අද අපි කතා කරන්නේ ලොකු කුඩා හැමෝම වගේ ආහාරයට ගන්නට කැමති රසවත් ගුණවත් පලතුරක් වන අලි ගැට පේර පිළිබඳව. Avacado නැත්නම් අලි පේර වසරේ සැම කාලයකම දැක ගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් පලතුරක් ලෙස, අතුරුපසක් ලෙස, සැලඩ් එකක් ලෙස, පානයක් විදියටත් අපි නිරන්තරයෙන් මේ පලතුර ආහාරයට එකතු කරගන්නවා. නිතර ආහාරයට ගත්තත් අලිගැට පේර මේ තරම් ගුණයි කියලා ඔබ දැන නොසිටින්නට ඇති. ඉතින් දන්නා නොදන්නා හැමෝමටම දැන කියා ගන්නට මේ අලිගැට පේර සතු සුවිශේෂී ගුණ මොනවාද කියලා විමසා බලමු.
අලිගැට පේර සෞඛ්‍ය සම්පන්න මොනොසැටරේඩ් මේද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩංගු වෙන පලතුරක්. ඒ විතරක් නෙවෙයි මෙහි විටමින් සහ ඛනිජ ලවණ වර්ග 20 කට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා.විටමින් K, C, B5, B6, E, A, පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස්, තඹ, සින්ක්, යකඩ, තයමින්, රයිබොෆ්ලේවින්, නියසීන් ආදී පෝෂක බොහොමයක් මේ අලි ගැට පේරවල අඩංගු වෙනවා. ඒ වගේම පොටෑසියම් බහුල ප්‍රභවයක් ලෙසටත් ඉතා වැදගත් වන මේ අලිපේර ප්‍රතිඔක්සිකාරක බහුලයි.
අලිගැට පේර ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

හදවත් රෝග ඇතිවීම වළක්වයි සිරුරට හිතකර HDL කොලෙස්ටරෝල් බහුලව අන්තර්ගත වන අලිපේර ආහාරයට ගැනීම හදවත් රෝගවලින් ආරක්ෂා වෙන්නට උපකාරී වෙනවා.
අධි රුධිර පීඩනය අඩු කරයි ඉදුණු කෙසෙල්වලටත් වඩා වැඩි පොටෑසියම් ප්‍රමාණයක් අඩංගු වෙන අලිගැට පේර රුධිර පීඩනය යහපත් මට්ටමින් පවත්වාගෙන යන්නටත්, අධි රුධිර පීඩනය අඩු කරන්නට උපකාර කරනවා. එය ආඝාත තත්ත්වයන් අවම කරගන්නටත් බෙහෙවින් උපකාරී වෙනවා.
රුධිරගත සීනි මට්ටම පාලනය කරයි මේ අලි ගැට පේර තන්තු බහුල ආහාරයක් නිසා ඒ තන්තු මගින් රුධිරයේ සීනි ප්‍රමාණය අඩු කරමින් බොහෝ රෝගවලට ඇති අවදානමත් අඩු කරනු ලබනවා.
ශරීරයේ බර අඩු කිරීමට උපකාරී වෙයි අලිගැට පේර සතු කාබෝහයිඩ්රේට් ප්‍රමාණය අඩුවීම සහ තන්තු බහුල වීම නිසා දිනපතාම ආහාරයට එකතු කරගැනීම වරදක් නොවෙයි. නමුත් බොහෝදෙනා මෙහි මේද බහුලව අන්තර්ගත නිසා ආහාරයට ගැනීම සීමා කරනවා. නමුත් අලිපේරවල අන්තර්ගත වෙන්නේ හිතකර මේද. එමගින් නිතර නිතර කුසගිනි ඇතිවීම වළක්වනවා. ඒ නිසා ඉතා ඉක්මනින් එය සිරුරේ බර් අඩු කර උසට සරිලන බරක් පවත්වාගෙන යන්නටත් උපකාරී වෙනවා.
පිළිකා ඇතිවීම වළක්වයි පිළිකා ඇතිවීම වළක්වා ගන්නට තවත් එක් හොඳම ආහාරයක් තමයි අලිපේර. එමගින් පුරුෂයන්ට පුරස්ති ග්‍රන්ථි ආශ්‍රිතව ඇතිවිය හැකි පුරස්ථි ග්‍රන්ථි පිළිකා තත්ත්වයන් ඇතිවීම වගේම මුඛ පිළිකා ඇතිවීම අවම කිරීමේ හැකියාව පවතිනවා.
ආතරයිටීස් බලපෑම් අඩු කරයි අලිගැටපේර සතු සංයෝගයන් ආතරයිටීස් රෝගීන්ගේ වේදනාව වගේම අස්ථි ඝනවීම් ආදී තත්ත්වයන් සමනය කරන බව සමීක්ෂනවලින් හෙළි කර තියෙනවා.
වකුගඩු හා අක්මාව ආරක්ෂා කරයි වකුගඩුවකට වඩාත් හිතකර ආහාරයක් ලෙස මෙය සලකනු ලබන්නේ එය ප්‍රතිඔක්සිකාරක බහුල පලතුරක් වීම හා එහි ඔලෙයික් අම්ලය අඩංගු වීම යන කාරණා නිසාවෙන්. ඒ නිසාම මේ අලි ගැට පේර අක්මාවේ නීරෝගී පැවැත්මටත් බෙහෙවින් හේතුවෙනවා.

