අපි සිංහල සංස්කෘතිය තුළ නැතිවම බැරි හරි අපූරු ආහාරයක් තමයි කිරිබත් කියලා කියන්නේ. ඕනෑම සුබ කටයුත්තකදී දුගී පැලේ සිට රජ මන්දිරය දක්වා සෑම ස්ථානයකම තමන්ට පුලු පුලුවන් විදිහට කිරි බතක් සකස් කරගන්නවා. ඕනෑම සුභ කටයුත්තකදී කිරිබත් සකස් කරන එක එක්තරා විදිහකට චාරිත්‍රයක් වුණාට කිරිබත් අපේ ශරීරයට ලබාදෙන වාසි කන්දරාව ගැන වැඩි දෙනෙක් නම් හිතන්නේ නැතුව ඇති .
පොල් කිරි දමා සකසා ගන්නා කිරිබත් කෙසෙල්, කට්ට සම්බෝල සහ කිතුල් හකුරු වගේ දේවල් එක්ක ආහාරයට ගන්න අපි හැමෝම කැමතියි. ඒත් මම අද කියන්න යන්නේ නම් මේ අපි හැමදාම හදන සාමාන්‍ය කිරිබත ගැන නම් නෙමෙයි. සාමාන්‍ය කිරිබත් හැරුනහම ඉබුල් කිරිබත්, මුං කිරිබත් ,ලබු කිරිබත් ආදී මෙකී නොකී කිරිබත් වර්ග බොහොමයක්ම විවිධ රෙසිපිවලට අනුව විවිධ රසයෙන් පිළියෙල කරගෙන ආහාරයට ගන්න පුළුවන්.ඉතින් ඔන්න අපි අද කතා කරන්නේ නම් දියලබු භාවිතා කරලා සකස් කරන හරි අපූරු ගුණවත් කිරිබතක් ගැන.
පොදුවේ ගත්තහම කිරි බත්වල ගුණ කිහිපයක්ම තියෙනවා.
- සිසිල් ගුණයෙන් යුක්තයි.
- අමිල පිත්ත රෝගය සුව කරයි.
- පිත පාලනය කරයි.
- ශරීරයේ උෂ්ණත්වය පාලනය කරයි.
- අර්ශස් රෝගීන්ට ගුණදායකයි.
- මලබද්ධය සමනය කරයි.
- මුහුණේ ඇතිවන කුරුලෑ උෂ්ණ බිබිලි ආදිය පාලනය කරයි.
- සමේ රෝග නැතිකරයි .
- මුත්‍රා දැවිල්ල සුව කරයි.
ඉතින් අද අපි කිරිබත් සකස් කිරීමේදී පොල්කිරි හැරුනහම වෙනත් කුළුබඩු එකතු කරන්නෙ හරිම අඩුවෙන්. නමුත් සාමාන්‍යයෙන් හොඳ පෝෂණීය කිරිබතක් සකස් කරද්දි නම් උක් හකුරු, වියලි මිදි, කජු, එනසාල් කොත්තමල්ලි කොළ, සුදුලූනු, ගිතෙල්, තල ආදී මෙකී නොකී අමුදව්‍ය බොහොමයක්ම එකතු කරනවා. මේවා භාවිතයෙන් සකස් කෙරෙන කිරිබත් රසයෙන් වගේම ගුණයෙනුත් ඉතාම ඉහළයි. විශේෂයෙන්ම අපේ මුතුන් මිත්තන්ගේ කාලයේ කිරිරිබතේ ගුණය වැඩි කරගන්නට අනිවාර්යයෙන්ම ගිතෙල් මිශ්‍ර කිරීමත් සිදු කළා.
ගිතෙල් මිශ්‍ර කිරිබත් ආහාරයට ගැනීමෙන් ධාරණ ශක්තිය සහ ශරීර ශක්තිය වර්ධනය වෙනවා.ඇස් පෙනීම වර්ධනය වෙනවා. අලස බව දුරු වෙලා ක්‍රියාශීලී බව ඇතිකරනවා .සාමාන්‍යයෙන් කිරිබත් ආහාරයට ගැනීමෙන් පස්සේ ස්වල්ප වෙලාවක් නිදිමතක් එන එක නම් සාමාන්‍ය දෙයක්. ශරීරය ජීර්ණය වුණාට පස්සේ ඒ තත්ත්වය මගහැරිලා ශක්තිමත් බවක් ලැබෙනවා. ඉතින් දැන් අපි කතා කරන ලබු කිරිබත් ගැන .
