නිරෝගීව ජීවත් වීම අපි හැමෝගෙම ඒකායන පරමාර්ථය වුණත් ස්වභාදහමට අනුව අපිට විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වෙන්නට සිදු වෙනවා. මේ ලෙඩ රෝග නිසාම ජීවිතයෙන් සමුගන්නට දින ගණින ඇතැම් පුද්ගලයන් අතරින් තවත් කෙනෙක් තත්පරයක් හෝ වැඩිපුර හුස්ම අල්ලන් ඉන්නට වෙහෙසෙනවා . ඉතින් බොහෝ රෝගයන් කල්තියා හදුනා ගත්තොත් අපේ ජීවිතයට ඇති විය හැකි බලපෑම බොහෝ දුරට අඩුකරගන්නට පුළුවන්.
කලකට පෙර පිළිකාව බහුල රෝගයක් වුණේ නැතත් අද වෙද්දි වඩාත් බහුල විදිහට අපිට නිතර අසන්නට ලැබෙනවා. පිළිකා රෝගයට ගොදුරු වෙන අයගේ වයස් මට්ටම් පිළිබඳව සැලකුවොත් කුඩා දරුවන්ට පිළිකා ඇතිවීමේ අවදානම ඉතා අඩුයි. නමුත් ළමා කාලයේ ඇතිවන රෝගාබාධ නිසා දරුවන් මියයන සංඛ්‍යාව පිළිබඳව සැලකීමේදී වැඩිම දරුවන් පිරිසක් මරණයට පත් වෙන්නේ මේ පිළිකාව නිසා කියලා තමයි අද වෙද්දි හඳුනාගෙන තියෙන්නේ.
ස්ත්‍රී පුරුෂ බව, වයස අනුව මේ පිළිකාවල එකිනෙකට වෙනස් ලක්ෂණ දකින්නට පුළුවන්. නමුත් වයස අවුරුදු 1- 4 වයසේ පසුවන ගැහැනු පිරිමි දෙපාර්ශවයෙන්ම දරුවන් වැඩි වශයෙන් ගොදුරු වෙන බරපතළ පිළිකා තත්ත්වයක් තමයි මේ ලියුකේමියාව කියලා කියන්නේ. ඒ වගේම වයස අවු අවුරුදු 5-16 අතර වයස්වල පසුවන පිරිමි දරුවන් අතර වැඩි වශයෙන්ම වාර්තා වෙලා තියෙන පිළිකාව වෙන්නෙත් මේ ලියුකේමියාව. ඉතින් ඒ අනුව බලද්දී දරුවන් අතර බහුලව දකින්නට ලැබෙන පිළිකාවක් විදිහට මේ ලියුකේමියාව හඳුනා ගන්නට පුළුවන්.
ලියුකේමියාව ඇති වෙන්නේ කොහොමද

අපේ රුධිරයේ පවතින රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා නිපදවනු ලබන්නේ ඇට මිදුළුවලින්. එහිදී ඇට මිදුළු තුළ ඇති නොමේරු රුධිර සෛල වර්ධනය වෙලා රුධිරය නිපදවනවා.මේ රෝගයේදී සිදුවෙන්නේ නොමේරූ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනය වීමෙන් අත්‍යවශ්‍ය රුධිර සෛල වර්ධනයට බාධා ඇති කිරීම.එවිට නොමේරු රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනයෙන් ලියුකේමියා යන පිළිකා තත්ත්වය ඇති වෙනවා.
දරුවෙක් ලියුකේමියා රෝගයට ගොදුරු වෙලා ඇත්දැයි නිශ්චිතවම හඳුනාගත හැකි වෙන්නේ ඇටමිදුළු පරීක්ෂාවක් සිදුකිරීම මගින්. කොහොම වුණත් නවීන ප්‍රතිකාරකාර හේතුකරගෙන ලියුකේමියාවට ගොදුරු වුණු දරුවන්ගෙන් 80% ට පමණ සම්පූර්ණ සුවයක් ලබා ගන්නටත් හැකියාව තියෙනවා. නමුත් මෙහිදී වැදගත් වැදගත් කාරණයක් තමයි මන්ද මානසික තත්ත්වයේ පසුවන දරුවන්ට අනෙක් දරුවන්ට වඩා මෙම රෝග තත්වය ඇති වීමේ වැඩි හැකියාවක් තියෙන බව.
