය ලබාදෙනු ලබනවා.අරළු, බුළු, නෙල්ලි ,දුම්මැල්ල, රසකිද, කොහොඹ පොතු, රත් හදුන්,ඇහැළ පොතු, මදටිය දහය පමණ ගෙන 8-1 ට සිඳ පත භාගය බැගින් උදේ සවස පානය කිරීම.
  • ඉන් දින දෙකකට පසු ඉරමුසු, තීරුස්සවාලු, මුද්දරප්පලම්, වැල් කහබිලියා මුල්, සෙනෙහෙ කොළ, කටුකරෝසන,වියළි කහ,  පාවට්ටා මුල්,වෙනිවැල්ගැට ,නෙරෙංචි , කොහොඹ පොතු, අරළු,  කලං එක එගින් ගෙන 8-1 සිද පෙරා උදේ සවස සතියක්  පානය කිරීම. 
  • මස්, තෙල්, අන්නාසි, බල මාළු, තක්කාලි මුරුංගා වැනි උෂ්න ආහාරවලින් වැළකීම. බඩ වියළීම වළකන සිසිල් අහාර වර්ග ලබා ගැනීම.

සුවය සඳහා කළ හැකි දේ 

  • ශරීරය අධික ස්ථූල අයෙක් නම් ශරීරයේ බර අඩුකර ගැනීම 
  • වේදනාව අඩුකර ගැනීමට අයිස්වලින් තැවීම 
  • වැරදි ඉරියව් නිවැරදි ගැනීම
  • වැඩි වේලාවක් සිටගෙන සිටීම සහ නිතර නිතර පඩිපෙළවල් නැගීම බැසීම ආදිය අඩු කිරීම 
  • දණහිසට වැඩි බලපෑමක් දෙන ව්‍යායාම් කටයුතුවලින් ඉවත්වීම 
  • ශාරීරික ව්‍යායාම්වල යෙදීම 

මෙහිදී විශේෂයෙන්ම මාංශ පේෂී ශක්තිමත් කිරීම සඳහා වූ මාංශපේශී ඇදීමේ ව්‍යායාම්වල නිරත වීමයි වඩා වැදගත් වන්නේ.

  • උදෑසන සුදු ළූණු යොදා සකස් කරගත් ලුණු කැඳ පානය කිරීම
  • මුත්‍ර දෝෂ ඇත්නම් ඒ සඳහා නිසි ප්‍රතිකාර ලබා ගැනීම 
  • දියවැඩියා රෝගීන් රුධිරයේ සීනි ට්ටම පාලනය කරගැනීම කටයුතු කිරීම 
  • රාත්‍රී  ආහාර නැවත රත්කර ආහාරයට ගැනීමෙන් වැළකීම
  • බර ආහාර වර්ගවලින් වැළකීම   
  • දණහිස ඉදිමී වේදනාවක් ගෙනදෙයි නම් එවැනි අවස්ථාවල දණහිස තදින් ඇතිල්ලීම නොකිරීම 
  • තදබල ලෙස දණහිස ඉදිමී රතු පැහැ වී ඇත්නම් පුපුල කොළ, අමු කහ, ලුණු ස්වල්පයක් හා පොල් ටිකක් කොටා මලවාගෙන දවස 6 ක් බැඳීම සුදුසුයි.මෙය උදේ බැඳ සවස ලිහා දැමිය යුතුයි.
  • සියඹලා කොළ, පාවට්ටා කොළ, බෙලි කොළ සමවගෙන තම්බා මද රස්නය ඇති වතුරෙන් සේදීම.පසුව පිණ්ඩතෙල් ආලේප කර පිරිමදින්න. හැකි නම් වෙළුම් පටියකින් දණහිස ඔතා පාදය දිග හැර විවේකීව තබා ගන්න.
  • පාදයේ ඉතා වැදගත් සන්ධියක් වන දණහිස සම්බන්ධයෙන් ඇතිවන වේදනාවන්වලට එක් හේතුවක් තමයි දණහිසේ වතුර පිරීමේ තත්ත්වය.මේ තත්ත්වය සුළුකොට නොගෙන පමා නොවී වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමත් නිවසේදී සුවය සඳහා කළ හැකි දේවලට යොමුවීමත් මේ රෝගය භයානයක අදියරක් වෙත යාම වළක්වා ගන්නට පුළුවන්.