ඇඟේ ලේ වතුර වෙන ලියුකේමියාව රෝග ලක්ෂණ 20 ක්

health tips

ඇඟේ ලේ වතුර වෙනවා කියලා අපේ පැරණි උදවිය කියනවා ඔබ අසා ඇති. ඒ රෝග තත්ත්වය තමයි මේ ලියුකේමියාව නැත්නම් ලේ පිළිකාව කියන්නේ.ලියුකේමියා කියන්නෙත් එක්තරා පිළිකා වර්ගයක්. අද මුළු මහත් ලෝකයම ගිල ගනිමින් සිටින පිළිකා රෝග ඇතිවන ස්ථානය අනුව එහි ස්වරූපය අනුව වයස හා ස්ත්‍රී පුරුෂභාවය මත විවිධ වෙනවා. ඉතින් ලියුකේමියාව කියන පිළිකා තත්ත්වය වැඩි වශයෙන් දරුවන්ට වැළදෙන රෝගයක්. නමුත් මේ රෝගය වැඩිහිටියන්ටත් වැළදෙන භයානක රෝගයක් බව අමතක කළ යුතු නැහැ. අද වෙද්දි මේ ලියුකේමියා රෝගයට ගොදුරු වූ අයගෙන් 80% පමණ සම්පූර්ණ සුවයක් ලබා ගන්නට පුළුවන්. නමුත් මේ ප්‍රතිකාර ව්සර 2ක් පමණ කළ යුතු වෙනවා. ඒ වගේම ලියුකේමියා රෝගයට ගොදුරු වුණ දරුවෙක් වඩාත් පරෙස්සමින් බලාගත යුතු වෙනවා. ඉතින් ලියුකේමියාව සැබැවින්ම එක්තරා දරුණු පිළිකා වර්ගයක්. ඒ නිසාම මේ ලිපියෙන් අපි කතා කරන්නට සූදානම් වෙන්නේ මේ ලියුකේමියා රෝග තත්ත්වය පිළිබඳවයි.

ලියුකේමියාව ඇති වෙන්නේ කොහොමද 

අපේ රුධිරයේ පවතින රතු රුධිරාණු, සුදු රුධිරාණු සහ රුධිර පට්ටිකා නිපදවනු ලබන්නේ ඇට මිදුළුවලින්. එහිදී ඇට මිදුළු තුළ ඇති නොමේරු රුධිර සෛල වර්ධනය වෙලා රුධිරය නිපදවනවා.මේ රෝගයේදී සිදුවෙන්නේ නොමේරූ සෛල අසාමාන්‍ය ලෙස වර්ධනයවීමෙන් අත්‍යවශ්‍ය රුධිර සෛල වර්ධනයට බාධා ඇති කිරීමයි.එවිට නොමේරු රුධිර සෛල අසාමාන්‍ය ලෙස වර්ධනයෙන් ලියුකේමියා යන පිළිකා තත්ත්වය ඇති වෙනවා.ලියුකේමියා වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් පවතිනවා.

Acute Leukaemia – උග්‍ර ලියුකේමියාව මෙය බොහෝවිට ළමයින්ට වැළදෙන අතර ඉක්මනින් වර්ධනය වන ලියුකේමියා තත්ත්වයයි. බොහෝ වෙලාවට මේ පිළිකාව සුව කිරීමේ හැකියාව පවතිනවා. නමුත් ඒ සඳහා පමා නොවී ප්‍රතිකාර ලබා ගත යුතුයි.

Chronic  Leukaemia –  නිදන්ගත ලියුකේමියාව සෙමෙන් වර්ධනය වන මෙය වයස් භේදයකින් තොරව ඕනෑම වයසක පසුවන අයෙකුට වැළදෙන්නට පුළුවන්. නමුත් මේ රෝගීන්ගේ රෝග ලක්ෂණ වසර දෙක තුනක් යනතුරු දැක ගන්නට ලැබෙන්නේ නැහැ.

ලියුකේමියා ඇති වීමට බලපාන හේතු මේ ලියුකේමියාව ඇති වෙන්නට බලපාන නිශ්චිත හේතුවක් දැක්විය නොහැකි වුණත් පහත සඳහන් හේතූන් නිසාවෙන් අයෙක් ලියුකේමියා රෝගයට ගොදුරු වෙන්නට පුළුවන්.

