අක්මාව රැකගැනීම සඳහා  ගත යුතු ආහාර සහ පිළිපැදිය යුතු උපදෙස්

health tips

මිනිසුන්ගේ පමණක් නෙවෙයි සතුන්ගේත් ශරීරයේ තියෙන පෝෂණ ගබඩාව තමයි අක්මාව. ආහාරයට  ගන්නා සතුන්ගේ අක්මාව කැවුත්ත හෙවත් කෑ යුත්ත කියලයි  අතීතයේ දී හැඳින්වුණේ. ඕනෑම සතෙකුගේ ශරීරයේ පෝෂණ ගුණයෙන් ඉහළම මාංශ කොටස වෙන අක්මාව තමයි අපි පීකුදු යන නමින් හඳුන්වන්නේ.

 ඉතින් සතුන්ට වගේම මිනිසුන් වන අපේ පණ රැකගන්නට විශාල කාර්යභාරයක් ඉටුකරන අවයවයක් තමයි අක්මාව. උදර කුහරය ඇතුලේ තියෙන විශාලතම ඉන්ද්‍රිය වන අක්මාව අපේ ශරීරයට අවශ්‍ය කරන විටමින් ඛනිජ ලවණ වර්ග සහ කාබෝහයිඩ්‍රේට් පවා ගබඩා කරගන්නවා. ඒ වගේම  ආහාර ජීරණයට අත්‍යවශ්‍ය වන පිත නිෂ්පාදනයට වගේම අපේ ශරීරයේ විෂ හරණය කිරීමේ බාරදූර කර්තව්‍ය සිදු කරන්නේ මේ අක්මාව මගින්.  මේ සියල්ලටම අමතරව මත්පැන් සහ රරසායනික බෙහෙත් වර්ග බිඳ හෙළීමත් අක්මාව මගින් සිදු කරනවා.

 අක්මාව විසින් සිදුකරන  මේ සුවිශාල කාර්යභාරය  අඩපණ වුණොත්  අපේ දේහයට නරක බලපෑම් රාශියක්ම  ඇති වෙනවා. ඉතින් ඒ නිසා අක්මාවට අහිතකර දේ නොගැනීම වගේම  හිතකර දේ  ගැනීමත් එහි ක්‍රියාකාරිත්වය පහසු කරන්නට උදව් වෙනවා. මොකද ඇතැම් අවස්ථාවල අපි විසින් සිදුකරන වැරදි අක්මාවේ සෞඛ්‍ය තත්වය ඉතාමත් අයහපත් කරන්නට හේතු වෙනවා. ඒ හේතුවෙන් අක්මාව පිරිසිදු කරගෙන එහි පැවැත්මට දායකත්වය දිය හැකි ආහාර පාන සහ චර්යා රටාවක් අනුගමනය කිරීම  පිළිබඳව අප දැනුවත් වීම ඉතාම වැදගත්.

 වාසනාවට අක්මාවට ඇති විය හැකි හානිය අඩුකර ගන්නට සහ එහි තීව්‍ර බව අඩු කර ගන්නටත් මිනිසුන් වශයෙන් අපිට හැකියාව ලැබිලා තියෙනවා. 

නමුත් යම් අවස්ථාවක අක්මාව නැවත ගොඩ ගන්නට නොහැකි තරමටම අකර්මණ්‍ය වුණාම සිදුකළ හැකි සුදුසුම පිළියම වෙන්නේ රෝගී අක්මාව වෙනුවට නිරෝගී අක්මාවක් බද්ධ කිරීම .මේ බද්ධ කිරීමට සම්පූර්ණ අක්මාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වෙනුවට නිරෝගී අක්මාවකින් ලබා ගත් කොටසක් පමණක් බද්ධ කිරීම බොහෝ අවස්ථාවල ප්‍රමාණවත් වෙනවා. කාලයත් සමගම ඒ කොටස සම්පූර්ණ අක්මාවක් දක්වාම වර්ධනය වීම සිදුවෙනවා. අක්මාව පරිත්‍යාග කළ තැනැත්තාගේ අක්මාවත් කාලයත් එක්කම සාමාන්‍ය තත්ත්වයක් දක්වා වර්ධනය වෙනවා.

