සතියකට වතාවක් නිල් කටරොළු පානය කිරීමට හේතු 11 ක්

health tips

නිල් කටරොළු කියන්නේ නිවෙස්වල අලංකාරයට වවන වටපිටාවෙත් නිතර හැදෙන සුලබ මල් වර්ගයක්. එහි ඇති සුන්දර බව නිසාම බොහෝදෙන එය වගා කළත් මේ නිල් කටරොළු මල් ඈත අතීතයේ පටන්ම ආයුර්වේද වෛද්‍ය  විද්‍යාවේ ඖෂධයක් ලෙස භාවිතයට ගෙන තියෙනවා.  ඒ විතරක් නෙවෙයි කෘෂිකර්මාන්තයේදී  කෘමි විකර්ශකයක් ලෙසත්  නයිට්‍රජන් අඩු පසකට නයිට්‍රජන් ලබාදීමේ ප්‍රභවයක් ලෙසත් මේ නිල් කටරොළු භාවිතයට ගෙන තියෙනවා. නමුත් අද බොහෝදෙනෙක් ඒ මලේ ඇති ඖෂධීය වටිනාකම පිළිබඳව දැනුවත් නැහැ. නමුත් අපේ වැඩිහිටි ප්‍රජාව ලෙඩ රෝග දුරුකර ගන්නට නීරෝගීව සිටින්නට මේ නිල් කටරොළු මල් ප්‍රයෝජනයට ගෙන තියෙනවා. ඉතින් මේ නිල් කටරොළු මල් ආහාරයට ගැනීමෙන් අද බොහෝදෙනා පීඩා විදින රෝගවලින් සුවයක් සහනයක් සලසා ගන්නට හැකියාව පවතිනවා. ඒ නිසාවෙන් අද අපි කතා කරන්නේ මේ නිල් කටරොළු සතු අපූරු ගුණයන් පිළිබඳව.

රනිල කුලයට අයත් මේ කටරොළු මලට නිල් පැහැය ලැබී තියෙන්නේ ඇන්තොසයින් කියන වර්ණකය හේතුවෙන්. මේ නිල් පැහැය ආහාර පිසීමේදී ඒවා වර්ණ ගැන්වීම සඳහා ස්වභාවික වර්ණකයක් ලෙසත් භාවිතයට ගැනෙනවා. ඒ වගේම මේ නිල් කටරොළු මල් සතු ඖෂධීය වටිනාකම නිසාම එය ආහාරයට එකතු කරගත හැකි රෙසිපි බොහොමයක්ම තියෙනවා. ඇතැම් රටවල මේ නිල් කටරොලු වැලේ හට ගන්නා කරල් ව්‍යංජනයක් ලෙසත්, ඇතැම් රටවල නිල් කටරොළු මල් තෙලේ බැද පපඩම් ලෙසත් එදා ඉතා රසවත්ව ආහාරයට එකතු කර ගන්නවා. වෛද්‍ය විද්‍යාවේදී මේ කටරොළු ශාකයේ මල්, කොළ, මුල්, ඇට පොතු යන පංචාංගයම ගන්නවා.කොහොමවුණත් ඒ රසවත් ගුණවත් ආහාරය පමණ ඉක්මවා නොගෙන භාවිතයට ගන්නේ නම් එය සිරුරට අහිතකර තත්ත්වයන් ඇති කරන්නේ නැහැ. 

