අපි හැමෝම නිරන්තරයෙන්ම ප්‍රාර්ථනා කරන්නේ ලෙඩක් දුකක් නැති නීරෝගී ප්‍රීතිමත් ජීවිතයක්. ඉතින් ඒ සඳහා අපිට ස්වභාදහමෙන් හරි අපූරු ඔසු පැලෑටි දායාද කර තියෙනවා. එදා අපේ පැරැනන් ඒවා නිසි පරිදි ඒ ඒ අවස්ථාවලදී භාවිතා කළ නිසා අද අපිට නිතර අසන්නට ලැබෙන දියවැඩියා, පිළිකා, හදවත් රෝග, වකුගඩු රෝග එදා අසන්නට ලැබුණේ නැහැ. නමුත් අද තත්ත්වය ඊට වඩා හාත්පසින්ම වෙනස් .ඒ නිසාම අපිට නැවතත් ඒ පැරැන්නන්ගේ ආහාර පුරුදුවලට යන්නට සිද්ධ වෙලා තියෙනවා. නමුත් සෑම ඔසු පැලෑටියක්ම වගේ ප්‍රයෝජනවත් වුණත් ඇතැම් පලා වර්ග වගේම මේ වටිනා ඔසු පැල පමණ නොදෙන භාවිතා කළොත් ප්‍රතිඵල වඩාත් දරුණු වෙන්නට පුළුවන්. ඉතින් බොහෝ ලෙඩ රෝගවලින් වැළකී ඉන්නටත් ලෙඩ රෝග බොහොමයකට සුවය ලබා ගන්නටත් වටිනා ඔසු පැලෑටියක් වන කෝවක්කා කියන්නෙත් පමණ දැනගෙන භාවිතා කළ යුතු ආහාරයක් වගේම ඖෂධයක්.
වැල් වශයෙන් හැදෙන කෝවක්කා ගුණදායක ආහාරයක් වශයෙන් වගේම වටිනා ඖෂධයක්. ලපටි කෝවක්කා ගෙඩි කොළ පැහැයක් ගන්නවා. ඒවා ඉදුණු පසුව රතු හෝ තද රෝස පැහැයකින් සමන්විත වෙනවා. කෝවක්කා ගෙඩිවලින් ව්‍යංජන සකස් කර ගන්නවා වගේම කෝවක්කා ලපටි දළුවලින් සම්බෝල මැල්ලුම් වගේම කැඳ සකස් කර ගන්නවා. ඒ වගේම කෝවක්කා කොළ තැම්බූ ජලයත් ඉතාම ගුණදායකයි. වියළාගත් කෝවක්කා කොළවලින් ද ඖෂධීය පානයන් සකසා ගන්නට පුළුවන්. ඒ හැරුණාම හෙළවෙදකමේ දී මේ කෝවක්කා විවිධ රෝගවලට ප්‍රතිකාර කිරීමේදී භාවිතා වෙනවා.
කෝවක්කා සතුව විටමින් C, කාබෝහයිඩ්රේට්, කැල්සියම්, පොස්පරස්, ප්‍රෝටීන්, රයිබොෆ්ලේමින් ආදී පෝෂක බොහොමයක් අඩංගු වෙනවා. ඒ වගේම තන්තු බහුල ආහාරයක්.

කෝවක්කා ආහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන සෞඛ්‍යමය ප්‍රතිලාභ
- දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකයි.
- අක්මාවට හිතකරයි.
- ලාදුරු රෝගීන්ට ගුණදෙනවා.
- මලබද්ධය සුව කරයි .
- ශරීරගත වූ විෂ ඉවත් කරනු ලබයි
ඖෂධවල සංකූලතා සහ ආහාර මගින් විවිධ විෂ ශරීරගත වී අක්මාවේ ඇතිවන යම් යම් අසාමාන්‍ය ක්‍රියාකාරිත්වයට ගුණදායකයි.
- රක්තහීනතාවය දුරු කරනු ලබයි.
- වැඩිපුර මුත්‍රා පිටවීමේ රෝගය සුවපත් කරනු ලබයි.
- කැස්ස, ඇදුම, උණ ආදී රෝග සඳහා ගුණදායකයි.
- කාන්තාවන්ගේ ආර්තවයේදී අධික ලෙස රුධිරය පිටවීම අඩු කරයි.
- අකමවේ ඉදිමුම් තත්ත්වයන් සුව කරයි.
- කාන්තාවන්ගේ සුදයාමේ රෝගය සඳහා ගුණදායකයි .
- අස්ථි ශක්තිමත් කරයි
- සිරුරේ ප්‍රතිශක්තිය පාලනය කරයි.
- හදවතේ සහ වකුගඩුවල නීරෝගී බව සහ යහපැවැත්මට උදව් වෙයි.
- රුධිරය පිරිසිදු කරයි.
- සමේ රෝග සුව කරයි.
- අමිල පිත්ත රෝගයට ඉතාම ගුණදායකයි.
- කුසගිනි වඩවයි.
- ලේ පීනස සඳහා ගුණදායකයි.
- මුඛ රෝග සඳහා ගුණදායකයි.
- අර්ශස් රෝගයට ගුණදායකයි.
- සමේ ඇතිවන දද කුෂ්ඨ සුව කරයි.
කෝවක්කා කොළවල ඖෂධීය භාවිතයන්
- සමේ දද කුෂ්ට ආදිය සඳහා මේ සඳහා කෝවක්කා කොළවල යුෂ ගෙන ආලේප කිරීමෙන් සුවයක් ලබා ගන්නට හැකියි.
- මුඛ දුර්ගන්ධය ඇති කර ගැනීමට මුඛයේ තුවාල සහ මුඛ දුර්ගන්ධය දුරු කර ගැනීම සඳහා කෝවක්කා කොළ යුෂවලින් මුඛය සේදීම වැදගත්.
- කල්ගත වූ කැස්ස සඳහා කෝවක්කා කොළ කෂාය කර මී පැණි දමා දින කිහිපයක් පානය කිරීමෙන් ගුණ ලැබෙනවා.
- මුත්‍රා ගල් නිසා ඇතිවන වේදනාව සමනය සඳහා කෝවක්කා කොළ වෙඩි ලුණු සමඟ අඹරා පැලැස්තර දැමීම සුදුසුයි.

කෝවක්කා සම්බෝලය ලපටි කෝවක්කා දළු හොඳින් සෝදා වතුර වියළුණාට පසුව සිහින්ව ලියා ගන්න. රතු ළූණු මිටක් පමණ ගෙන සිහින්ව ලියා ගන්න. ලියාගත් රතු ළූණුවලට ගම්මිරිස් කුඩු තේ හැදි කාලක්, ලුණු අවශ්‍ය ප්‍රමාණයට සහ ගා ගත් පොල් එකතු කර ගන්න. එයට දෙහි ගෙඩියකින් ස්වල්පයක් ද දමා හොඳින් මිශ්‍රකර ගෙන ඒවා කොළ මිශ්‍රණයට දමා පොඩි නොවන සේ මිශ්‍රකර ගන්න. අවශ්‍ය නම් මේ සම්බෝලය සඳහා අමු මිරිස් කරල් 2 ක් ද එකතු කර ගන්න.
සැලකිය යුතුයි.රුධිරයේ සීනි මට්ටම පහත හෙලන්නට කෝවක්කාවලට හැකියාව ඇති නිසා දිනපතාම කෝවක්කා ආහාරයට ගැනීමෙන් වළකින්න. ඒ වගේම කෝවක්කා සම්බෝලය සකසා ගනිද්දි එයට වෙනත් පලාවක් එකතු කිරීමක් හෝ පොල් එකතු කිරීම මගින් සීනි එක්වරම අඩුවීමේ තත්ත්වය අඩුකර ගන්නට පුළුවන්.දියවැඩියා රෝගියෙක් වුණත් කෝවක්කා ආහාරයට ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබා ගන්න.
කෝවක්කා කියන්නේ නීරෝගීව ජීවත් වෙන්නට අපි ගත යුතුම පලාවක්. නමුත් තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත්වෙමින් මේවා ආහාරයට ගන්නට මතක තබා ගන්න.