අපේ භාවිත වන ඖෂධීය ගුණයෙන් අනූන තවත් එක් කුළුබඩු විශේෂයක් තමයි සේර (lemongrass). Cymbopogon citratus යනු සේර හඳුන්වන උද්භිත විද්‍යාත්මක නාමයයි. සේර ශ්‍රී ලංකාව සහ දකුණු ඉන්දියාවට ආවේණික ශාකයක් ලෙසයි හඳුන්වන්නේ.ආහාර රසකරන කුළුබඩුවකට අමතරව පාරම්පරික වෛද්‍ය ක්‍රම වල දී මේවා බඩේ කැක්කුම්, කාන්තාවන්ගේ ඔසප් ගැටලු, ස්නායු හා උදරය ආශ්‍රිත ගැටලු හා උණ, සෙම්ප්‍රතිශ්‍යාව හා කැස්ස වැනි සුළු ආසාදන වලට ප්‍රතිකාර කිරීම සඳහා ද භාවිත කෙරෙයි.
සේර වලින් සිරුරට ලැබෙන තවත් අපූරු සෞඛ්‍ය ප්‍රතිලාභ කිහිපයක් බලමු.

- ආයුර්වේදයට අනුව සේර යනු බැක්ටීරියානාශක හා වෛරසනාශක ගුණය බහුල ඖෂධයකි.ප්‍රබල ප්‍රතිඔක්සිකාරක ගුණ ද අඩංගුය. විෂාදනාශක ගුණය ද ඇත.ස්නායු පද්ධතියට බොහෝ හිතකර ප්‍රතිලාභ ලබාදෙන නිසා සිරුර සන්සුන් කර පීඩාකාරී බව සමනය කරවයි.
- සේර වල ඇති මිහිරි පැඟිරි සුවඳ නිසා මේවා ඇරෝමාතෙරපි හා එසෙන්ෂියල් ඔයිල් (lemongrass essential oil) නිෂ්පාදනය සඳහා ද යොදාගැනේ.
- සේර තෙල් (lemongrass oil) වල අඩංගු ‘සිට්‍රල්’ (citrul) නම් සංඝටක වල ප්‍රතිඔක්සිකාරක බහුලයි.මේවා සිරුරේ ඇති නරක කොලෙස්ටරෝල් අඩුකරවීමට සමත්ය.
- පොටෑසියම් බහුලව අඩංගු නිසා සේර පරිභෝජනයට එක්කරගැනීම හරහා වකුගඩු වල මූත්‍රා පෙරීම වැඩිවෙයි.වස විස අපද්‍රව්‍ය මූත්‍රා සමඟ බැහැර වීම ක්‍රමවත් වීමෙන් සිරුරේ රුධිර සංසරණය වැඩිදියුණු වේ.එමෙන්ම රුධිර පීඩනය ද අඩුවී යයි.
- කැස්ස, නියුමෝනියාව වැනි ශ්වසන රෝග වල ලක්ෂණ සමනය වීමට සේර මුසු ප්‍රතිකාර ක්‍රම බොහෝ ඵලදායි බව සඳහන්.
- රෝගකාරක විෂබීජ මර්දනය කිරීමේ ප්‍රබල ගුණය නිසා මූත්‍රා මාර්ගයේ ආසාදන (UTI), තුවාල,පණුකැවිලි,හොරි,දියමිටියන් කෑම සහ වෙනත් දිලීර ඇතුළු හානිකර විෂබීජ ආසාදන වලින් ආරක්ෂා කරයි.
- සේර කොළ කිහිපයක් උණු වතුර කෝප්පයකට දමා තම්බා පානය කිරීම ආමාශ අග්නිය ක්‍රියාකාරීව පවත්වාගැනීමට උදවු වේ. එය නීරෝගී ජීර්ණ ක්‍රියාවලියකට අත්‍යවශ්‍යය. එපමණක් නොව, සේර පරිභෝජනය ඔබේ රස සංවේදනය වඩවයි.මුඛ කුහරය පිරිසිදු හා නැවුම් කරවයි.
- ඔක්කාරය වැනි අපහසුතාවන්ට සේර ගුණදායකයි. ජීර්ණ පද්ධතියේ ගැටලු දුරුකරමින් එහි ක්‍රියාකාරීත්වය නීරෝගි වීමට සහය දෙයි.
- මාංශ පේශී වේදනා,ඔසප් වීම ආශ්‍රිත ගැටලු හා හිසරදය වැනි ගැටලු සමනය කරයි.
- සේර වල ඇත්තේ ලෙමන් වල සුවඳට සමාන සුවඳකි.එම නිසා මේවා හොඳ කෘමිවිකර්ෂකයක් ද වේ. මෙම කොළ තලා සම නිරාවරණය වී ඇති ප්‍රදේශ වල ආලේප කිරීමෙන් කෘමි සතුන්ගේ දෂ්ට කිරීම් වලින් ආරක්ෂා විය හැකියි.
