ඇපල් ගෙඩියක් කන්නට තියෙන කැමැත්ත බොහෝ දෙනෙක්ට දිවුල් ආහාරයට ගන්නට නැහැ. නමුත් දිවුල් කියලා කියන්නේ කිසිම වස විසක් නැති සොබාදහමෙන් අපිට දායාද කරල දීපු දිව්‍ය ඔසුවක්. පලතුරක් විදියට විතරක් නෙවෙයි ඖෂධයක් විදියටත් දිවුල් වැදගත් වෙන්නේ විවිධ වූ ලෙඩ රෝග සඳහා භාවිතා කරන්නට ඇති හැකියාව නිසා. අද වෙද්දි දිවුල් ඉතා ජනප්‍රිය පලතුරක් බවට පත්වෙලා තියෙනවා ඒ ඇසුරෙන් කරන විවිධ නිෂ්පාදන හේතුකරගෙන. දිවුල් කිරි වගේම දිවුල්වලින් සකස් කළ අයිස් ක්‍රීම්, ජෙලි, ජෑම්, කෝඩියල් ආදියත් බොහෝ අයගේ ප්‍රියතම හා රසවත් ආහාර බවට පත්වෙලා.
දිවුල් ගෙඩිවල යකඩ, කැල්සියම්, තන්තු, protein, විටමින් ඒ, විටමින් c සහ විටමින් බී ඇතුළු පෝෂක රාශියක්ම අඩංගු වෙනවා. ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් ඉතාම ඉහළ දිවුල් හෘද රෝගීන්ට, අක්මා රෝගීන්ට සහ වකුගඩු රෝගීන්ට ආදී සියල්ලන්ටම ඖෂධයක් විදිහටත් ආහාරයක් විදිහටත් භාවිතයට ගන්න පුළුවන් . මේ දිවුල් ශාකයේ කොළ, මල්, ගෙඩි, පොතු සහ මුල් ආදි සියල්ලක්ම ඖෂධ පිණිස භාවිතයට ගන්නවා.
නමුත් අමු දිවුල් මද ආහාරයට ගැනීමෙන් වාතය පිත වැඩි වෙනවා වගේම එය මලබද්ධයටත් හේතු වෙනවා. නමුත් ඉදුණු දිවුල් මිහිරි රසයකින් යුක්තයි. ඉදුණු දිවුල්වල ෆාමටික්, ඔලෙයික්, ලිනෝලික්, ලිනෝලෙයික්, ෆාමෝලෙයික්, ස්ටීයරි, බීටා සීස්ටොරොන් ආදිය අඩංගු වෙනවා. විශේෂයෙන්ම උණුසුම් කාලයට පරිසරය ශීතකරණ අපූරු වෘක්ෂයක් විදිහටත් මේ දිවුල් ශාකය වැදගත්.
පලතුරක් ලෙස දිවුල් ආහාරයට ගැනීමෙන් ලැබෙන ප්‍රතිලාභ

- ආර්තව විෂමතා දුරු කරනවා.
- ආහාර ජීර්ණ පද්ධතිය ආශිත ගැටලු සමනය කරනවා.
- මාංශ පේශිවල ශක්තිමත් බව වැඩි කරනවා.
- ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම වඳභාවය දුරු කරන්නට උපකාරී වෙනවා.
- උෂ්ණාධික කාන්තාවන්ගේ ශරීරයේ උෂ්ණත්වය සමනයට උදව් වෙනවා.
- ආතරයිටීස් රෝගීන්ට දණහිස් අමාරු ඇති අයට ඉතාම ගුණදායක ආහාරයක්.
- පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා.
- පසු ගර්භණී අවදියේ ඇතිවන ගර්භාෂ සංකූලතා සමනය කරනවා.
- රක්තහීනතාවය දුරු කරනවා.
- මල බද්ධයට ගුණදායකයි.
- පණ රෝග සඳහා සහනය සලසනවා.
- අක්මාවට හිතකරයි.
- කාන්තාවන්ගේ වියපත් වීමත් සමග ඇතිවන හෝමෝන ගැටලු සමනය කරනවා.
- කාම ශක්තිය වර්ධනය කරනවා
- ආහාර රුචිය වර්ධනය කරනවා.
- කොලෙස්ටරෝල් පාලනය කරනවා.
