සිනාසීමට කියන්නෙත් සිරුරට හොඳ ඔසුවක් කියලා කිව්වොත් ඔබ ඒ ගැන මොකද හිතන්නේ?. සිනහවෙන් උපරිම ලාභයක් සිරුරට ලැබෙන බව ඇතැම් විට ඔබ දන්නේ නැතිව ඇති. සිනහවෙන්න කිසිම වියදමක් අපට යන්නේ නැහැනේ. ලෝකයේ ‘ස්මයිලිං තෙරපි’ එහෙමත් නැතිනම් සිනාසීම මනෝචිකිත්සාවක් ලෙස භාවිතා කරන ක්‍රම ඉතා ප්‍රචලිත වෙමින් පවතිනවා. ඒ අනුව, මේ ක්‍රමය ප්‍රතිඵල සහිත බව ප්‍රයෝගික මට්ටමේදි පවා හොඳින් තහවුරු වෙනවා. ඉතින් ප්‍රශ්න සියල්ල අමතක කරලා දාලා වෙනදටත් වඩා වැඩියෙන් හිනාවෙන්න කියලා අපි ඔබට කියනවා. මොකද ඉන් ඔබේ සිරුරට ඔබ හිතනවාටත් වඩා ප්රතිලාභ හිමිවෙන නිසා!
- සිනාසීමෙන් වැඩි කැලරි ප්‍රමාණයක් දහනය කරගැනීමට හැකියි

ඔබ සිරුරේ බර අඩුකරගැනීම සඳහා කටයුතු කරන කෙනෙක් නම් ,ඔබ ලබාගන්නා කැලරි ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම සහ කායික ක්‍රියාශීලිබව පවත්වාගැනීම ඉතා වැදගත්. මෙම අරමුණට වේගයෙන් ලඟාවීම සඳහා සිනාසීම යනු හොඳ උපක්‍රමයක්. උදාහරණයක් ලෙස මිනිත්තු 15 ක් පමණ සිනාසීමේ අභ්‍යාසයක නිරතවීමට උත්සාහ කරන්න.
සිනාසීමේදී සිරුරේ වෙනත් අවයවය සක්‍රීය වේ. මාංශ පේශී යනු ඉන් එකකි. ඔබ සිනාසෙන විට ඒවා ලිහිල් වීමට පටන්ගනියි. එමෙන්ම සිනාසෙන විට අපගේ උදර ප්‍රදේශයේ මාංශ පේශී විසාරණය වීමට හා සංකෝචනය වීමට (හැකිළීමට) පටන්ගනියි. මෙය උදර ප්‍රදේශයට ව්‍යායාම ලබාදෙන විට සිදුවන ක්‍රියාකාරිත්වයට බොහෝසෙයින් සමානයි.
- ආතතියෙන් පෙළෙන අවස්ථා වලදී ක්ෂණික සහනයක් දැනෙයි

හයියෙන් සිනාසීම ආතතිය සමනය කරමින් ඔබට සැහැල්ලුවක් ඇතිකරවයි. එසේ සිනාසෙන විට හෘද ස්පන්දනය එක්වරම ඉහළ ගොස් යළි පහත වැටීම සිදුවෙයි. එහිදි සිරුරට සැහැල්ලු බවක් දැනෙනු ඇත. ඉන් ආතති මට්ටම පහත බසියි. සිනාසෙන විට යහපත් මනෝභාවයන් ඇතිවීමට වගකියනු ලබන තෘප්තිය ඇති කරවනු ලබන රසායනයන් නිකුත් වීමට පටන්ගනියි.
- රුධිර පීඩනය අඩුවෙයි

සිනාසීම ඔබේ සිරුරේ රුධිර නාලිකා ක්‍රියාකාරීත්වය සඳහා මෙන්ම රුධිර ප්‍රවාහය වැඩිකිරීමට සහයදෙයි.මෙමඟින් හෘදයාබාධ ඇතුලු වෙනත් හෘද රෝග වැලඳීමේ අවදානමින් ඔබට හොඳ ආරක්ෂාවක් ලබාදෙයි. සිනාසීම පුද්ගලයින්ගේ රුධිරය පීඩනය පහත දැමීමට සමත් වන බව පර්යේෂණ මඟින් පෙන්වාදෙයි.
- ශ්වසනය පහසුවෙයි

සිරුරේ ක්‍රමවත් ක්‍රියාකාරීත්වය සඳහා ඔක්සිජන් සැපයුම ඉතා වැදගත්. ගැඹුරින් හුස්ම ගැනීමේදී සිරුරට ඉතා ප්රශස්ත මට්ටමකින් ඔක්සිජන් ලබාගත හැකියි. හයියෙන් සිනාසීම මේ සඳහා ඇති අපූරු ක්රමයකි. හයියෙන් සිනාසෙන විට අප ගැඹුරින් හුස්ම ගැනිමට පෙලඹෙන නිසා අපගේ පෙනහළු හොඳින් විවෘත වීම සිදුවෙයි. එහිදි රුධිරයට අවශ්‍ය ඔක්සිජන් වැඩි ප්‍රමාණයක් ශරීරගත වීම සිදුවෙයි. මෙම ක්‍රමය ආශ්වාස ප්‍රාශ්වාසයන් වඩාත් පහසු කරවයි.
- වේදනාවන් දරා සිටීමේ හැකියාව ලැබේ

ඔබ වේදනාවකින් පෙළෙයි නම් හෝ ඔබ යම් අපහසුතාවයකින් පසු වේ නම්, සිනාසීමට ප්රයාස දරන්න. සිනාසෙන විට අපේ සිරුරේ ස්වභාවික වේදනානාශක රසායනයන් නිකුත්වීමට පටන්ගනියි. අධික වේදනාවක් දැනෙන විටක හයියෙන් සිනාසුණු විට සිරුරට හොඳ පහසුවක් දැනෙනු ඇත. මෙහිදි එම රසායනයන් මඟින් කායික මෙන්ම මානසික පීඩාකාරී ස්වභාවයන් සමඟ ගනුදෙනු කිරීමේදි සිරුරට හිතකර ප්‍රතිලාභයක් හිමිවන අයුරින් වැදගත් ක්රියාකාරීත්වයක් ඉටුකරනු ලබයි.