සාමාන්‍යයෙන් සකස් කරන කිරිබතට ලබු එකතු කිරීමෙන් තමයි මේ ලබු කිරිබත් සාදාගන්නෙ. ලාංකීය අපේ ආහාර ලැයිස්තුවේ එතරම් ආහාරයට නොගන්නා තවත් එක් ආහාරයක් තමයි දියලබු කියලා කියන්නේ. 92%ක් පමණ ජලය අඩංගු වෙන ලබුවල කැලරි අඩංගු වෙන්නේ ඉතාම අඩුවෙන්. ඒ වගේම මේ දියලබුවල යකඩ, කැල්සියම්, පොස්පරස් සහ විටමින් වර්ග බහුලවම අඩංගු වෙනවා. දේශීය වෙදකමේ දී ලබු ගෙඩි සහ ඒවායේ මල්, ඇට සහ කොළ ඖෂධ සඳහා භාවිතයට ගන්නවා. දියලබු ව්‍යංජනයක් විදිහට ආහාරයට ගන්නට අකමැති අයට මේ පෝෂදායි ආහාරය ලබා ගන්නට පුලුවන් හොදම ක්‍රමයක් තමයි ලබු භාවිතා කරලා කිරිබත් සකස් කරගන්නා එක.
මුලින්ම ලබුවල ඇති අපූරු ගුණ ගැන දැනගනිමු.

- ශරීරයේ සීනි මට්ටම සහ රුධිර පීඩනය නියමිත මට්ටමක පවත්වාගෙන යන්නට උපකාර වෙනවා.
- නින්ද නොයාමේ ගැටලුවෙන් පීඩා විඳින අයට ගුණදායකයි.
- මානසික ආතතිය පාලනය කරනවා.
- තන්තු බහුල නිසා මලබද්ධය වළක්වනවා.
- ශීතල ගුණයෙන් යුක්ත නිසා ආමාශයේ ආම්ලිකභාවයට දුරු කරල ගෑස්ට්‍රයිටීස් රෝග සඳහා සුවය සලසනවා.
- මුත්‍රා පෙරීම ක්‍රමවත් කරන නිසා මුත්‍රා දැවිල්ලට ගුණදායකයි.
- කොලෙස්ටරෝල් පාලනය කරනවා.
- හදවත ශක්තිමත් කර හදවත් රෝගවලින් ආරක්ෂාව සලසනවා.
- ශරීරයේ බර අඩු කර ගන්නට උදව් කරනවා.
- මව්කිරි වර්ධනය කරනවා.
- මුත්‍රා ගල් දිය කර හරින්නට උපකාරී වෙනවා.
- අක්මා සෛල අලුත්වැඩියාව සඳහා උපකාරී වෙනවා.
- ලේ පිරිසිදු කරනවා.
- ස්නායු රෝගවලට ගුණදායකයි.
ලබු කිරිබත් හදාගන්නෙ කොහොමද

අවශ්‍ය ද්‍රව්‍ය
- දියලබු ගෙඩියකින් කොටස
- කැකුළු සහල්
- උකු පොල් කිරි
- ලූණු
මුලින්ම ලබුවල පොතු ඉවත් කර මදය වෙන්කර ගන්න. ඉන්පසු එය ඉතා කුඩා කැබලිවලටට කපා ගන්න. සාමාන්‍ය කිරිබත් උයන ප්‍රමාණයට වතුර දමා ලිපේ තබා ගන්න.
බත උතුරන්නට පටන් ගන්නකොටම කපාගත් ලබු කෑලි ටික එකතු කර මද ගින්දරේ පිස ගන්න. වතුර හිඳුන පසු උකු පොල් කිරිවලට අවශ්‍ය පදමට ලුණු එකතු කර හොඳින් කලවම් කර පිස ගන්න.
අනෙක් කිරිබත්වලට වඩා මේ ලබු කිරිබත් තෙත ගතියෙන් යුක්තයි. මේ විදිහට සකසා ගත් ලබු කිරිබත් කෙසෙල් කොලයක හෝ පිඟානක තුනී කර කෑලි කපා ගෙන නිවෙන්නට තබා ආහාරයට ගන්න.
සැලකිය යුතුයි දිය ලබු ආහාරය පිණිස ලබාගැනීමේදී ඒවා සකස් කරන්නට පෙර එහි ඇට හොඳින් ඉවත් කරගන්න. දිය ලබු ඇට සමග ආහාරයට ගැනීමෙන් හෝ ඖෂධ පිණිස ලබා ගැනීමෙන් වමනය, ඔක්කාරය ආදී තත්ත්වයක් ඇතිවෙන්නට පුළුවන් . ඒ නිසා ඒ පිලිබඳව සැලකිලිමත් වෙන්න.