- අර්ශස් රෝගීන්ට ගුණදායකයි.
- දියවැඩියා රෝගය පාලනයට උපකාරී වෙනවා.
- ශරීරයේ විෂහරණයට උපකාරී වෙනවා.
- විදුරුමස් දියවීමට ගුණදායකයි.
- රුධිරය කැටි ගැසීම වළක්වනවා.
- වකුගඩු සහ මුත්‍රාවල ගල් ඇතිවීම පාලනය කරනවා.
- ප්‍රතිශක්තිය වර්ධනය කරනවා.
- පීනස කැස්ස ආදී ස්වසන රෝග සමනයට උපකාරී වෙනවා.
- අතීසාරයට ගුණදායකයි.
- අධි රුධිර පීඩනයට ගුණදායකයි.
දිවුල් භාවිතයෙන් සාදාගත හැකි අත් බෙහෙත්

- ඉදුණු දිවුල් ගෙඩියක යුෂ ගෙන එයට උක් පැණි තේ හැඳි දෙකක්, දෙහි යුෂ, එනසාල්, ලුණු, ගම්මිරිස් කුඩු එකතු කර පානයට ගැනීමෙන් කැස්ස සහ ඉක්කාව සුව කරගන්න පුළුවන්.
- ඉදුණු දිවුල්වල යුෂ පානය කිරීමෙන් වමනය නවතා ගත හැකියි.
- ඉදුණු දිවුල් ගෙඩියක මදය සූරා එයට සූදුරු ස්වල්පයක්, මී පැණි ආදිය දමා දිනපතා උදේ ආහාරයට එකතු කර ගැනීමෙන් දරු සම්පත් ලබා ගැනීම සම්බන්ධයෙන් වූ ගැටළු සමනය කරගන්න පුළුවන්.
- ඉදුණු දිවුල් ගෙඩියක මදයෙ ඉවත් කර සීනි සමඟ මිශ්‍රකර උදේ ආහාරයට එකතු කර ගැනීමෙන් මලබද්ධය සුව කරගන්න පුළුවන්.
- දිවුල් ගෙඩියේ මදය සීනි සමග මිශ්‍ර කර උණු ජලයෙන් දියකර පානයට ගැනීම රුධිරය පිරිසුදු කරගැනීමට සුදුසුයි.
- දිවුල් මද බදින ලද එනසාල්, මී පැණි මිශ්‍රකර ආහාරයට ගැනීමෙන් අජීර්ණ රෝග සහ අර්ශස් රෝගය සුවපත් කරගන්නට පුළුවන්.
- දිවුල් ගැට වාජීකරණ ගුණයෙන් යුක්තයි. දිවුල් ඇට එළකිරෙන් අඹරා මී පැණි මිශ්‍රකර අනා උදේ සවස පානය කිරීමෙන් කාම ශක්තිය වර්ධනය වීම වගේම ධා තු ශක්තිය වර්ධනය වෙන බවත් සඳහන්ව තියෙනවා.
- කාන්තාවන්ගේ පියයුරු හොඳින් වර්ධනයට ඉදුණු දිවුල් මදය පියයුරුවල ආලේප කළ බව ඉපැරැණි ආයුර්වේද ග්‍රන්ථවලත් සඳහන් වෙනවා.
- මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන අයට ආහාර ජීර්ණය පහසු කිරීමට වියළි බෙලි මද, වියළි දිවුල් මද, ඇඹුල් ඇඹිලිය කොළ සහ දෙළුම් ලෙලි කුඩු කර පානයට ලබා දෙනවා.
- විදුරුමස්වලින් ලේ ගලන විට දිවුල් මල් තම්බා ගත් වතුරවලට සීනක්කාරම් කුඩු දමා කට සේදීමෙන් සුවය ලබාගත හැකියි.
දිවුල් කොළ භාවිතයෙන් සකසා ගත හැකි අත් බෙහෙත්
දිවුල් කොළ තේ පානයක් ලෙසත් කැඳක් ලෙසත් ආහාරයට ගන්නට පුළුවන්.
දිවුල් කොළ තේ දිවුල් කොළ ගෙන හොදින් සෝදා මද පවනේ වේලා ගන්න.පසුව හොඳින් කුඩු කර බෝතලයට දමා තබාගෙන උණුවතුරට මේ කුඩු දමා තම්බා හකුරු හෝ සීනි සමඟ තේ වෙනුවට දිනපතා පානය කරන්න.මෙය රෝග බොහොමයකට ගුණ දෙන ඖෂධීය පානයක්.
