සෙම එහෙම නැත්නම් ශ්ලේෂ්මල කියන්නේ අපේ ශරීරය විසින්ම නිපදවන දෙයක්.වාතය මඟින් අපේ ශරීරයට ඇතුළු වන විවිධ රෝග කාරකයන්වලින් අපේ දේහය ආරක්ෂා කරන්නට මේ සෙම නිෂ්පාදනය වීම සිදුවෙනවා. නමුත් මේ සෙම අපේ යම් යම් පුරුදු හේතුකරගෙන වර්ධනය වෙලා නොයෙකුත් අපහසුතා ඇති කරනවා. මේ නිසා නිරන්තරයෙන් සෙම්ප්‍රතිශ්‍යාව, උණ, හුස්ම ගැනීමේ අපහසුව වගේම කැස්ස ආදී රෝග තත්ත්වයන් ද ඇති වෙනවා.
සෙම් රෝග කුඩා දරුවාගේ පටන් මහලු පුද්ගලයා දක්වා අසේම වයසක පසුවෙන අයෙක්ම පීඩාවට පත් කරන්නට සමත් වෙන තත්ත්වයක්. නමුත් මේ සෙම් රෝග සඳහා බටහිර ඖෂධ ලබා ගැනීමම අවශ්‍ය වෙන්නේ නැහැ. එදා ගැමියන් සෙම් රෝග ඇතුළු බොහෝ රෝග සඳහා කුළුබඩු සහ දේශීය ඔසු භාවිතයෙන් විවිධ වූ අත් බෙහෙත් භාවිතා කරන්නට පුරුදු වෙලා හිටියා. ඒ නිසාම ඔවුන් වෙදගෙදරට ගියේ ඉතාමත් කලාතුරකින්.
නමුත් අපි බොහෝ දෙනෙක් සෙම් රෝග සඳහා බටහිර ඖෂධ භාවිතයටයි පුරුදු වෙලා ඉන්නේ. නමුත් ඒවායින් අපේ ශරීරයට අහිතකර බලපෑම් ඇතිවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා වඩාත් සුදුසු වෙන්නේ ශරීරයට අහිතකර නොවන පාරම්පරික අත් බෙහෙත් නිසි මාත්‍රාවෙන් අදාල අවශ්‍යතාව අනුව භාවිතයට ගැනීමයි. සෙම් රෝගවලින් වැළකී ඉන්නට වගේම සෙම් රෝග ඉතා ඉක්මනින් සුවපත් කර ගන්නත් මේ අත් බෙහෙත් ඔබට අතිශයින්ම වැදගත් වේවි.

ඉඟුරු කොත්තමල්ලි පානය සෙම්ප්‍රතිශ්‍යාව ඇති වීමට පෙර කිවිසුම් යාම, හිසරදය, හිසේ බරගතිය සහ සොටු දියර ගැලීම් ආදී රෝග ලක්ෂණ පෙන්නුම් කරන් විටම ඔබට ඒ පානය සාදා ගෙන භාවිතයට ගන්නට පුළුවන්. එමගින් සෙම්ප්‍රතිශ්‍යාව ඉතා ඉක්මනින් සුව කරගන්නට හැකි බව අපේ මුතුන් මිත්තන් දැන සිටියා. අද බොහෝදෙනෙක් අතර වඩාත්ම ප්‍රචලිත අත් බෙහෙතක් වන මෙය කුඩා දරුවන්ටත් ලබාදිය හැකි අත්බෙහෙතක්. මේ කොත්තමල්ලි ඇට වශයෙන් තම්බා පානය කිරීම මෙන්ම හොදින් බැඳ කුඩු කර තබාගෙන පානය කිරීමත් සුදුසුයි. සෙම හා සෙම්ප්‍රතිශ්‍යාව තරමක් වැඩි නම් මෙයට ඉගුරු කැබැල්ලක් ද දමා තම්බා පානය සුදුසුයි.
ඇඹුල් දොඩම් බොහෝ වෙලාවට සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ උගුරේ සෙම ඇති අවස්ථාවලදී ඇඹුල් දොඩම් පානය බොහෝ අය සිදු කරන දෙයක්. ඒ වගේම ඇඹුල් දොඩම් යුෂ තේ හැන්දක් අරගෙන එයට මී පැණි සහ සීනි එකතු කරලා පානය කිරීමත් සෙම් රෝග නසාලන සහනය ඉක්මනින් ලබාදෙන සාර්ථක අත් බේතක්.
