දිගු වරලසක් හිමි කරගන්න සත්කාර 12 ක්

health tips

දිගු ලස්සන වරලසක් කාන්තාවගේ සුන්දර බව වැඩි කරනවා විතරක් නෙවෙයි පිරිමි පුද්ගලයෙකුටත් ඉතාම ආකර්ශණීය පෙනුමක් ලබාදෙනවා. ඒ නිසා කාන්තා පුරුෂ භේදයකින් තොරව හැමෝම තමන්ගේ කොණ්ඩය ඝනව පිරිපුන්ව දිදුලන බවකින් තබා ගන්නට කැමතියි. නමුත් අද කොණ්ඩය සම්බන්ධයෙන් බොහෝදෙනෙක් පීඩා විදින ගැටළුවක් තමයි හිසකෙස්වල තුනී බව. තැනින් තැන හිසකෙස් තුනී වී හිස් කබල පෙනෙන්නට තිබීම නිසා ඔබත් පීඩාවට පත්ව සිටිනවා නම් ඒ ගැටළුවෙන් මිදෙන්නට ඔබට හැකියාව තියෙනවා ස්වාභාවික සත්කාර භාවිතා කිරීම මගින්. අද අපි කතා කරන්නේ හිසකෙස් ඝනව වර්ධනය කරන්නට හැකි එවැනි සත්කාර කිහිපයක් පිළිබඳව.

උළුහාල් උළුහාල් අපේ හිසකෙස් වේගයෙන් වර්ධනය කරන්නට වගේම හිසකෙස් ශක්තිමත් කරන්නටත් දායක වෙන කුළුබඩුවක්. ඒ වගේම හිසකෙස්වලට හොඳ දීප්තියක් ලබාදෙමින් හිස්සොරි ඇතිවීමත් පාලනය කරනවා. ඉතින් උළුහාල් කියන්නේ ඉතා වටිනා ඔසුවක් නිසා එය අපේ කොණ්ඩය සඳහා ආකාර කිහිපයකටම භාවිතා කරන්නට පුළුවන්. 

උළුහාල් ස්ප්‍රේ උළුහාල් ටිකක් බදුනකට දමා උළුහාල් බීජ වැසෙන ආකාරයට ජලය දමා රැයක් පෙගෙන්නට තබන්න. පසුදින ඒ උළුහාල් පෙගවූ ජලය  ෂැම්පු යොදා පිරිසිදු කරගත් හිස්කෙස්වල ස්ප්‍රේ කරන්න. මෙය සතියකට දෙවරක් පමණ සිදු කිරීම ප්‍රමාණවත්.

උළුහාල් තෙල්  මේ සඳහා උළුහාල් ඇට මේස හැදි 2 ක් පමණ ගෙන කරපිංචා මිටක් ද බදුනට දමා  මදගින්නේ ටික වේලාවක් බැද ගන්න. ඉන්පසුව එය කුඩු කර ගන්න. පසුව  පොල් තෙල් මේස හැදි 2ක් සහ අඹරාගත් කුඩුවලින් මේස හැදි 2 ක් ගෙන මද ගින්නේ සුළු වේලාවක් රත්කර ගන්න. මිශ්‍රණය මදක් සිසිල් වුණාම  තෙල් පෙරාගෙන  හොඳින් හිසේ ගල්වා ගෙන පැයක් පමණ තබා පසුව ස්නානය කරන්න.

කළුදුරු සහ උළුහාල් තෙල් කළුදුරු ඇට මේස හැදි 1 ක් උළුහාල් මේස හැදි 2  ක වීදුරු බෝතලයට දමා එයට රත්කරගත් සුදු පොල්තෙල් දමා කලවම් කර ගෙන තබා ගෙන හිසේ හොඳින් ආලේප කරගෙන පැය 2 ක් තබා ඉන්පසුව සෝදා හරින්න. මේ තෙල් ගැල්විය යුත්තේ පිරිසිදු කරගත් හිස කