වැස්සට පින්නකට නොතෙමා මනා කොට
යට කර තබා කොස් නැති අවාරෙට
නිස්සට පොල් ගා තම්බා දවාලට
කොස් ඇට වැනි රසයක් හෝ හැබෑවට
අනාදිමත් කාලයක ඉඳලා ලාංකීය අපේ බඩ කට පිරවූ ගුණයෙන් ඉතාම ඉහළ ආහාරයක් තමයි කොස් ගස. කොස් ගසේ ගෙඩි, පනා මල්, කොස් කොළ, කොහොල්ලෑ ආදී සියල්ලක්ම ඉතාම ගුණදායක ආහාරයන් .ඉතින් මේ කොස් ගසේ බොහෝ දෙනෙක් නිසි ලෙස ඵළ ප්‍රයෝජන නොගන්නා කොටසක් තමයි කොස් ඇට. ගුණ දන්නා අය ඉතාම කැමැත්තෙන් ආහාරයට ගත්තත් තවත් බොහෝ අයට කොස් ඇට එතරම් ප්‍රියජනක ආහාරයක් වෙන්නේ නැහැ.
නිර්මාංශ අයට වගේම ලොකු පොඩි හැමෝටම අත්‍යවශ්‍ය පෝෂණ සංඝටකයක් තමයි ප්‍රෝටීන කියන්නේ. නමුත් ශරීරයට අවශ්‍ය කරන ප්‍රෝටීන ප්‍රමාණය ලබා ගන්නට බොහෝ දෙනෙක් උනන්දු වෙන්නේ මාංශමය ආහාර හරහා. නමුත් බිත්තර, මස්, මාළු, කිරි ආදිය හැරුණාම ඉතාම පහසුවෙන් අපේ ප්‍රෝටීන් අවශ්‍යතාවය නොඅඩුව ලබා ගන්නට හැකියාව තියෙන සුවිශේෂී ආහාරයක් තමයි මේ කොස් ඇට.

බිත්තර මස් මාංශවල ගණන් වැඩි වීමත් එක්ක දවසින් දවස අපි වැඩිපුර කතා කරන මාතෘකාවක් තමයි දරුවන්ගේ මන්දපෝෂණ තත්ත්වය. නමුත් අපේ රටේ ඵලදරන කොස් ගස් කොතරම් තියෙනවද. එහි ඵලදාව නිසි ලෙස ප්‍රයෝජනයට ගත්තොත් මේ මන්දපෝෂණය දුරු කරගන්නට අපිට හැකියාව ලැබෙනවා.
කොස් ගස්වල ඵලදාව හට ගන්නේ වසරේ එක්තරා කාලයකදී. නමුත් ඒවායේ ඵලදාව නාස්ති වෙන්න දෙන්නෙ නැතිව හරි අපූරුවට අරපිරිමැස්මෙන් වසර පුරාම භාවිතයට ගන්නට අපේ මුතුන් මිත්තන් දැනගෙන හිටියා. අටු කොස් විදියට වියළා තබා ගන්නා කොස් මදුළු වගේම වැලි කොස් ඇට වශයෙන් සකස් කර ගන්නා කොස් ඇටත් ඔවුන් වසර පුරාවටම ආහාරයට ගත්තා.
මේ සඳහා භාවිතයට ගන්නේ ඉදුණු වැල හෝ වරකා ගෙඩිවලින් ලබාගන්නා කොස් ඇට. මේ කොස් ඇට හොඳින් සෝදා තෙත ගතිය නැති වෙන්නට අව්වේ වේළා ගන්නවා. එදා තිබුණු ගැමි ගෙවල්වල ගොම මැටි ගාපු කුස්සියේ නොතෙමෙන බිත්ති දෙකක් එකක් එකතු වන මුල්ලක් මේ සඳහා තෝරා ගන්නවා. ඉන්පස්සෙ කොස් ඇට ටිකක් තුනී කර ඊට උඩින් වැලි ටිකක් දානවා. ඊට උඩින් වැලි තට්ටුවක් දානවා. ඔය විදියට කොස් ඇට ටික ඉවර වෙනකම්ම මේ විදියට තට්ටු විදියට තමයි තැන්පත් කරන්නේ. අවසානයේ උඩට එන්නෙ වැලි තට්ටුවක්. ඊට පස්සේ හුඹස් මැටි අනා ඒ මැටිවලින් අර වැලි දාපු කොස් ඇට සම්පූර්ණයෙන්ම වහනවා. මේ කොස් ඇටවලට කියන්නේ වැලි කොස් ඇට කියලා.කොස් අවාරයේදී මේ වැලි කොස් ඇට මුල්ලේ කොනකින් හාරලා කොස් ඇට ඉවතට අරගෙන භාවිතයට ගන්නවා.
හොඳින් පැසුණු කොස් ගෙඩියේ තියෙන ඇට බරයි. ඒ නිසා එය ජීර්ණය කරන්න තරමක් අපහසුයි. නමුත් මේ කොස් ඇට වැලි සහ මැටි කොටස් සමග එකතු කරගැනීමෙන් කොස්ඇට වියලෙන්නේ නැතිව සෛලීය ශ්වසනයට ලක් වෙනවා. ඉන්පසුව එය ලඝු ආහාරයක් එහෙම නැත්නම් සැහැල්ලු ආහාරයක් බවට පත්වෙනවා.