 ඉතින් අක්මාව අපේ ශරීරයේ තිබෙන ඉතාම සුවිශේෂී අවයවයක්. එය ආරක්ෂා කරගන්නා එක අපිට එතරම් අපහසු නැහැ ඒ පිළිබඳව හොඳ දැනුවත් වීමක් අප තුළ තිබුණොත්. ඒ නිසා අපි අද කතා කරමු අක්මාව සෞඛ්‍ය සම්පන්නව තියාගන්න අපි සිදු කළ යුතු දේවල් මොනවාද කියන කාරණාව පිළිබඳව.

  1. අක්මාව පිරිසිදු කරන ආහාර පරිභෝජනය

සුදු ළූණු 

 අපේ ශරීරයට බොහෝ ගුණ දෙන සුදු ළූණු අක්මාවේ එකතු වී තිබිය හැකි විෂ රසායනික දියකර හරින එන්සයිම නිෂ්පාදනය උත්තේජනය කරන්නට උදව් වෙනවා. අක්මාව විසින් තැන්පත් කරගන්නා විෂ ද්‍රව්‍ය නිසි පරිදි බැහැර කරන්නට හැකියාව  නොලැබුණොත් එමගින් අක්මාවට හානි සිදු වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා සුදු ළූණු ඔබ නිරන්තරයෙන් ඔබේ ආහාරයට සුදුසු එකතු කරගන්නවා නම් සුදු ළූණු වල ඇති ප්‍රධානම ක්‍රියාකාරී සංයෝගය වෙන ඇලිසින් මගින් අක්මාව පිරිසිදු කිරීම සිදු කෙරෙනවා.

ඕට්ස්

 ආහාරවල අඩංගු වෙන ශරීරයට අහිතකර කොලෙස්ටරෝල් ශරීරයට උරා නොගෙන ඒවා මළ ද්‍රව්‍ය සමඟ බැහැර කරන්න උදව් වෙන ද්‍රව්‍යමය ආහාරමය තන්තුවලින් පොහොසත් ආහාරයක් තමයි ඕට්ස්. නිරන්තරයෙන් ඕට්ස් ආහාරයට ගන්නා පුද්ගලයෙකුගේ අක්මාවේ නිෂ්පාදනය වන කොලෙස්ටරෝල් ශරීරයට හිතකර කොලෙස්ටරෝල් වීමේ ප්‍රවණතාවය සැලකිය යුතු තරම් ඉහළ යනවා. මේ ඕට්ස් අක්මාවට ගුණදායක වෙන අනිත් කාරණාව වෙන්නේ එහි ඇති බීටා නූටන්  සංයෝගය හේතු කරගෙන .අක්මාවේ මේද තැන්පත් වීම බොහෝ දුරට අඩු කිරීමේ ඉහළ හැකියාවක් තිබීම. ඒ වගේම අක්මාවේ පිළිකා ඇතිවීමේ අවදානමක් මේ නිසා අඩු කරගන්න පුළුවන්.

ඔලිව් තෙල්

 අක්මාව ඇතුළු ශරීරයේ තවත් අවයව බොහෝමයකට ගුණදායක ඔලිව් තෙල්වල අඩංගු වෙන්නේ අසංතෘප්ත මේදය. ශරීරයට ලබාගන්නා අසංතෘප්ත මේද ප්‍රතිශතය වැඩිවීම අක්මාවේ සෛලවල නිරෝගී බව සහ එහි ක්‍රියාකාරිත්වය ඉහළ නංවන්නට විශාල වශයෙන් දායක වෙනවා.