  • උපතේදී ඇතිවන ජානමය ගැටළු 
  • පරිසර දූෂණය 
  • විකිරණවලට නිරාවාරණය වීම 
  • බෙන්සීන් (Benzene) වැනි සමහර රසායන ද්‍රව්‍ය නිරාවරණය වීම
  • ආහාර රස කිරීමට යොදන රසකාරක, ආහාර වර්ග වර්ණ ගැන්වීමට යොදා ගන්නා රසායන ද්‍රව්‍ය  
  • විෂ දුම් ආඝ්‍රානය 
  • විෂ සහිත බෙහෙත් වර්ග  
  • අධික ලෙස දුම්පානය කිරීම 

රෝග ලක්ෂණ 

  • කැම රුචිය අඩුවීම 
  • තද හිස කැක්කුම් හා තෙහෙට්ටුව 
  • ඉක්මනින් කේන්තියාම 
  • කම්මැලි ස්වභාවය
  • නිතර නිතර ලෙඩවීම (සෙම්ගෙඩි ඇතිවීම,විදුරුමස් ඉදිමීම, නිරන්තර හාමත් තත්ත්වයක් ඇතිවීම, නියුමෝනියාව හට ගැනීම ) 
  • ශරීරයට ඇතුළු වන රෝගකාරක විශබිජවලට එරෙහිව සටන් කරන්නට නොමේරු සුදු රුධිර සෛලවලට නොහැකි නිසා නිතර නිතර ස්වසන මාර්ගය ආසාදනයට ලක්වීම ආදී ලෙඩරෝග වැළදිය හැකියි. 
  • වසා ගැටිති හා අක්මාව ඛේට ග්‍රන්ථි ඉදිමීම 
  • බර අඩුවීම 
  • තදබල නීරක්තිය 
  • ඔක්කාරය වමනය, පාචනය  
  • රාත්‍රී කාලයේ දී අධික ලෙස දහදිය දැමීම 
  • ශරීරයේ තැනින් තැන කුෂ්ට මතුවීම 
  • මුඛයේ විදුරුමස්, මුත්‍රා මාර්ගය, දෘෂ්ටි පටලය  වැනි ස්ථානවලින් රුධිරය වහනය වීම 

එයට හේතුව රුධිරය කැටි ගැසීමට උපකාරී වන පට්ටිකා රුධිරයේ හිඟ වීම නිසා.

  • සුදු මැලිවීම 
  • කන පැසවීම 
  • පපුවේ කුඩා ගෙඩියක් වැනි යමක් ඇතිවීම 
  • නොකඩවා පවතින උණ 
  • සන්ධිවල වේදනාව
  • බඩ ඉදිමීම, මළපහ තද කළු පැහැයෙන් පිටවීම
  • පිරිමින්ගේ වෘෂණ ඉදිමීම වැනි රෝග ලක්ෂණ වුණත් ඇතැම්විට පෙන්නුම් කරන්නට පුළුවන්.

ලියුකේමියා රෝගියෙක් නම් 

  • රෝගියාගේ ශරීරයේ ප්‍රතිශක්තිය අඩු නිසා ලෙඩ රෝගවලට ගොදුරුවීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා වඩාත් පරෙස්සම් විය යුතුයි.
  • විශාල පිරිස් ගැවසෙන ස්ථානවලට නොයාම, බෝවන උණ, ආදිය වැළදුණු රෝගීන්ගෙන් ලියුකේමියා රෝගීන් වෙන්කර තැබිය යුතුයි.
  • නිතරම නිවසේ පිළියෙල කරන ලද ආහාරපාන ලබාගත යුතුයි.
  • පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරවේලක් ලබා ගත යුතුයි.
  • අධික තෙල් සහ මිරිස් සහිත ආහාරවලින් වැළකිය යුතුයි.

ප්‍රතිකාර 

ලියුකේමියා රෝගය සඳහා නිශ්චිත ප්‍රතිකාර සහ ආධාරක ප්‍රතිකාර වශයෙන් ප්‍රතිකාර ක්‍රම දෙකක් භාවිත කරන අතර එයින් එකක් වන්නේ පිළිකා නාශක ඖෂධයයි. ඒ හැරුණාම ඇට මිදුළු බද්ධය හා කලාතුරකින් විකිරණ ප්‍රතිකාර ද භාවිතා කරනු ලබනවා.

වයස අවුරුදු 5-16 අතර වයසේ පසුවන දරුවන් අතර වැඩි වශයෙන් වාර්තා වන මේ ලියුකේමියා රෝග තත්ත්වය නිසා මුළු ලෝකය පුරාම දරුවන් ඉතාම අවාසනාවන්ත ලෙස මරණයට පත්වෙනවා. ඒ නිසාම අද බොහෝඅය ලියුකේමියාව යන නම ඇසූ සැණින් බියට පත්වෙනවා.නමුත් මේ රෝගී තත්ත්වය ඈත අතීතයේ සිටම පැවතෙන තත්ත්වයක්. කොහොමනමුත් මේ රෝගී තත්ත්වයේදී කළ යුතු ප්‍රධානම කාර්ය වන්නේ නිවැරදිව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම පමණයි.එහිදී ඒ ප්‍රතිකාර මාසයකින් දෙකකින් අවසන් නොවන නිසා එය මගනොහැර ලබාගැනීම කළ යුතුයි. මූලික ප්‍රතිකාර සති 6 ක් පමණ එක දිගට කරනු ලබන අතර ඉන්පසුව වරින් වර වසර 2 ක පමණ කාලයක් ප්‍රතිකාර කළ යුතු වෙනවා.එවිට මේ රෝගී තත්ත්වය සුවකර ගැනීම අපහසු නැහැ.