ලියුකේමියා වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් පවතිනවා.
• Acute Leukaemia – උග්‍ර ලියුකේමියාව
මෙය බොහෝවිට ළමයින්ට වැළදෙන අතර ඉක්මනින් වර්ධනය වන ලියුකේමියා තත්ත්වයයි. බොහෝ වෙලාවට මේ පිළිකාව සුව කිරීමේ හැකියාව පවතිනවා. නමුත් ඒ සඳහා පමා නොවී ප්‍රතිකාර ලබා ගත යුතුයි.
• Chronic Leukaemia – නිදන්ගත ලියුකේමියාව
සෙමෙන් වර්ධනය වන මෙය වයස් භේදයකින් තොරව ඕනෑම වයසක පසුවන අයෙකුට වැළදෙන්නට පුළුවන්. නමුත් මේ රෝගීන්ගේ රෝග ලක්ෂණ වසර දෙක තුනක් යනතුරු දැක ගන්නට ලැබෙන්නේ නැහැ.
ලියුකේමියාව ඇතිවීමට බලපාන හේතු
- උපතේදී ඇතිවන ජානමය ගැටළු
- පරිසර දූෂණය
- විකිරණවලට නිරාවාරණය වීම
- ආහාර රස කිරීමට යොදන රසකාරක, ආහාර වර්ග වර්ණ ගැන්වීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය
- විෂ දුම් ආඝ්‍රානය
- විෂ සහිත බෙහෙත් වර්ග
- අධික ලෙස දුම්පානය කිරීම
- කෘෂි රසායනික ද්‍රව්‍ය ආහාර සමග ශරීර ගත වීම
- වායුගෝලයේ ඕසෝන් ස්ථරයට සිදුවී ඇති හානිය
- HTLV වෛරස් ආසාදනය වීම නිසා පසුකාලීනව කලාතුරකින් මේලියුකේමියා රෝගය මතු වෙන්න පුළුවන්.
ලියුකේමියා රෝගය හඳුනාගත හැකි ලක්ෂණ
යම්කිසි දරුවෙක් ලියුකේමියා රෝගයට ගොදුරු වෙලා සති හතරක් වගේ කාලයකදී දරුවාගෙන් යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්. නමුත් පෙන්නුම් කරන්නේ සාමාන්‍ය රෝග තත්ත්වයකදී පෙන්නුම් කළ හැකි රෝග ලක්ෂණ.
- ආහාර රුචිය අඩුවීම
- කේන්ති යන ස්වභාවය
- උදාසීන බව සහ කම්මැලිකමරුධිරයේ රතු සෛල අඩු වෙන නිසා ශරීරය පුරා ඔක්සිජන් ගෙන යන්නට උදව්වෙන හිමොග්ලොබින් ප්‍රමාණය පහත වැටෙනවා. මෙහි ප්‍රතිඵලයක් විදිහට දරුවා උදාසීන සහ කම්මැලි ස්වභාවයකට පත් වෙනවා. ඉතින් එවැනි අවස්ථාවකදී දරුවා වෛද්‍යවරයකු කරා යොමු කරන විට එය රක්තහීනතාවය ලෙස හඳුනා ගන්නට පුළුවන්. නමුත් ඇතැම් විටෙක එය ලියුකේමියා රෝගය වෙන්නටත් ඉඩකඩ තියෙනවා.
- නිතර නිතර ස්වසන මාර්ගය ආසාදනයට ලක්වීමස්වසන මාර්ගයේ ඇතිවන ආසාදනවලින් දරුවන් සම්පූර්ණයෙන්ම සූවය ලබන්නේ නැහැ. විශේෂයෙන්ම ලියුකේමියාවට ගොදුරුවන දරුවන් තුළ ප්‍රතිශක්තිකරණය අඩු මට්ටමක පැවතීම තමයි මෙවැනි තත්ත්වයන් ඇතිවෙන්නට බලපාන්නේ.