මිදි 

ප්‍රතිඔක්සිකාරක අධිකව අන්තර්ගත වෙන මිදි අක්මාවේ ආරක්ෂාවට හරිම වැදගත්. කෙටි ආහාර මාංශ ආදිය ආහාරයට ගැනීමෙන් ලැබෙන ට්‍රාන්ස් මේද අඩංගු මුක්ත ඛණ්ඩකවලින් වැඩිම හානියක් වෙන්නේ ඒවා ගබඩා කරගෙන තබා ගන්නා අක්මාවට  නිසා ඒ මුක්ත ඛණ්ඩක මගින් අක්මාවට සිදුවන හානිය අඩු කරගන්නට මේ මිදි ගෙඩියට වගේම  මිදි ඇටවලටත්  විශේෂ හැකියාවක් තියෙනවා. ඒ නිසා හැකි සෑම විටම මිදි ආහාරයට එකතු කර ගැනීම හරිම වැදගත්.

බීට් රූට්

 විටමින් A, විටමින් B6 සහ යකඩවලින් පොහොසත් බීට් රූට් අක්මාව පිරිසිදු කරන සංයෝග බොහොමයකින් පරිපූර්ණ ආහාරයක්. පිස ගැනීමෙන් ආහාරයට ගන්නවාට වඩා බීට්රූට් යුෂ වශයෙන් සකසා ආහාරයට ගන්නා එක ඉතාම සුදුසුයි. මේ බීට්රූට් යුෂ අක්මාවේ ස්වභාවික ප්‍රතිවිෂ එන්සයිම නිෂ්පාදනය උත්තේජනය කර එහි විෂ බෙදාහැරීමේ කටයුතු කාර්යක්ෂම කරලා නිරෝගී අක්මාවක් පවත්වා ගන්නට උදව් කරනවා.

බ්‍රොකොලි 

බ්‍රොකොලි ශරීරයේ විෂ ඉවත් කර ගැනීම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කරන ආහාරයක්. අක්මාව, වකුගඩු ඇතුළු අවයවවල විෂ එක්රැස් වීම අඩු කරන්නටත්, අක්මාවේ ප්‍රතිවිෂ එන්සයිම නිෂ්පාදනයට අවශ්‍ය පෝෂක සපයන්නත් මේ බ්‍රොකොලිවලට හැකියාව තියෙනවා. සිරෝසීස් රෝගීන්ට බ්‍රොකොලි ආහාරයට ගැනීමට  වෛද්‍යවරුන් පවා නිර්දේශ කරන්නේ ඒ නිසාවෙන්මයි. 

Fresh broccoli isolated on white background

අලිගැටපේර 

ඒක සංතෘප්ත මේදවලින් සහ විටමින් E වලින් පරිපූර්ණ අලිගැට පේරවල ග්ලයිසිමික් අගය ඉතා අඩු අගයක පවතින නිසා අක්මාවට විශාල සහනයක් එයින් සැලසෙනවා. අක්මාවේ සෛලවල  ක්‍රියාකාරීත්වයට උදව් වන විටමින් සහ ඛනිජ ලවණ විස්සකට වඩා වැඩි ප්‍රමාණයක් අලිගැටපේර ගෙඩියක් ආහාරයට ගැනීමෙන් ලබා ගන්නට පුළුවන් .

ලින්නා මාලු

 අක්මාවේ විෂ නසන එන්සයිමවල මනා ක්‍රියාකාරීත්වයට උදව් වන අතිරේක මේදය තැන්පත් වීම පාලනය කරන්නත් ඔමේගා ත්‍රී වලට විශේෂ හැකියාවක් තියෙනවා.  ප්‍රතිලාභ බොහොමයක් තියෙන ඔමේගා ත්‍රී මේද අම්ල  පහසුවෙන්ම ලින්නා මසුන් ආහාරයට ගැනීමෙන් ලබා ගන්නට පුළුවන්. අක්මාවට අහිතකර විය හැකි රතු මස් වර්ග ආහාරයට ගන්නවට වඩා ලින්නා මසුන් ආහාරයට ගැනීම අක්මාවේ සෞඛ්‍යයට හිතකරයි.

ලෙමන් 

ඇල්කොහොල් භාවිතය නිසා අක්මාවට විය හැකි හානිය බොහෝදුරට අඩුකර ගන්නට ලෙමන්වලට හැකියාව තියෙනවා . ලෙමන් යුෂ පානය කිරීම මගින් අක්මාවේ සෛලවලට සිදුවන විනාශය බොහෝදුරට අඩුකර ගන්නට ලෙමන්වල අඩංගු අම්ල සංයෝජන උදව් වෙනවා. ඒවා  මගින් ඇල්කොහොල් බිඳ හෙලන්නත්  විශාල පහසුවක් ලබා දෙන නිසා අක්මාව වෙහෙස වීම අවම කරගන්නට පුළුවන්. 

හරිත තේ

 අද වෙද්දි ලෝකය පුරාම වඩාත් ජනප්‍රිය පානයක් විදිහට ග්‍රීන් ටී ප්‍රචලිත වෙලා තියෙන්නේ එහි සෞඛ්‍ය සම්පන්න බව නිසාමයි. දිනකට  ග්‍රීන් ටී කෝප්ප දෙකක් පමණ පානය කිරීමෙන්  අක්මාව ආශ්‍රිත රෝග වැළදෙන ප්‍රවණතාවය ඉතාම අඩු මට්ටමක පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙන බවයි පර්යේෂණවලින් තහවුරු කරගෙන ඇත්තේ. ග්‍රීන් ටීවල අඩංගු වෙන විශේෂ සංඝටක අප ගන්නා ආහාරවල ඇති විෂ රසායනික අක්මාවේ තැන්පත් නොවී දියකර හරින්නට උපකාරී වෙනවා.

  1. අහිතකර මේදය ගැනීමෙන් වළකින්න.

ඉහත සඳහන් කළ ආහාර වර්ගවලින් අපේ ශරීරයට හිතකර මේදය ලැබුණත් අද බොහෝ දෙනෙක් පුරුදු වෙලා ඉන්නේ අහිතකර මේදය  ශරීරයට අධික ප්‍රමාණවලින් ලබා ගන්නට. කෙටි ආහාර අනුභවය, ගැඹුරු තෙලේ බදින ලද ආහාර නිරන්තරයෙන් ගැනීම ආදිය අක්මාවට වගේම අපේ ශරීරයේ අනෙකුත් අවයවවලටත්  ඉතාම බරපතළ සෞඛ්‍ය ගැටලු ඇති කරන්නට හේතු වෙනවා. ඒ නිසා මේ නරක මේදයට සමු දීම ඉතාම වැදගත්.

 3.රාත්‍රී ආහාරය ප්‍රමාද වී ගැනීමෙන් වළකින්න.

 අක්මාවේ පුනර්ජනනීය චක්‍රය ක්‍රියාත්මක වෙන්නේ රාත්‍රී 11- අලුයම 3 දක්වා පමණ කාලයේදී. සාමාන්‍යයෙන් රාත්‍රී 10:00 පහු වෙලා ඔබේ රාත්‍රී ආහාරය ලබා ගත්තොත් ශරීරය  ආහාර ජීර්ණය කිරීමට කාර්යබහුල වෙලා ඉන්නවා නම් ඒක ඔබේ නින්දට බාධාවක් වෙනවා වගේම එය අක්මාවේ  විෂ හරණ ක්‍රියාවලියටත් බාධා ඇති කරනවා. උදේ සහ රාත්‍රී ආහාරය අතර පැය 10 ක 12 ක පරතරයක් තබා ගැනීමත් රාත්‍රී 10ට පෙර විශේෂයෙන්ම නින්දට පැය තුනකටවත් පෙර රාත්‍රි ආහාරය ලබාගැනීමත් අක්මාවට ඉතාම හිතකරයි.

 4.ප්‍රමාණවත් නින්දක් ලබාගන්න.

 අද බොහෝ දෙනෙක්ට හේතුවක් නැතිව නිකරුනේ නිදි වරනවා ජංගම දුරකථනය හේතු කරගෙන. නමුත් ඔබ ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නේ  නැත්නම් එය අක්මාවේ සෛල ඉතා ඉක්මනින් හානියට පත් කරන්නට හේතුවක් වෙනවා. අක්මාවේ විෂහරණ ක්‍රියාවලිය ඔබ ගැඹුරු නින්දේ සිටියදී සිදු වන නිසා සහ එය රාත්‍රී 11 සිට 3 දක්වා සිදුවන නිසාත් ඔබ නින්ද මගහරින කෙනෙක් නම් ඒ විෂ අක්මාවෙන් හරණය වීමක් සිදු වෙන්නේ නැහැ. 