- සේර සිරුරේ ඇති ස්නායු සමනය කරන නිසා ආතතිය හා කාංසාවට හොඳ ඔසුවක් ලෙස සැලකෙනවා.ආයුර්වේදයේ විෂාදනාශක ප්‍රතිකාරයක් ලෙසත් තවත් නොයෙකුත් මනෝ ආබාධ වලට ද සේර ඔසුවක් ලෙස භාවිත කරයි. මේවා හදිසි ආබාධ (seizure) තත්වයෙන් පෙළෙන අයට ද ගුණදායක බව සඳහන්.

- ලිප තැබූ උණු වතුර බඳුනට සේර රුව වඩවන ඔසුවක් ද වේ.නැවුම් හෝ වියළි සේර කොළ කුඩා ප්‍රමාණයක් හෝ සේර තෙල් බිංදු 2ක් පමණ එක්කරන්න.මෙම වතුර ඔබ ස්නානය කරන හෝ ඇඟ සෝදන වතුරට මිශ්‍ර කර සිරුර පිරිසිදු කරගන්න.
- සේර හොඳ පිරිසිදු කාරකයක් ලෙස වගේම සමේ පැහැය වඩවන ඖෂධයක් ලෙසත් ප්‍රචලිතයි.සිරුරේ නරක දහඩිය දුගඳ ඉවත්කරයි.පොතුකබර, පණු කැවිලි දද වැනි රෝග වල පීඩාකාරි ලක්ෂණ දුරුකරගැනීමට ද ආධාර කරයි. උකුණන් මර්දනය කරන ඖෂධයක් ලෙසත් සේර භාවිත කළ හැකියි.
ආයුර්වේදීය සේර පානයක්
- සේර කොළ කෝප්ප 1/2ක්, මිංචි කොළ කෝප්ප 1/4ක්,තුල්සි කොළ (හීන් මදුරුතලා) කෝප්ප 1/4ක් සහ මහදුරු ඇට මේස හැඳි 1ක්, ලෙමන් 1-2ක්.
- වතුර බඳුනක් ලිප තබා එය හොඳින් උණු කරගන්න. ඊට සියල්ල දමා මිනිත්තු 4-5ක් තම්බාගන්න.පසුව ලෙමන් පෙති එක්කරන්න.ලිප නිවන්න.ලෙමන් පෙති වල සාරය මිශ්‍ර වන තුරු මද වෙලාවක් තබා කෝප්පයකට පෙරා පානය කරන්න.
සේර පරිභෝජනයට එක්කරගත හැකි තවත් ආකාර
පොලොස්,මස් වැනි වෑංජන පිසීමේදී සේර යොදාගනියි.සේර කැබැල්ලක් තලා උණු වතුරට දමා මද වෙලාවක් තැම්බෙන්නට හැර එම ඖෂධීය තේ වතුර පානය කිරීම ද කළ හැකියි.සේර එක්කළ සුප් කෝප්පයක් පානය කිරීම ආහාර රුචිය වඩවයි.සේර යුෂ වතුර හා දෙහි සමඟ මිශ්‍ර කර පානය කළ හැකියි.සේර කොළ හා කඳ වියළා කුඩු කර තේ ආකාරයෙන් සකසා පානය කළ හැකියි. බත් පිසීමේදී සේර කොළ කිහිපයක් එක්කිරීමෙන් එහි රසය හා සුවඳ වැඩි කරගත හැකි බව ද සඳහන්.
ඔබේ අවදානයට!
- ඔසප් චක්‍රයේ ගැටලු හා සංකූලතා මගහරවා එය ක්‍රමවත්ව සිදුවීමට ප්‍රතිකාරයක් ලෙස භාවිත කරන ඖෂධයක් නිසා ගර්භනී සමයේදී සේර භාවිත නොකර සිටීම වඩාත් සුදුසු බව වෛද්‍ය අධ්‍යයන මන්ගින් පෙන්වාදී තිබෙනවා.
- ඒවගේම, අධික ප්‍රමාණ වලින් පරිභෝජනයට එක්කර ගැනීමෙන් ආමාශයේ දැවිල්ල, කැක්කුම් වැනි අපහසුතා (irritation) ඇතිවීමට පුළුවන් බවත් මතක තබාගත යුතුයි.සේර කොළ ග්‍රෑම් 3-5කට වඩා භාවිත නොකරන්න.තෙල් භාවිත කරන්නේ නම් දිනකට සේර තෙල් බිංදු 2කට වඩා නොගත යුතුයි.
- ඔබ යම් රෝග තත්වයකට බටහිර ඖෂධ ප්‍රතිකාර ගන්නේ නම් සේර භාවිතය ඔබට සුදුසු දැයි ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගන්න.