නිල් කටරොළු මල් පානයෙන් ලැබෙන ප්‍රතිලාභ

  • සෙම්ප්‍රතිෂ්‍යාව හා  කැස්ස සුව කරනවා.කැස්ස, ඇදුම සෙම්ප්‍රතිෂ්‍යාව ආදී රෝග තත්ත්වයන් සුව කරගැනීම සඳහා කටරොළු මල් ඉතාම ගුණදායකයි. මේ කටරොළු මුල් වියළා කුඩු කරගෙන  පවුඩර් ලෙස දිනකට ග්‍රෑම් 1-3 ත් අතර ප්‍රමාණයක්  උණු ජලයට මිශ්‍රකර  පානය කිරීම මගින් මේ රෝග තත්ත්වයන් ඉතා ඉක්මනින් සුව කර ගන්නට හැකියාව තියෙනවා. ඒ වගේම සෙම් රෝග සඳහා මේ වියළා ගත් කටරොළු මුල් භාවිතයෙන් දුම් ඇල්ලීමත් ඉතාම ගුණදායකයි.  ඒ වගේම කටරොළු වැලේ පංචාංගයම තම්බා ගත් කසාය පානයෙන් ශරීරයේ ඇති සෙමත් ඉතා පහසුවෙන් සුවකර ගන්නට පුළුවන්.
  • සිරුරේ විෂ ඉවත් කරනවා. සර්ප දෂ්ටනයන්, කෘමි දෂ්ටනයන් ආදි ශරීරයට විෂක් ඇතුළු වුණාම ඒ විෂ නැති කරන්නට හැකියාවක් මේ නිල් කටරොළුවලට තියෙනවා. කටරොළු  මුලක් දෙහි ඇඹුලෙන්  අඹරා ඒ  යුෂ පානය කිරීම මගින් ශරීරයේ ඒ විෂ ඉතා ඉක්මනින් නාශනය වී යනවා.
  • මානසික ආතතිය ඇතුළු උන්මාද රෝග, පිස්සු බලු රෝග ආදිය සඳහා ගුණදායකයි.මානසික ආතතිය දුරු කිරීමේ හැකියාවක් නිල් කටරොළු සතු වෙනවා. උන්මාද රෝගය ඇති අයෙක්ට එළ කටරොලු යුෂ  හාල්පානු වතුර සහ  එළගිතෙල් මිශ්‍රකර  පානයට දීම ඉතාම  සුදුසුයි.
  • වඳභාවය දුරු කරනවා.ස්ත්‍රී  සහ පුරුෂයන්ගේ වඳභාවය නැති කිරීමේ හැකියාවක් මේ නිල් කටරොළු සතු වෙනවා. ඒ වගේම ස්ත්‍රීන්ගේ ගර්භාෂ රෝගවලටත්, ආර්තව වේදනාවලදීත් මේ නිල් කටරොළු මල් කෂාය ඉතාම ගුණදායකයි.
  • අර්ශස් ගෙඩිවලට සහනය සලසනවා. සම්පූර්ණ කටරොළු ශාකය ගලේ අඹරා තල්පයක් සේ සකසා අර්ශස් ගෙඩිවල ආලේප කිරීමෙන් අර්ශස් ගෙඩි නිසා ඇතිවන වේදනාවෙන් සහනයක් ලබා ගන්නට පුළුවන්. 
  • තද හිසේ කැක්කුම් සුව කරනවා.තද හිසේ කැක්කුමක් ඇති විටක එයින් ක්ශණික සහනයක් ලබා ගන්නට මේ කටරොළු ශාකය භාවිතා කරන්නට පුළුවන්. කටරොළු ශාකයේ කොළ කිහිපයක්  අඹරා එයින් යුෂ බින්දු 2 ක්  ගෙන එය නාසයෙන් ඉහළට ඇදීමෙන් සුවයක්  ලබන්නට පුළුවන්.
  • සුදු කබර රෝගය සුව කරනවා.කටරොළු ශාකයේ මුල් ගෙන හොදින් ගලේ අඹරා  ද්‍රාවණය සුදු කබර මත  ආලේප කිරීමෙන් ඒවා සුවකර ගන්නට හැකියාව ලැබෙනවා.
  • ආමාශගත තුවාල සුව කරනවා.මේ සඳහා  නිල් කටරොළු වියළි මුල්, පොතු  හොඳින් අඹරා තලපයක් ලෙස සාදා  මී පැණි සහ ගිතෙල් සමඟ  ආහාරයට ගැනීම සුදුසුයි.
  • ශරීරයේ වේදනා හා ඉදිමුම් සුව කරනවා.
  • තරුණ පෙනුම රැක දෙනවා.
  • පිළිකා නසනවා.

නිල් කටරොළු පානය නිවැරදිව සකසා ගන්නා ආකාරය 

1 . අවශ්‍ය ද්‍රව්‍ය 

  • වියළාගත් නිල් කටරොළු මල් දෙකක් තුනක් පමණ 
  •  දෙහි බෑයක් 
  •  පිරිසිදු ජලයෙන් සාදාගත් අයිස් කැට 
  • උණු ජලය 

මුලින්ම උණු අලය මිලි ලීටර් 100 කට වියළා ගත් නිල් කටරොළු මල් 2ක් හෝ 3 ක්  දමා විනාඩි 10 ක  කාලයක් තැම්බෙන්නට තබන්න. ඉන්පසුව මෙය පෙරා ගෙන ශීතකරණයේ තබා අයිස් බවට පත් වෙන්නට හරින්න. ඉන්පසුව වීදුරුවෙන් භාගයක් ජලයෙන් සාදාගෙන කුඩු කරගත් අයිස් කැට වලින් පුරවා ගන්න.  එයට දෙහි බෑයක යුෂ එකතු කර අයිස් කියුබ්වලින් සකස් කරගත් අයිස් කැට කුඩු කර එකතු කර පානය කරන්න.

2 .වියළා  ගත් නිල් කටරොළු මල් 3-4 ක් වීදුරුවකට දමා එයට නටන උණු ජලය එකතු කර විනාඩි 5 ක් පමණ කාලයක් තබන්න. ඉන්පසුව එයට රස අනුව සීනි එකතු කර මල් ඉවත් කර ගෙන එයට දෙහි යුෂ එකතු කරන්න. අවශ්‍ය නම් පෙගෙන්නට දැමූ කස කසා ඇට ස්වල්පයක් ද එකතු කර ගන්න.

සැලකිලිමත් වන්න මේ පානය දිනපතා ගැනීමෙන් අහිතකර බලපෑම් ඇති වෙන්නට හැකි නිසා සතියට 3-4 වරක් ගැනීම සුදුසුයි.වෙනත් රෝගවලින් පෙළෙන අයෙක් නම් හෝ ඖෂධ ලබා ගන්නා අයෙක් නම් මේ පානය ගැනීමට පෙර වෛද්‍ය  උපදෙස් ලබා ගන්න.