ඇස් පෙනීම වර්ධනය කරයි අලිගැට පේරවල අන්තර්ගත කැරටිනොයිඩ්, ග්ලුටේයින් හා සියැක්සැන්ටීන් ආදී සංඝටක ඇස් පෙනීම වර්ධනය කිරීමට උපකාරී වෙනවා. ඒ වගේම ඇසේ සුද ඇතිවීම ආදී තත්ත්වයන් පවා ඇතිවීම වළක්වා ගන්නට මේ අලිගැට පේර ඉතා වැදගත් වෙනවා.
අලිගැට පේර ඇටය අනුභවයෙන් ලබාගත හැකි සෞඛ්‍යමය ප්‍රතිලාභ අලි ගැට පේර ගෙඩියේ මදය පමණක් ආහාරයට ගෙන එහි පොත්ත වගේම ඇටයත් අපි විසි කරන්නට පුරුදු වෙලා ඉන්නවා. නමුත් මේ බීජයේ වගේම පොත්තේ අති විශාල පෝෂක ගුණයන් අන්තර්ගත වෙනවා. විශේෂයෙන්ම අලිගැට පේර මදයේ සහ පොත්තේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශතයට වඩා ඇටයේ අඩංගු ප්‍රතිඔක්සිකාරක ප්‍රතිශතය 40% කින් ඉහළයි. ඒ හැරුණාම පිළිකා රෝගීන්ට වඩාත් යෝග්‍ය ෆ්ලෙවනෝල් ආදී ප්‍රතිඔක්සිකාරක මේ බීජයේ අඩංගු අතර මෙහි ජල ද්‍රාවී තන්තු බහුල වශයෙන් අන්තර්ගත වෙනවා. සිරුරේ විෂ නැසීමට උපකාරී වෙන සංයෝග රාශියක් ද විටමින් B, ෆෝලේට් සහ හිතකර මේදයත් බහුලව අඩංගු වෙනවා.ඒ නිසාම මේ අලිගැට පේර ඇට අනුභවයෙන් අපට සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට අවශ්‍ය කරන ප්‍රතිලාභ බොහොමයක් ලබා ගන්නට පුළුවන්.
- ශරීරයේ ප්‍රතිශක්තිය ඉහළ නංවයි.
- අස්ථි රෝග අවම කරයි
- ආහාර ජීර්න පද්ධතියේ ප්‍රදාහයන් සමනය කරයි
- ආහාර මාර්ගයේ තුවාල සුව කිරීමට ඉතා සුදුසුයි
- රුධිරයේ සීනි මට්ටම පාලනය කරයි
- සිරුරේ බර පාලනය කරයි
- මල බද්ධය වළකයි
- අතීසාරය ඇතිවීම වළක්වයි
- පිළිකා මර්දනය කරයි.
- ලියුකේමියා රෝගය ඇතිවීම වළක්වයි
- අහිතකර කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි
- දියවැඩියාවට ගුණදායකයි

අලි පේර ඇට භාවිතා කරන ආකාරය
- අලිගැට පේර ඇට හොඳින් සෝදා වියළා ගන්න.
- සෙල්ෂියස් අංශක 120 උෂ්ණත්වයෙන් පැය දෙකක් බේක් කරගන්න.
- පසුව පොත්ත ගල්වා ඉවත් කරන්න.
- පිහියක් හෝ ග්ටේටරයක් භාවිතයෙන් කුඩා කැබලිවලට වෙන් කර බ්ලෙන්ඩර් කර පවුඩර් එකක් ලෙස සකස් කර ගන්න.
- මේ පවුඩර් එකේ තෙතමනය ඉවත් කිරීමට රෝස් කර සුළං නොවදින සේ බෝතලයක ගබඩා කරන්න.
- මේ අලිපේර කුඩු ආහාරවලට ඉස ගැනීමෙන් හෝ තේ හැන්දක පමණ ප්‍රමාණයක් තේ මෙන් සකසා පානය කිරීමෙන් පානය කළ හැකියි.
ඉතින් අලි ගැට පේර මදය වගේම ඇටයත් විසි නොකර භාවිතා කිරීමෙන් සෞඛ්‍යමත් ජීවිතයක් ගත කරන්නට අපිට හැකියාව ලැබෙනවා.