දිවුල් කොළ කැඳ සෝදා පිරිසිදු කරගත් දිවුල් කොළ ටිකට වතුර අඩු කෝප්පයක් පමණ එකතු කර බ්ලෙන්ඩර් කර යුෂ ලබා ගන්න.ගා ගත් පොල් මිරිකා පෙරාගෙන තබන්න. සෝදාගත් සහල් තැම්බීගෙන එන විට එයට සුදු ළූණු සහ ඉඟුරු දමා තම්බා හැන්දකින් පොඩිකර ගන්න. පසුව පොල් කිරි දමා උතුරවා කොළ යුෂ සහ ලුණු එකතු කර උතුරුවා ගෙන ඉඟුරු කැබැල්ලක් සමඟ පානය කරන්න.
මේ දිවුල් කොළ කැඳ වැඩි වශයෙන් පානය කරනු ලබන්නේ ශරීරයේ විශ නැසීම සඳහා. එබැවින් මේ කොළ කැඳ නිතර භාවිතයට ගැනීම එතරම් සුදුසු නොවෙයි.
වෙනත් ගුණ
- දිවුල් කොළ ඇල් ජලය අඹරා සතියක පමණ කාලයක් සමේ ඇති දද කුෂ්ඨවල ආලේප කිරීමෙන් සුවය ලබාගත හැකියි.
- ඉක්කාව සඳහා දිවුල් කොළ යුෂ මී පැණි සහ තිප්පිලි කුඩු සමඟ මිශ්‍රකර වරින් වර පානයට ලබා දෙනවා.
- ග්‍රහණි රෝගය සඳහා දිවුල් කොළ යුෂ මෝරු සමඟ එකට එකතු කර පානයට ලබාදීමෙන් සහනය සලසා ගන්න පුළුවන්.
- දිවුල් කොළ වේදනා නාශකයක් වන නිසා දිවුල් කොළ තම්බා ගත් ජලයෙන් කකුල් ආදිය සේදීමෙන් මනා සුවයක් ලබාගන්න පුළුවන්.
- මී මැස්සන් ඇතුළු කෘමින් දශ්ට කළ විට ඒ විෂ නැසීම සඳහා දිවුල් මද හෝ කොළ යුෂ අමු කහ සමඟ මිශ්‍රකර භාවිතා කිරීම ගුණදායක වෙනවා. විෂ නාෂක ගුණයෙන් යුක්තය දිවුල් පංචාංගයම මීයන් සපා කෑ විට විෂ නැසීමට කැද සාදා පානයට ගැනීමත් සිදුකරනවා.
- දිවුල් කොළ කිහිපයක් තම්බා තම්බා පානයට ගැනීමෙන් අධි රුධිර පීඩනයට සහනයක් ලබාගත හැකියි.
- ස්නායු ආබාධ සහ ආතරයිටීස් රෝග සඳහා මේ සඳහා දිවුල් කොළ යුෂ කෝප්ප භාගයක් උදෑසන 10 ට පමණ පානය කිරීම සුදුසුයි.
- දිවුල් කොළ යුෂ හිසේ ගල්වා ස්නානය කිරීමෙන් හිසේ උෂ්ණ රෝග සියල්ල සමනය කරයි.
- දිවුල් කොළ යුෂ හිසේ ගැල්වීමෙන් වදකාරී උකුණන් වඳ කරගන්නත් පුළුවන්.
ඒ වගේම එකල ගැමියන් මදුරු කීටයන් මර්දනය සඳහා දිවුල් කොළ යුෂ භාවිතා කළ බවත්, දිවුල් කොළ වේලා දුම් ඇල්ලූ බවත් පැරණි ශාස්ත්‍රීය ග්‍රන්ථයන්හි සඳහන්
මෙතරම් ගුණ දිවුල් අධිකව ආහාරට එකතු කරගැනීම ආහාර ජීර්ණය සඳහා අහිතකර ලෙස බලපෑම් කරන්න පුළුවන්. ඒ නිසා ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න. ප්‍රතිකාර ලෙස භාවිතා කරන්නේ නම් වෛද්‍ය උපදෙස්වලට අනුව කටයුතු කරන්න.