අතීතයේ පටන් අක්මා රෝග  සහ පණු රෝග නසන්න ගත් කුඹුරු ශාකයේ ගුණ

health tips

 ඒ කාලේ වැඩිහිටියන් දරුවන්ගේ පණු අමාරුවලට අද වගේ බටහිර ඖෂධ භාවිතයට ගත්තේ නැහැ නේ. ඉතින් ඒ නිසා කොහොමහරි වදෙන් පොරෙන් පොවා ගත්ත පණු රෝගවලට කියාපු බෙහෙතක් ගැන තමයි අපි අද කතා කරන්නේ. මේ  අත් බෙහෙත සකසා ගන්නට භාවිතා කරන ඖෂධය තමයි කුඹුරු ඇට. කුඹුරු ඇට විතරක් නෙවෙයි මේ කුඹුරු ශාකයේ අනෙක් සියලුම කොටස් ඖෂධීය වශයෙන් ඉහළ වටිනාකමකින් යුක්තයි. නමුත් අද බහුතරයක් දෙනා මේ ශාකය පිළිබඳව දන්නේ නැහැ. ඒවා දැකලත් නැහැ. ඒවායේ ඖෂධීය වටිනාකම් ගැන දන්නෙත් නැහැ. ඒ නිසාවෙන් අපි  කල්පනා කළා  මෙන්න මේ කුඹුරු ශාකය අපිට කොතරම් වැදගත් ද කියලා ඔබත් එක්ක කතා කරන්න.

 මේ කුඹුරු ශාකය දකින්නට ලැබෙන්නේ වැලක් විදිහට. නිවර්තන කලාපීය මුහුදු බඩ ප්‍රදේශ ආශ්‍රිතව සුලබවම මේ පැලෑටිය දැකගන්නට පුළුවන්  කුඹුර වැලේ කද බූව සහිතයි. ඒ වගේම තමයි කෙටි සහ දිගු කටු රාශියක් පිහිටලා තියෙනවා. මේ කටු එක ළඟින් දෙකක් ඇතුලට පොඩි නෙරීමක් සහිතව තමයි පිහිටලා තියෙන්නේ. මෙහි පෙති පහක් සහිත කහ පැහැ මලක් හටගන්නවා. ඵලය කුඩා නටුවක් සහිත කරලක්. මේ කරල ඇතුලේ සුදු පැහැයට හුරු අළු පැහැයක් ගන්නා බීජ 1- 3 ත් අතර ප්‍රමාණයක් දැකගන්නට පුළුවන්.

 මේ කුඹුරු ශාකය නම් කිහිපයකින්ම හදුන්වනවා. ඒ අතරේ මෙහි පිට පොත්ත සුදු පැහැති වටකුරු ස්වභාවයක් ගන්නා නිසා ඒ කුඹුරු වැඩ යක්ෂයාගේ ඇසට සමානකර  දක්වලා තියෙනවා. ඒ නිසා මේ කුඹුරුවලට සමාන නමක් විදිහට කුභෙරාක්ෂ  කියන නාමයත් භාවිතයට ගැනෙනවා .

මේ කුඹුරු වැලේ ඇට,දළු,  කොළ, මල්, මුල් ඇතුළු සම්පූර්ණ ශාකයම භාවිතයට ගැනෙනවා විවිධ රෝග සුවපත් කර ගැනීම උදෙසා. විශේෂයෙන්ම චූර්ණ, ක්වාත, තෛල ආදී වර්ග රාශියකට හෙළ වෛද්‍ය විද්‍යාව තුළ මේ කුඹුරු ශාකය භාවිතයට ගැනෙනවා. අද වෙද්දි මෙය  ඖෂධයක් වශයෙන් භාවිතයට ගැනීම දැක ගැනීම ඉතා අඩු වුණත් දේශීය වෙදකමේදී බොහෝ රෝගවලට ප්‍රතිකාර කිරීම්දී නැතුවම බැරි අපූරු ඖෂධීය වටිනාකමක් මේ ශාකය සතු වෙනවා. 

කුඹුරු ශාකයේ ගුණ   

පණු රෝග සඳහා ගුණදායකයි.

කුසගිනි වර්ධනය කරයි.

රුධිරය පිරිසිදු කරයි.

මුත්‍රා කාරක ගුණ සහිතයි.

දද කුෂ්ට ආදිය නැති කිරීමේ  ගුණයෙන් යුක්තයි.

අක්මා රෝග , ප්ලීහාව ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර පිණිස භාවිතයට ගනියි.

ඇදුම සහ බරවා රෝගය සුවපත් කරයි. සඳහා කුඹුරු කොල යුශ ගෙන පානයට ලබා දෙනවා. මේ  ප්‍රතිකර්මය ක්ෂය රෝගීන්ටත්  ඉතාම සුදුසුයි. 

