අප අවට පරිසරයේ හැදෙන වැඩෙන බොහොමයක් පැළෑටි අපි වල් පැලෑටි ලෙස සිතා සිටියත් ඒවායේ අපි නොදන්නා ඖෂධීය ගුණ බොහොමයක් පවතින්නට පුළුවන්. මොකද නූතන පරපුරේ බොහෝදෙනා වටිනා ඖෂධීය පැළෑටි බොහොමයක් වල් පැලෑටි ලෙස සිතා සිටීම නිසා එවැනි වටිනා ශාක බොහොමයක් අපට අහිමි වෙලා. නමුත් අපේ මුතුන් මිත්තන් සෞඛ්‍ය සම්පන්නව දීර්ඝ කාලයක් ජීවත් වුණේ අපි අද වල් පැලෑටි යැයි සිතන බොහොමයක් වටිනා පැළෑටි ඔවුන්ගේ බත් පත රස කළ නිසාවෙන්.ඉතින් අපි අද ඔබ සමග කතා කරන්න සුදානම් වෙන්නේ කොතරම් අපේ ඇස ගැටුණත් බොහෝ දෙනෙක් තවමත් නොදන්නා වටිනා ශාකයක් පිළිබඳව. ඒ තමයි ගැට තුඹ ශාකය.
මේ ගැට තුඹ ශාකය නම් කිහිපයකින්ම හඳුන්වනු ලබනවා.ද්‍රෝණ පුෂ්ප, සුපුෂ්පා, චිත්‍ර පත්‍රිකා, කුම්භයෝනි , කියන්නේ එයින් නම් කීපයක් පමණයි.වාර්ෂික පැළෑටියක් විදියට හඳුන්වන මේ ශාකය සෙන්ටිමීටර තිහක් හතළිහක් තරම් උසට වැඩෙන පඳුරු ශාකයක්. සෑම නැම්මක් ළඟින්ම ඇති ගැටයක ස්වරූපය මේ ශාකය හඳුනා ගත හැකි විශේෂ ලක්ෂණයක්.
මෙය සර්ප විෂට ප්‍රතිකාර කිරීමේ දී භාවිතයට ගන්නා විශේෂ ගුණ සහිත පැළෑටියක්. ඒ විතරක් නෙමෙයි මේ ශාකය නාසයේ මස් දලු සහ ඉරුවාරදය නිසා පීඩා විදින පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමේ දී භාවිතයට ගන්නවා. ඒ වගේම මේ ශාකයේ සුදු පැහැ මල් උණ රෝගය සඳහා ප්‍රතිකාර කිරීමේදී සහ හිසරදය සඳහා වූ විශේෂ තෙල සකස් කිරීම සඳහා ද භාවිතයට ගැනෙනවා. ඒ අනුව මේ ශාකයේ සියලුම කොටස් ඖෂධ පිණිස භාවිතයට ගනු ලබ්නවා.

විවිධ ප්‍රතිකාර සඳහා ඖෂධයක් විදිහට භාවිතා කිරීම හැරුණාම මේ ශාකය අපේ ආහාරය සඳහා මැල්ලුමක් විදිහට පිළියෙල කර ගන්නට පුළුවන්. නමුත් මේ ගැට තුබ පමණක් මැල්ලුම් ලෙස සකස් කර ගන්නවාට වඩා කලවම් පලාවක් විදියට සකසා ගන්නා එක තමයි වඩාත් හිතකර වෙන්නේ ඒ වගේම මේ ගැටතුබ ශාකයේ පත්‍ර ව්‍යංජනයක් විදියටත් රසවත්ව පිළියෙල කර ගන්නට පුළුවන්. බොහෝ වෙලාවට ගැට තුබ ව්‍යංජනය සැකසෙන්නේ කුඩා දරුවන්ගේ පණු රෝග සුවකර ගැනීම සඳහා.
එදා අපේ මුතුන් මිත්තන් එලකිරි උණු කිරීමේ දී මේ ශාකයෙන් වියළාගත් මුල් කිහිපයක් එකතු කරනු ලැබුවා. එය එළකිරි පානයෙන් ඇතිවන සෙම තත්ත්වය නැති කරනවා වගේම ජීරණය පහසු කරන්නත් උදව් වෙනවා. ඒ විතරක් නෙමෙයි අලුත උපන් බිළිඳුන්ට මව්කිරි හොඳින් ජීරණය නොවීම නිසා ඇතිවන වමනය ආදී තත්ත්වයන් සුව කර ගන්නත් බඩ පුරවා දැමීම් ආදිය සුවකරගන්නටත් මව් කිරි ස්වල්පයකට ගැටතුඹ යුෂ මේස හැන්දක් එකතුකර ලබා දී තියෙනවා. ඒ වගේම දරු ප්‍රසූතියෙන් පසුව මවට ඇඟ සේදීම සඳහා මේ ගැටතුබ ශාකය තම්බාගත් වතුර භාවිතා කර තියෙනවා. එය වාත අමාරු දුරු කර මවට සැහැල්ලුවක් සහනයක් ලබා දෙන බවයි සඳහන් වෙන්නේ.
