බෝ නොවන රෝග අද මිනිස් ජිවිතවලට විශාල තර්ජනයක් බව අවිවාදයෙන්ම පිළිගැනීමට සිදුවෙන කාරණාවක්. ඒ අතර අක්මාව ආශ්‍රිත රෝග තත්ත්වයන් පිළිකා වගේම භයානකයි. අද වෙද්දි අක්මාව ආශ්‍රිත රෝගවලින් පීඩාවට පත්වන පිරිස වැඩිවෙමින් යනවා. නමුත් අක්මාව රෝගීවන මුල් අදියරේදි කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වන නිසා රෝග ලක්ෂණ පෙන්වන කාලය වන විට අක්මාව ඉතාම අසාධ්‍ය තත්ත්වයේ පවතින්නට පුළුවන්. කොහොමනමුත් බොහෝ රෝගවලට පොදු ලක්ෂණ හැරුණාම අක්මාව ලෙඩවන විට ඇතිවන විශේෂ වූ ලක්ෂණයන් කිහිපයක් ද පවතිනවා. ඒ පිළිබඳව දැනුවත්ව සිටීමෙන් අක්මාව රෝගීවීමක් ඉතා පහසුවෙන් හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා.
අපේ ශරීරයේ ඇති දෙවන විශාලම ඉන්ද්‍රිය වන අක්මාව ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් අතුරෙන් ෆැටි ලිවර් සහ සිරෝසීස් ප්‍රමුඛ වෙනවා. ඒ හැරුණාම හෙපටයිටීස් A,B,C,D සහ E ආදී රෝග ද වැළදෙන්නට ඇති ඉඩකඩ වැඩියි. මෙවැනි රෝග තත්ත්වයන් ඇති වෙන්නේ අපේම වරදින් සහ බොහෝවිට නොදැනුවත්භාවය හේතුවෙන්. අපි ගනු ලබන ආහාර පාන වගේම වැරදි ජීවන රටාව මේ අක්මාවේ රෝග ඇති කරන්නට හේතු වෙනවා. මෙවැනි රෝගවලදී අක්මාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වී රෝගීභාවයට පත් වෙනවා. මෙසේ අක්මාව අඩපණ වී යනවිට යම් යම් ලක්ෂණ කිහිපයක් පහළ වුණත් බොහෝ අවස්ථාවල අක්මාවට බොහෝසෙයින් හානි වී දරුණු තත්ත්වයක් දක්වා වර්ධනය වනතුරු එය අපිට හඳුනා ගන්නට ලැබෙන්නේ නැහැ.
අක්මාව රෝගී වූ විට ඇතිවන රෝග ලක්ෂණ

- උණ ඇතිවීම
- ඇස් කහ පැහැ ගැනීම
- ආහාර අරුචිය
- ශරීරය දුර්වල වීම
- වමනය
- උදරයේ දකුණු පැත්තේ වේදනාව
අක්මාව උදරයේ දකුණු පැත්තේ ඉහළ කෙළවර පිහිටා තිබෙන නිසා එවැනි වේදනාවක් ඇතිවන්නේ නම් එය බොහෝදුරට අක්මාව රෝගීවීමක් නිසා ඇතිවන්නට හැකි තත්ත්වයක්.
- උදරය පිම්බීම, මහත්වීම හෝ බඩ පිපුම අක්මාව විසින් සංස්ලේෂණය කරනු ලබන ඇල්බියුමින් නම් ප්‍රෝටීනය නිපදවීම අඩපණ වීම මූලික කරගෙන මේ ලක්ෂණ ඇති වන්නට පුළුවන්.මෙවැනි අවස්ථාවකදී සිදු වෙන්නේ උදර කුහරයේ දියර පිරීම හේතුකරගෙන බඩ පිපීම සහ උදරය පිපීමේ තත්ත්වයක්.
- දෙපා සහ වළලුකර ඉදිමීම මේ ලක්ෂණය බොහෝවිට තත්ත්වය දරුණු අතට හැරුණු විටෙක දකින්නට හැකියි. ඇඟිල්ල තබා එබීමේදී වළ ගැසී ඇත්නම් එයින් හැඟවෙන්නේ පාදවල දියර එකතු වී ඇති බවයි.
- කාලයක් තිස්සේ අක්මා රෝගයකින් පෙළෙන අයෙකුට ලේ සහිතව වමනය පිටවීම
- මළපහ කළු පැහැයක් ගැනීම මෙසේ මලපහ කළු පැහැයක් ගනු ලබන්නේ මලපහ සමඟ රුධිරය පිටවීම හේතුකරගෙන.මේ ලක්ෂණය වෙනත් රෝග තත්ත්වයන්න් නිසාවෙන් වගේම අක්මාව රෝගී වුණු අවස්ථාවකදීත් ඇති වන්නට පුළුවන්.

- ශරීරය කැසීමට පටන් ගැනීම මේ කැසීම සීරීම පවා ඇතිවෙන්නට තරම් පීඩාකාරී තත්ත්වයක්.