ඉදිමුම්, උණ ආදී රෝගවලට ප්‍රතිකාර පිණිස භාවිතා කෙරෙයි.

මුඛ රෝග, අජීර්ණ, උපදංශ, උදරාබාධ වමනය ආදිය වැළැක්වීමේ හැකියාවෙන් යුක්තයි.

ඖෂධීය භාවිතය  

ඇදුම සහ බරවා රෝගය සඳහා 

මේ සඳහා කුඹුරු කොල යුශ ගෙන පානයට ලබා දෙනවා. මේ  ප්‍රතිකර්මය ක්ෂය රෝගීන්ටත්  ඉතාම සුදුසුයි

පණු රෝග සඳහා

 කුඹුරු ඇටවල මද ඉඟුරු, සුදුලූනු, වළඟසාල්, සුනු වත් කර කෝපි මෙන් පානය කිරීම හෝ කෂාය ලෙස භාවිතයට ගැනීම පණු රෝග සුවපත් කරගන්නට ලොකු කුඩා හැමෝටම ඉතාම ගුණදායකයි.

ඒ වගේම දෙහි දළු ,කුඹුරු දලු, කොට්ටං, උණු අළුපල්ලේ තම්බා යුෂ මිරිකා පානයට දීම පණු රෝග සඳහා ඉතාම ගුණදායකයි.

කුඹුරු දලු, දෙහි දළු, නික දලු, පාවට්ටා දළු, කුප්පමේනියා, ඉගුරු, සුදුලූනු, වංගෙඩියේ දමා හොඳින් කොටා කෙසෙල් කොළයක ඔතා උණු අළු පල්ලේ තම්බා ඇඹුල් දොඩම් යුෂ දමා මිරිකා මාස හයකට වරක් දරුවන්ට ලබාදීම එදා ගම්මුන් සිදු කළේ මේ පණු රෝගවල වලින් දරුවන් ආරක්ෂා කර ගන්නටයි. 

වලඟ සහල්, කුඹුරු ඇට ම, අරළු, කොහොඹ පොතු, සුදුලුනු, බටු මුල්, කලාඳුරු, කටුවැල් බටු කලං එකහමාර බැගින් ගෙන් පත හතර පත භාගයට සිඳ සීනි මී පැණි දමා උදේ සවස ලබාදෙන්න. මෙය කුඩා දරුවන්ගේ පණු ගායට ඉතාම ගුණදායකයි. 

කනෙන් ශ්‍රාව ගැලීමට, ආමවාතයට සහ සන්ධි ඉදිමුම් සඳහා

 කුඹුරු ඇටවල මද ගෙන ඒවා නිස්සාරණය කර ගැනීමෙන්  සකස් කරගන්නා තෙල් මේ රෝග තත්ත්වයන් සඳහා ඉතාම ගුණදායකයි. ඒ තෙල් අදාළ ස්ථානවල ආලේප කිරීමෙන් ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්.

මුඛ සෞඛ්‍යය ගැටලු සඳහා

 මුඛය ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් සුවපත් කර ගැනීමට දත් පිරිසිදු කර ගැනීමට, දත්  බෙහෙත් නිෂ්පාදනයට කුඹුරු ඇට මද භාවිතා කරන්නට පුළුවන්. කුඹුරු ඇට මද සහ කරුන්කා පුළුස්සා සීනක්කාරම් එකතුකර සියුම්ව අඹරා දත් මැදීම සඳහා භාවිතා කිරීමෙන් මුඛය ආශ්‍රිත ගැටළු සුවපත් කරගන්නට පුළුවන්. 

ඉදිමුම් සඳහා

 කුඹුරු ඇට මද එඩරු තෙලෙන් අඹරා ඉදිමුම් සහිත ස්ථානවල ආලේප කිරීමෙන් සහනයක් සලසා ගන්නට පුළුවන්.

අජීර්ණය සඳහා 

කුඹුරු ඇට මදය වෙන්කර ගෙන එයට පෙරුම්කායම්  ස්වල්පයක් එකතු කර ලබාදීමෙන් අජීර්ණ තත්ත්වය සුවපත් කරගන්නට පුළුවන්.   

වමනය සහ උදරාබාධ සඳහා 

 කුඹුරු ඇට මද ස්වල්පයක් පමණ සහ කරාබු නැටි දෙක තුනක් ඇල් ජලයෙන් අඹරා ආහාරයට ගැනීමෙන් උදරයේ ඇති වේදනාව සමනය කරගැනීමට සහ වමනය සුවපත් කර  ගැනීමට හැකියාව ලැබෙනවා.

ඉතින් මේ කුඹුරු ඇට නිරෝගීව ජීවත් වෙන්නට අපිට උදව් වෙන වටිනා ශාකයක් බව අපි හැමෝම දැනගත යුතුයි.