හිසකෙස් ගැලවී යාම මාස දෙකෙන් නතර කරන කෝප්ප කොළ මැල්ලුම සතු ගුණ 12 ක්

health tips

අපේ පැරැන්නන් ආහාරයට ගත්තු වස විස නැති විශේෂ ආහාරයක් තමයි කෝප්ප කොළ කියන්නේ. කාලෙන් කාලෙට මතුවෙන විවිධ මතවාද නිසා අපේ ආහාර වේලෙන් ඈත්වෙලා යන මේ රසවත් පලාව කාපු අය නම් දන්නවා රස කොහොමද කියලා. රස විතරක්ම නෙවෙයි කෝප්ප කොළවල ඇති ගුණය ගැනත් අපි දැනගත  යුතුමයි. ඔන්න ඒ නිසා අපි අද කතා කරන්නේ මේ අපූරු  පලාව ගැන.

අද වන විට විසිතුරු ශාකයක් ලෙසට වගා කරන කෝප්ප කොළ වර්ග දෙකක්  තියෙනවා. ඒ කොළ වර්ග දෙකම ආහාරයට ගන්නට පුළුවන්. එක් ශාකයක පත්‍රය තද කොළ පැහැයක් ගන්නවා වගේම පත්‍රය තරමක් විශාලයි. ඒ වගේම පත්‍රය තරමක් ගැඹුරුයි. අනිත් ශාකයේ  පත්‍රය කුඩා වගේම සුදු  පැහැ වයිරන්  ස්වභාවයකින් සමන්විතයි. මේ පත්‍ර දෙකේම වටේ දාරයේ කටු මෙන් රටාවක් දකින්නට පුළුවන්.  නමුත් මේවායින් බහුලවම ආහාරයට ගන්නේ කොළ පැහැ කෝප්ප කොළයි.

මේ පලාව කලවම් පලාවට එකතු කර ආහාරයට ගන්නට පුළුවන් වගේම ඇතැම් අය කොස් ඇට දමා මලවා ගන්නවා. තෙලටත් හරිම රසයට මේ පලාව පිළියෙල කර ගන්නට පුළුවන්. ඒ විතරක් නෙවෙයි හිසකෙස් ආශ්‍රිත ගැටළු බොහොමයකට මේ කෝප්ප කොළ ආලේපනයක් ලෙසටත් භාවිතයට ගන්නට පුළුවන්. විශේෂයෙන්ම හිසකෙස් අසාමාන්‍ය ලෙස ගැලවී යාම වගේම හිස්සොරි සුවකර ගන්නත් හිසකෙස්වල වර්ධන වේගය වැඩි කර ගන්නත් මේ කෝප්ප කොළ භාවිතයට ගන්නට පුළුවන්. මේ කෝප්ප කොළ කිහිපයක් පොල් තෙලේ ගිල්වා රැයක් තිබෙන්නට හැර උදෑසන ඒවා හොඳින් පොඩිකර නානු  ආකාරයට සකසා ගෙන හිස් කබලේ  ගල්වා සම්බාහනය කර පැයක් පමණ තබා සෝදා හැරීම ඒ සඳහා ප්‍රමාණවත්. මේ සත්කාරය සතියකට දෙතුන් වතාවක් කිරීමෙන් හොඳ ප්‍රතිඵල ලබා ගන්නට හැකි බවයි  පැවසෙන්නේ.

කෝප්ප කොළ ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ 

  • මුත්‍රා  රෝග සමනය කරයි.
  • තොල් පැලීම, විදුරුමස් රෝග සුව කරයි.
  • තුවාල සුවවීම ඉක්මන් කරයි.

බැක්ටීරියා  හා විෂබීජ නාශක ගුණයෙන් සමන්විත නිසා තුවාල ආසාදන තත්ත්වයන් ඉක්මනින් සුව කරන්නට එයින් හැකියාව ලැබෙනවා.

  • ඇස් පෙනීම වර්ධනය කරයි.
  • මලබද්දයට ගුණදායකයි.
  • පාචනය සමනය කරයි .

කෝප්ප කොළ සතු සුවිශේෂීම ගුණය වන්නේ පාචනය සුවපත් කිරීමයි. මේ අවස්ථාවේදී මල ඝනකම් කළත් එය මල බද්දයට හේතුවක් නොවන ලෙස මල බුරුල් කරන්නත් අපූරු හැකියාවක් කෝප්ප කොළ සතු වෙනවා.

  • ලේ වඩවයි.
  • දිව සහ තොල් පැලීමට ගුණදායකයි.
  • ශරීරයේ විෂ නසයි.
  • මව්කිරි වඩවයි. 

යකඩ බහුල කෝප්ප කොළ කිරිදෙන මව්වරුන්ට වගේම දරු ප්‍රසූතියෙන් පසුව ඇතිවන නීරක්තිය වළක්වා ගන්නටත් උපකාරී වෙනවා.

  • අධි  රුධිර පීඩනය ඇතිවීම වළක්වයි.

කෝප්ප කොළ මැල්ලුම 

අවශ්‍ය  ද්‍රව්‍ය  

  • පිරිසිදු කරගත් ලපටි කෝප්ප කොළ 
  • ගා ගත් පොල් 
  • ලියා ගත් අමු මිරිස් 
  • ලියාගත් රතු ළූණු  මිටක් 
  • ගම්මිරිස් කුඩු
  • උම්බලකඩ 
  • කහ සහ අවශ්‍ය පදමට ලුණු 
  • දෙහි යුෂ 

සාදා  ගන්නා ආකාරය සිහින්ව ලියාගත් කෝප්ප කොළ ටිකට  කපාගත් රතු ළූණු,  අමු මිරිස්, උම්බලකඩ, කහ ලුණු ආදියත් ගා  ගත් පොල් ටිකත් දමා කොළ පොඩි නොවන සේ අතින් හොඳින් කලවම් කරන්න.

මේ අනා ගත් මැල්ලුමට තෙල් මේස හැන්දක් පමණ එකතු කර කලවම් කර ලිපේ තබා මද ගින්නේ හොඳින් මලවා  ගෙන වෙනත් භාජනයකට මාරු කරන්න. නිවුණු  පසු දෙහි යුෂ ස්වල්පයක්  එකතු කර ආහාරයට ගන්න.

සැලකිය යුතුයි.

  • අඩු ප්‍රෙෂර් ඇති අයට මේ පලාව ආහාරයට ගැනීම සුදුසු නැහැ.
  • අධි  රුධිර පීඩනයට සඳහා ඖෂධ ලබා  ගන්නේ නම් කෝප්ප කොළ ආහාරයට ගැනීමත් නුසුදුසුයි.

විවිධ කටකතා  නිසා ආහාරයට නොගන්නා මේ ගුණවත් රසවත් පලාව අපේ පැරැන්නන්ගේ ආහාර වේල රසවත් කළ විශේෂ පලාවක් වුණා. ලෙඩ රෝග බොහොමයකට ගුණදෙන මේ පලාව සතියකට වරක් දෙවරක් හෝ ආහාරයට ගන්නට හැකි නම් එය අපේ දේහයේ පැවැත්මට ඉතා වටිනවා.