- මුත්‍රාවල කහ පැහැය අඩුවීම හා මුත්‍රා දුඹුරු පැහැයක් ගැනීම
- පිරිමින්ගේ පියයුරු විශාල වීම පුරුෂයෙකුගේ අක්මාවේ යම් රෝගී තත්ත්වයක් ඇතිවිටෙක කාන්තාවකගේ මෙන් පියයුරු විශාලවීමක් සිදු වන්නට පුළුවන්. මේ සඳහා හේතුවෙන්නේ අක්මාවේ සාමාන්‍ය ක්‍රියාවලිය අඩපණවීමෙන් සිරුරේ ඇති ඊස්ට්‍රජන් හෝර්මෝනය වැඩිවීමෙන්. කාන්තා ලක්ෂණ මතුකරන මේ හෝර්මෝනය අක්මා රෝග හේතුවෙන් පිරිමියෙකුගේ සිරුරේ වැඩියෙන් නිපදවෙන්නට පටන් ගන්නවා. එහි ලක්ෂණයක් විදියට පුරුෂයන් තුළ කාන්තා දේහ ලක්ෂණ ඇති වෙන්නට පුළුවන්.
- වෘෂණ කෝෂ කුඩාවීම
- ලිංගික අප්‍රාණිකත්වය ඇතිවීම
- කාන්තාවන්ගේ ආර්තවය නතරවීම
- අක්මාවේ හෝර්මෝන නිපදවීම අක්‍රීයවීමෙන් මේ තත්ත්වයන් ඇති වෙනවා.
- මතකය අඩුවි යාම
- පපුවේ කුඩා රතු පැල්ලමක් ඇතිවීම
මෙය මකුළුවෙකුගේ හැඩය ගත් ආකාරයේ එකක් වන අතර හෝර්මෝන වෙනස්වීම නිසා රතු පැහැ පැල්ලමක් ලෙස හැක ගන්නට පුළුවන්.කොහොමනමුත් එයත් අක්මාව රෝගී බව හඟවන ලක්ෂණයක්.
- අත්ල රතු පැහැවීම
- අත් පතුල් දැවිල්ල
- සිහිමද ගතිය
- රාත්‍රි නිදිවර්ජිත බව හා දහවල නින්දයාම
- මුහුණ විශාල වීම
- අක්මාව රෝගී වූ විට කන දෙපස ඇති පැරොටිඩ් ග්‍රන්ථිය ඉදිමීමකට වෙනවා.ඒ නිසාවෙන් මුහුණ විශාලවීමක් සහ රවුම් ආකාරයකින් දැකිය හැකි වෙනවා.
- ප්ලීහාව විශාල වීම ප්ලීහාව විශාල වී ඇත්දැයි වෛද්‍යවරයාට උදරය තද කර ස්පර්ශ කිරීමෙන් හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. සාමාන්‍යයෙන් නිරෝගී අයෙකුගේ ප්ලීහාව අතට හසු නොවුණත් අක්මාවේ රෝගී තත්වයක් ඇති අයෙකුගේ ප්ලීහාව විශාල වන නිසා එය ස්පර්ශයෙන් දැනගත හැකියි.
අක්මාව අපේ ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්ට අත්‍යවශ්‍ය වන හෝර්මෝන 500 ට අධික ප්‍රමාණයක් නිෂ්පාදනය කරන විශේෂ අවයවයක්. යම් විටෙක මේ නිෂ්පාදනය අකර්මණ්‍ය වුණොත් ඒ සෑම ඉන්ද්‍රියකටම විශාල බලපෑමක් එල්ල වෙනවා.ඒ නිසා මේ ලක්ෂණ පිළිබඳව සැලකිලිමත් වනවා සේම ඇස්ට්‍රා , ගැඹුරු තෙලේ බදින ආහාර, කෘෂි රසායන යෙදූ එළවලු පලතුරු, මත්ද්‍රව්‍ය, Acetaminophen වර්ගයේ වේදනා නාශක ආදී අක්මාව විනාශ කරන ආහාරපානවලින් සහ ඖෂධවලින් වැළකී කාබනිකව නිෂ්පාදනය කළ නෝකෝල්, බීට්, රාබු, බ්රොකෝලි, ගෝවා, ඕගනික් ක්‍රමයට සකස් කළ කහ ආදී ආහාර ගැනීමට හුරු වන්න. ඒ වගේම ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමටත් කටයුතු කරන්න. දිනපතාම රාත්‍රී 11- 2 කලය තුළ අක්මාව රඳවා තබාගත් සියලුම විශහරණය කරනවා. ඒ සඳහා අපි තද නින්දේ සිටීම අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් අපේ සිරුරේ වැදගත්ම අවයවයක් වන අක්මාව මුළු ජීවිත කාලය පුරාවටම ඉතා පරෙස්සමින් රැකගත යුතු ඉන්ද්‍රියක් බව මතකයේ තබා ගන්න.