කොහිල ආහාරයට එකතු කර ගැනීමෙන් පාලනය කරගත හැකි රෝග 11 ක්

health tips

“Lasia Spinosa ” යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හදුන්වන කොහිල ඖෂධීය ගුණයෙන්  එළවලුවක් ලෙස හදුනා ගත හැකිය .අපේ පැරණි ජන සමාජයේ සෑම නිවසකම පාහේ කොහිල පාත්තිය සදහා ඉඩකඩක් ගෙවත්තේ වෙන් කර තිබුණි. කොහිල” අභිරු ” යනුවෙන් සංස්කෘත භාෂාවෙහි හදුන්වනු ලැබේ . එහෙත් වර්තමානය වන විට මෙම ඖෂධීය ජලජ ශාකය වද වී යාමේ තර්ජනයට ලක් වී ඇති ශාකයක් බවට පත්ව තිබේ .කළු කොහිල ,කිරි කොහිල ,ගුරු කොහිල,ගොඩ කොහිල සහ වැල් කොහිල ලෙස කොහිල ප්‍රභේද රැසක් ම පවතී . 

කොහිල වල විවිධ පෝෂ්‍ය පදාර්ථ අන්තර්ගත වේ .

  1. ප්‍රෝටීන් 
  2. මේදය 
  3. පිෂ්ටය 
  4. කැල්සියම් 
  5. විටමින් සී
  6. තයමින් 
  7. පොස්පරස් 
  8. යකඩ 
  9. ශක්තිය කිලෝ කැලරි 140 ක් 
  10. තෙතමනය යනාදී ය ඒ අතර වේ. 

කොහිල ශාකයේ ඖෂධීය ගුණ 

1. අර්ශස් රෝගීන්ට වඩාත් ගුණදායක වේ.

2. අක්මාවට හිතකර වේ.

3. වා ,පිත් , සෙම් නාශක ගුණ ඇත.

4. ශුක්‍ර දාහය සමනය කරන ගුණයෙන් යුක්ත වේ .

5. ශීත ගුණයෙන් අනූන වේ.

6. අජීර්ණය අතීසාරය මලබද්ධය වැනි රෝග සදහා ඖෂධයක් වේ .

7. බඩවැල් තුළ ඇති විෂ නසයි .

8. බඩවැල්වල හටගන්නා විවිධ ලේ දෝෂ නසයි .

9. මෙහි ඇති තන්තුමය ස්වභාවය මල පහසුවෙන් පිටවීම සදහා උපකාරී වේ .

10. රත්පිත් රෝගය සදහා ඔසුවක් වේ .

11. ග්‍රහණි රෝග සදහා ඔසුවක් වේ .

12. මූල ව්‍යාධී රෝග සදහා ඔසුවක් වේ . 

අර්ශස් රෝගය සදහා ඉතා වටිනා ඖෂධයක් වේ.අර්ශස් රෝගය පිළිබඳ අවධානය යොමු කීරීමේදී කාගේත් මතකයට එන ඖෂධය වන්නේ කොහිලය.කොහිල අර්ශස් සදහා ඇති ප්‍රත්‍යක්ෂ ඖෂධයක් වේ.කොහිලවල ඇති තන්තුමය ස්වභාවය අර්ශස් සදහා ඉතා ගුණදායක වේ . 

මේ සදහා ඇති අත්බෙහෙත් කොහිල අල ,ගොටුකොළ ,රතු ලූණු ,රත් කරල් සැබෝ සමාන ප්‍රමාණයන්ගෙන් ගෙන හොඳින් කොටා දෙහි ඇඹුලින් අනා වණ්ඩුවේ බාහා තම්බා ගෙන මිරිකා ගන්නා ස්වරසය රක්ත අර්ශස් ඇති රෝගීන් ට ඉතා ගුණදායකවේ .කොහිල පද්මය නමින් හදුන්වන ඖෂධය රක්ත අර්ශස් හා මූල ව්‍යාධී රෝගයන් සදහා ඉතා ගුණදායකවේ. 

අක්මාවට හිතකර වේ .කොහිල අක්මාවේ එන්සයිම ශ්‍රාවය වීම නිසියාකාරව සිදු වීම සදහා උපකාරීවේ. එමගින් ශරීරයට ඇතුළු වී තිබෙන විෂ නාශනය කීරීමේ කාර්‍යය පහසුවෙන් සිදුවේ. අධික ලෙස මත්පැන් පානය කරන පුද්ගලයන් සහ විෂ සහිත ආහාර ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ අක්මාවට සිදු වන හානිය වළක්වා ගැනීමට කොහිල වැඩි වශයෙන් ආහාරයට ගැනීම ගුණදායකය. 