ඔබ නිරන්තරයෙන්යෙන්ම ප්‍රමාණවත් නින්දක් ලබා ගන්නේ නැත්නම් අක්මාව ඔබ සුවදායි නින්දක් ගන්නා දවසක් දක්වා  මේ විෂ අක්මාවේ ගබඩා කර තියාගන්නවා. එහි ප්‍රතිඵලයක් විදිහට ඒ විෂ මගින්ම අක්මාවේ  සෛලවලට හානි සිදුකිරීම ආරම්භ කරනවා. ඒ නිසා දෛනිකව ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍යයි.

 5.තන්තුමය ආහාර ලබා ගන්න.

 ඉහත සඳහන් කර විශේෂ ආහාර හැරුණාම ද්‍රාව්‍යමය  තන්තුවලින් පොහොසත් ආහාර ගැනීම අක්මාවේ විෂ ද්‍රව්‍ය සමග සටන් කරන්නට උදව් වෙනවා. ඒ නිසා නිරන්තරයෙන්ම විෂ රහිත කස කසා ඇට, නැවුම් පලතුරු එළවළු ආදිය ආහාරයට  එකතු කර ගන්නට වගබලා ගන්න. 

6.මත්පැන් භාවිතයෙන් වළකින්න. 

අක්මාව සෞඛ්‍ය සම්පන්නව තියාගන්නට නම් අනිවාර්යයෙන්ම ඇල්කොහොල් භාවිතය නතර කර කිරීම හෝ සීමා කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

 7.ව්‍යායාම්

 ඔබ ස්ථුල කෙනෙක් නම් අනිවාර්යෙන්ම ඔබේ ශරීරයේ බර නිසි පරිදි පවත්වාගෙන යාම අක්මාවේ යහ පැවැත්මට ඉතාම වැදගත්. ඒ වගේම ඔබේ ශරීර බර හොඳ මට්ටමේ තබා ගැනීම අක්මා රෝග මුල් අවස්ථාවේදීම සුව කර ගන්නටත් විශාල උදව්වක්. මේ නිසා අක්මාවේ නිරෝගී බවට වගේම ශරීරයේ සමස්ත පැවැත්ම උදෙසාත්  ව්‍යායාම් කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

 8.අධික ලුණු සහ අධික මේදය අවම කරන්න.

 9.ඖෂධ භාවිතයේදී සැලකිලිමත් වෙන්න.

 ඖෂධ භාවිතයේදී නියමිත මාත්‍රාව පමණක් ලබා ගැනීම ඔබේ අක්මාව රැකගැනීමට අතිශයින්ම වැදගත්. ඒ විතරක් නෙවෙයි ඖෂධ භාවිතා කරන අතරවාරයේදී මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමත් අත්‍යවශ්‍ය කාරණාවක්. අක්මාව සම්බන්ධ රෝගී තත්ත්වයකින් පෙළෙන කෙනෙක් නම් ඔබ කිසිදු ඖෂධයක් වෛද්‍ය නියමයකින් තොරව ලබා නොගන්නත්  වගබලාග ගත යුතුයි.

  1. වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු වෙන්න.

 ඔබේ අක්මාව වගේම ශරීරය වෙනත් අවයවවලට සිදුවන හානිය කල්තියා හඳුනා ගන්නට රෝගයක් ඇතිවනතුරු නොසිට වෛද්‍ය පරීක්ෂණ සිදු කරවා ගන්න. ඔබේ වෛද්‍යවරයාගේ සහාය ලබාගෙන අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ටරෝල් ආදී අක්මාවට වින කරන වෙනත් රෝගවලටත්  නිසි. ප්‍රතිකාර ලබා ලබා ගැනීමට උනන්දු වෙන්න.