ඉතින් අපේ ගෘහණියන් ගෙදර දොරේ උයන පිහන අවස්ථාවලදී බොහෝ ව්‍යංජනවල රසය වැඩිකර ගන්නට නිතරම කොස් ඇට ටිකක් එකතු කරනවා නේ. නිවිති, සාරණ, තිබ්බටු, කෙසෙල් මුව, එලබටු, මෑ කරල් මැල්ලුම් කැකිරි වගේ එළවළුවලට බොහෝවිට තලාගත් කොස් ඇට එකතු කරනවා .එහෙම නැත්නම් කොස්ඇට පමනක් භාවිතයෙන් කොස් ඇට කළු පොල් මාලුව, ව්‍යංජනය හෝ මැල්ලුම් පවා සකස් කරගන්නවා. එහෙමත් නැත්නම් හොඳින් තම්බා ගත් කොස් ඇට පොල් එක්ක ආහාරයට ගන්නා එකත් ඉතාම ගුණදායකයි වගේම ඉතාම රසවත්. ඒ වගේම ගිනි අඟුරු මත පුලුස්සා ගත් කොස් ඇට සහ කබලේ බැද පැණි දමා ආහාරයට ගත හැකි කොස් ඇටවලත් රසය කියා නිම කරන්නට බැහැ. ඊට අමතරව කොස් ඇට භාවිතා කරලා කට්ලට්, දෝසි, අග්ගලා,බයිට්, ටොෆි ආදී රසවත් කෑමත් නිෂ්පාදනය කෙරෙනවා.
කොස් ඇට ආහාරමය තන්තු සහ ප්‍රතිරෝධී පිෂ්ඨයෙන් පොහොසත් ආහාරයක්.ඒ වගේම කොස් ඇටවල protein, මැග්නීසියම්, පොස්පරස්, විටමින් B1, B6, පොටෑසියම්, යකඩ, තඹර, ෆෝලික් අම්ලය, නියසින් ආදි පෝෂකත් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම කොස් මදුලුවල තිබෙනවාට වඩා කැල්සියම්, ප්‍රෝටීන්, මැග්නීසියම්, පොස්පරස් ආදී ඛනිජ ලවණ සහ විටමින් වර්ගත් පිළිකා ආදිය ඇතිවීම වළක්වන ප්‍රතිඔක්සිකාරකත් බෙහෙවින්ම කොස් ඇටවල අන්තර්ගත වෙනවා.

ඒ නිසාම නිර්මාංශ අයට ඉතාම ගුණදායක ප්‍රෝටීන බහුල ආහාරයක් වන කොස් ඇට බිත්තර කිහිපයක ගුණවලින්ද පොහොසත්.
කොස් ඇට ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ
ආහාර ජීර්ණය පහසු කරනවා.
රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම නියාමනය කරනවා.
රුධිරගත සීනි ප්‍රමාණය ඉහළ යාම පාලනය කරනවා.
මලබද්ධය වළක්වනවා.
බඩවැල්වල මනා ක්‍රියාකාරීත්වයට උදව් වෙනවා.
බඩවැල්වල පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.
හෘද රෝග ඇතිවීම වළක්වනවා.
ස්ථුලතාව පාලනය කරනවා.
අක්මාවේ නිසි ක්‍රියාකාරිත්වය සඳහා උදව් වෙනවා.
මොළයේ යහපත් ක්‍රියාකාරීත්වයට දායක වෙනවා.
පිළිකා ඇතිවීම වළක්වාගන්නවා.
ශරීර ශක්තිය වර්ධනය කරනවා.
රක්තහීනතාවය දුරුකරනවා.
සමේ සෞඛ්‍ය ආරක්ෂා කර දෙනවා.
හිස්කෙස්වල ශක්තිමත් බව වැඩි කරනවා.
රුධිර කැටි සෑදීමේ අවදානම අඩු කරනවා.
මාංශපේෂි වර්ධනය කරනවා.
කොස් ඇට ආහාරයට ගත්විට ඇතිවෙන්නට පුළුවන් අතුරු ආබාධය වෙන්නේ බඩේ හුලං පිරීම වගේ තත්ත්වයක් පමණයි. මෙතෙක් කොස් ඇට අනුභවයෙන් ඇතිවිය හැකි වෙනත් අතුරු ආබාධ ගැන සඳහන් වෙන්නේ නැහැ. ඒ නිසා ලොකු පොඩි හැමෝටම බිත්තර මස් මාළු අධික මිලකට අලෙවි වන මේ කාලයේ මන්දපෝෂණයට ගොදුරු නොවී ශරීරයට අවශ්‍ය පෝෂණය ඉතා පහසුවෙන් ලබාගන්නට හැකි හොඳම ආහාරයක් තමයි මේ කොස් ඇට.