ඒ විතරක් නෙවෙයි නාරං බික් 3ක්, ඉඟුරු යුෂ, මී පැණි තේ හැන්දක් සහ ලුණු කුඩු ස්වල්පයක් එකට මිශ්‍රකර ආහාරයට ගැනීමත් ඉතා පහසුවෙන් සෙම් රෝග අඩු කරගන්නට හැකි සාර්ථක අත් බෙහෙතක්.
කළු උක් දඬු පානය මේ පානය වඩාත් සුදුසු වෙන්නේ දැඩි ලෙස සෙම් රෝගවලින් පීඩා විදින අයෙකුටයි . මේ සඳහා කළු උක් දඬු යුෂ තේ හැඳි දෙකක්, මී පැණි තේ හැන්දක් සමඟ මිශ්‍රකර උදේ සවස පානය කිරීම සුදුසුයි.
සුදු ළූණු හා කහ පානය සුදු ළූනු ඉතාමත් වටිනා කුළුබඩුවක්. සෙම් රෝගය සඳහා සුදු ළූනු ගෙඩි 2 ක් පමණ ගෙන එයට කහ ස්වල්පයක් දමා හොඳින් තම්බා පානය කිරීම කළ හැකියි. මෙය සෙම සඳහා පමණක් නොව ශරීරයේ තිබෙන සෑම විෂක්ම ඉවත් කිරීමට ද ඉවහල් වෙන අපූරු පානයක්.

ලෙමන් හා මී පැණි උණුසුම් ජලය කෝප්පයක් ගෙන එයට ලෙමන් යුෂ හා මී පැණි තේ හැන්දක් පමණ එක්කර දිනපතා පානය කිරීම කළ හැකි සාර්ථක ප්‍රතිකාරයක්. එසේත් නැතිනම් ලෙමන් යුෂ තේ හැන්දකට මී පැණි තේ හැඳි 2 ක් මිශ්‍ර කර දිනකට දෙතුන් වරක් පානය කිරීමද කළ හැකි අතර ලෙමන් නැතිනම් ඒ වෙනුවට දෙහි යුෂ වුවත් ඔබට භාවිතා කරන්නට පුළුවන්.
ගම්මිරිස් කුළුබඩුවක් වශයෙන් වැඩි වශයෙන් භාවිතා කරන ගම්මිරිස් සෙම් රෝග සඳහා වූ අත් බෙහෙත් සඳහාත් බහුලවම භාවිතයට ගැනෙනවා. මොකද ගම්මිරිස් සතුව සෙම් රෝග සුව කිරීමේ හැකියාවක් පවතින නිසා. මේ සඳහා ගම්මිරිස් කුඩු මේස හැඳි එකක්, කිරි කෝප්ප එකක්, කහ කුඩු ස්වල්පයක් අවශ්‍ය වෙනවා. ගන්නා ලද කිරි කෝප්පය මද රස්නයේ හොඳින් පැහෙන්න තබා එය නිවුණු පසු එයට ගම්මිරිස් හා කහ කුඩු දමා පානය කිරීම සෙම් රෝගවලින් සුවයක් ලබා ගන්නට උදව් වෙනවා.මෙය දිනකට දෙවරක් පමණ කළ හැකිනම් සෙම් රෝගය සුව කිරීමේ හැකියාවත් මේ තුළ පවතිනවා.
වාෂ්පය ඇල්ලීම සෙම්ප්‍රතිශ්‍යාව සහිත සෙමට හිස් කබලේ සෙම ඇතිවීම ආදිය තත්ත්වයන් සඳහා ප්‍රතිඵලදායි ක්‍රමවේදයක් තමයි වාෂ්ප ඇල්ලීම කියන්නේ. මේ සඳහා දෙහි කොල තම්බා වාෂ්ප අල්ලන්නට පුළුවන්. ඒ වගේම බෙලි කොළ, පාවට්ටා, නික කොළ ආදිය තම්බාගත් හුමාලය ඇල්ලීම වඩාත් සාර්ථකයි.
නමුත් දීර්ඝ කාලීනව ඔබ සෙම නිසා පීඩා විඳින අයෙක් නම් ඒ අත් බෙහෙත්වලින් රෝග තත්ත්වයේ අඩුවක් නැත්නම් ඔබ අනිවාර්යයෙන්ම වෛද්‍ය උපදෙස් ලබා ගැනීමට යොමුවිය යුතුයි.