ගැට තුබ ආහාර්‍යට ගැනීමෙන් ලැබෙන වාසි
- පීනස සඳහා ගුණ දෙනවා.
- ශරීරයේ විෂ හරණය කරනවා.
- පාචනය සුව කරනවා.
- අජීර්ණය තත්ත්වයන් සමනය කරනවා.
- විශාදය හේතුවෙන් ඇතිවන හිසරදය සුව කරනවා.
- නින්දෙන් ගොරවන අයට ඉතාම ගුණදායකයි.
- ලේ පිරිසිදු කරනවා.
- සමේ ඇතිවන ආසාදන තත්ත්වය සුව කරනවා.
- දේහ බර අඩු කරනවා.
- හදවත නිරෝගී කරනවා.
- ආහාර රුචිය වර්ධනය කරනවා.
- හිසේ කැක්කුම් සුව කරනවා.
- කරකැවිල්ල සඳහා ගුණදායකයි.
- සර්ප විෂ සහ පිස්සු බලු රෝගය සඳහා ප්‍රතිකාර පිණිස භාවිත කරනවා.
ගැට තුඹ ශාකය ඖෂධීය භාවිතයන්

- සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සඳහා ගැට තුඹ මල් මිටවල් දෙකක් පමණ ගෙන තම්බා ගත් ජලය පානය කරන්න.
- බඩ එළිය යාම සදහා ගැට තුඹ කොළ මිටක් ගෙන අඹරා එහි යුෂ කෝප්ප භාගයක් ජලය සමඟ පානය කරන්න.
- කුෂ්ඨ දද ආදී රෝග සඳහා ගැට තුබ ශාකයේ කොළ අඹරා ශරීරයේ ගල්වා විනාඩි තිහක් පමණ තිබෙන්නට හැර සෝදා හරින්න. එමගින් ශරීරයේ ඇතිවන කැසීම් ඇතුළු ආසාදන තත්ත්ව සියල්ලක්ම දුරු කරගන්නට පුළුවන්.
- සෙම නැති කර ගැනීම සඳහා ගැට තුඹ ශාකයේ මුල් එකතු කර ඒවා කොත්තමල්ලි සමඟ තම්බා පානය කිරීමෙන් ශරීරයේ සෙම සුවපත් කරගන්නට හැකියාව ලැබෙනවා .
- උදරාබාධ සහ බඩ පිපීම සඳහා සම්පූර්ණ ගැටතුඹ ශාකයම ගෙන එයට සුදුලූනු, ඉඟුරු, කුරුඳු , අමුමිරිස් ආදිය එකතු කර තැම්බුම් හොද්දක් ආකාරයෙන් පිළියෙල කර පානය කිරීමෙන් උදරාශ්‍රිත කැක්කුම් බඩ පිපීම ආදී තත්ත්ව සුවපත් කරගන්නට පුළුවන්. ඒ වගේම මේ ශාකය වියලා කුඩු වශයෙන් ගෙන් සූදුරු සමග පානයෙන් ද උදරාබාධ සුවපත් කරගන්නට පුළුවන්.
ගැට තුබ ව්‍යංජනයක් සාදාගන්නා ආකාරය
- ගැටතුඹ ලපටි දඬු සමඟ කොළ මිටක්
- රතු ලූනු
- සුදු ලූණු
- අමු මිරිස්
- කුරුඳු පොත්තක්
- මිරිස්
- කහ
- තුන පහ කුඩු
- ලූණු
- පොල් කිරි කෝප්පයක්
සෝදා පිරිසිදු කරගත් ගැටතුබ කොළ තරමක කැබලිවලට කපා ලූණු මිරිස් තුනපහ ආදී මේ සියලුම දේවල් එකතු කර දිය කිරි ස්වල්පයකින් තම්බා පසුව මිටි කිරි එකතු කර සකසා ගන්න. ව්‍යංජනයක් හෝ මැල්ලුමක් ලෙස පිළියෙල කරගෙන ගන්නට හැකි ගැට තුඹ ශාකය අඩුම සතියකට වරක් හෝ ආහාරයට ගන්නට හැකි නම් එය අපේ ශරීරයට සතියක් පුරාවට එකතු වෙන විෂ හරණය කරගන්නට ඉතාම පහසුවක් වෙනවා.
සැලකිය යුතුයි ගැට තුඹ කොළ පමණක් මැල්ලුම් ලෙස සකස් කර ගන්නවා නම් එය වඩාත් සුදුසු වෙන්නේ නොනවත්වා මලපහ පිටවන පුද්ගලයකු සඳහා. මොකද තුබ බඩ වේලවන වන ස්වභාවයකින් යුක්ත නිසා. ඒ නිසා වඩාත් සුදුසු වෙන්නෙ බඩ වේලන ගතියකින් යුක්ත ගැට තුඹ කොළ සහ බඩ බුරුල් කර මලබද්දය නැතිකරන මුකුනුවැන් ආදී වෙනත් පලාවන් සමග එකතු කර කලවම් පලාවක් ලෙස සකසා ආහාරයට ගැනීමයි. මේ මැල්ලුම සකස් කර ගැනීමේදී දෙහි යුෂ එකතු නොකරන්නට වග බලාගන්න.