ශරීරයේ සීනි අවශෝෂණය කිරිමේ ගුණයෙන් යුක්ත වේ .මෙහිදී විශේෂයෙන්ම කොහිල අල ව්‍යංජනය ආහාරයට ගැනීමෙන් ශරීරයේ සීනි අවශෝෂණය වීම සිදුවේ. එමගින් ශරීරයේ සීනි මට්ටම පාලනය කිරීම ද සිදුවේ. එබැවින් දියවැඩියාව රෝගය වැළැක්වීමේ ගුණය කොහිල ශාකය සතුවේ. 

ශරීරයේ කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරනු ලබයි .අප ගන්නා විවිධ ආහාර වල අන්තර්ගත මේදය ශරීරයට අවශෝෂණය වීම අඩු කිරීම කොහිල මගින් සිදු කරනු ලැබේ . එනම් ඉන් රුධිරගත කොලෙස්ටරෝල් ප්‍රමාණය පාලනය කරනු ලැබේ . 

තරබාරු බව අඩු කරයි .කොහිල ආහාරයට ගැනීමෙන් අප ලබා ගන්නා ආහාර වල ඇති මේදය අවශෝෂණය කර ගැනීම අඩු කරනු ලැබේ .එමගින් ශරීරය තරබාරු වීම පාලනය වීම සිදුවේ. 

මලබද්ධය සදහා ඔසුවක් වේ .කොහිලවල ඇති තන්තුමය ස්වභාවය මලබද්ධය සුවපත් කිරීම සදහා හේතූවේ. කොහිල අල සහ දලුවල ඇති තන්තුමය ස්වභාවය නිසා මල හොඳින් පිට වීම සිදුවේ. 

කොහිල ශීත ආහාරයක් වුවද පීනිස ,කැස්ස ,ඇදුම ,වැනි සෙම බහුලව පවතින රෝග සදහා අගුණ වන්නේ නැත. සමේ පිළිස්සුම් තුවාල ,නියුමෝනියාව , ශ්වසන ආබාධ ,ක්ෂය රෝගය යනාදී රෝග සදහා ඖෂධයක් ලෙස කොහිල භාවිත කරනු ලැබේ . 

කොහිල ශාකයේ ,Alkaloids, Flaavonoids, Glycosides,Lignins, Phenolic යනාදී සංයෝග අන්තර්ගත වේ .මෙම සංයෝග ශරීරයේ අභ්‍යන්තර පටකවල ප්‍රදාහ ඇති වීම වළක්වයි .එසේම හදවත් රෝග මානසික රෝග ඇති වීම ද වළක්වනු ලැබේ . කොහිල පිළිකා අවදානම අඩු කරනු ලබයි .ඒ සදහා ද කොහිල වල අන්තර්ගත ඉහත සංයෝග හේතූ වේ.Poly Phenol සහ Ascorbic Acids නිසා රුධිර පීඩනය පාලනය කරනු ලබයි .එමෙන්ම අභ්‍යන්තර පටකවල තුවාල සුවපත් වීමත් සිදු වේ. 

විවිධ විෂ නසයි .කොහිල වල අන්තර්ගත ධූලක හරණ විශාල පරාසයක පැතිර පවතින නිසා සර්ප විෂ හා කෘමි විෂ නැසීමටත් ශරීරයට විෂ රසායනික ඇතුළුවන විට ඒවා ශරීරයෙන් ඉවත් කිරීමට කොහිල වලට හැකියාව තිබේ. මේ නිසා ශරීරගත විෂ ඉවත් කිරීමට කොහිල ගුණදායකය. 

කොහිල මගින් බඩ පුරවා දැමීම ,කෑම අරුචියද සුවපත් කරයි .ගැස්ට්‍රයිටිස් නිසා ආමාශයේ ඇතිවන තුවාල විවිධ හේතු නිසා බඩවැල්වල ඇතිවන රෝගී තත්වයන්ට ද කොහිල ඖෂධීය ආහාරයක් වේ.

  • කොහිල දලු සලාදය 
  • කොහිල අල ව්‍යංජනය 
  • කොහිල දලු මැල්ලුම 
  • කොහිල අල සලාදය 
  • කොහිල අල කැද 
  • කොහිල මෝජුව
  • කොහිල වඩේ
  • සිනී සම්බෝල තෙම්පරාදුව යනාදී ලෙස කුමන හෝ ආකාරයට කොහිල ආහාරයට ගැනීමෙන් බොහෝ රෝග සුව කර ගත හැකිය.