- ශරීරයේ තැනින් තැන කුෂ්ඨ මතුවීම
- වසා ගැටිති ඉදිමීම
- දරුවා සුදුමැලි වීම
- විදුරුමස්, මුත්‍රා මාර්ගයෙන් ආදී ස්ථානවලින් රුධිරය වහනය වීමමෙසේ රෝගී දරුවන්ගේ ශරීරයේ විවිධ ස්ථානවලින් රුධිරය වහනය වෙන්නේ රුධිරය කැටි ගැසීමට උපකාරී වන පට්ටිකා රුධිරයේ හිඟ වීම හේතු කරගෙනයි. මේ ලක්ෂණ ලියුකේමියාවට ගොදුරු වෙලා සති කිහිපයක් තුළ දකින්නට හැකියාව ලැබෙනවා.
- රාත්‍රී කාලයේ දී අධික ලෙස දහදිය දැමීම
- සම මත දම් හෝ රතු පැහැ ලප
- හතිය, ඉරුවාරදය සහ අස්ථි වේදනාව
- කන පැසවීම
- පපුවේ කුඩා ගෙඩියක් වැනි යමක් මතුවීම
- නොකඩවා ඇතිවන උණ
- රුධිරයේ සුදු සෛල අඩවීම නිසා ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු වීමෙන් විවිධ බෝවන රෝගවලට ලක්වීම සාමාන්‍යයෙන් මේ ඇට මිදුළුවල හටගන්නා ලියුකේමියා රෝගය අක්මාව, මොළල,වෘෂණ කෝෂ ආදී අවයවයන්ටත් බලපෑම් කරනවා. ඇතැම්විට අපස්මාරය වැනි තත්ත්වයන් පෙන්නුම් කිරීමත්, අක්මාව, කෝෂ ඉදිමීම ආදී ලක්ෂණයන් ද බාහිරව පෙන්නුම් කරන්නට පුළුවන්.
මේ රෝග තත්ත්වය වෛද්‍ය උපදෙස් අනුව නිසි පරිදි ප්‍රතිකාර ලබා ගැනීමෙන් සාර්ථක ලෙස පාලනය කර කරගන්න පුළුවන්. නමුත් මෙය සතියකින් දෙකකින් මාසයකින් දෙකකින් ප්‍රතිකාර අවසන් කළ හැකි රෝග තත්ත්වයක් නෙවෙයි. වසර දෙකක් පමණ කාලයක් දරුවාට නොකඩවා ප්‍රතිකාර සිදු කරන්නට වෙනවා .
ලියුකේමියා රෝගයට ප්‍රතිකාර ලබන දරුවෙක් රැකබලා ගන්නේ කොහොමද
- මෙවැනි දරුවෙකුගේ ප්‍රතිශක්තිකරණ හැකියාව අඩු නිසා විශාල පිරිසක් ගැවසෙන ස්ථානවලින් දරුවා හැකිතාක් ඈත් කර තබන්නට ඕන. සෙම්ප්‍රතිශ්‍යාව, බෝවන උණ වැළඳුණු දරුවන්ගෙන් ලියුකේමියා දරුවන් වෙන් කර තබන්නට ඕන.
- ලියුකේමියා රෝගයෙන් පීඩා විඳින දරුවෙකුට නිතරම නිවසේ සකස් කරන ලද ආහාර පාන ලබා දීම අනිවාර්යයි
- දරුවා සෑමවිටම සතුටින් තැබීමත් වැඩිහිටි ඔබගේ වගකීමක්.
- දරුවාට මනා පෝෂණයක් සඳහා අවශ්‍ය කරන ප්‍රෝටීන් බහුල මස් වර්ග, මාළු, බිත්තර, කිරි සමග නැවුම් එළවළු සහ පළතුරු ආහාර වේලට එකතු කිරීම අනිවාර්යයි.
දරුවා ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරනවා නම් ඒ වෙනුවට පෝෂණීය සුප් වර්ග ලබා දෙන්නට පුළුවන්. මේ රෝගීන්ට අගුණ ආහාර ලෙස කිසිවක් සඳහන් නොවුණත් තෙල් මිරිස් අධික ආහාර ලබා දීම සීමා කිරීම වැදගත්.
අද බොහෝ අය ලියුකේමියාව යන නම ඇසූ සැණින් බියට පත්වෙනවා. නමුත් මේ රෝගී තත්ත්වය ඈත අතීතයේ සිටම පැවතෙන තත්ත්වයක්. කොහොමනමුත් මේ රෝගී තත්ත්වයේදී කළ යුතු ප්‍රධානම කාර්ය වන්නේ නිවැරදිව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පමණයි.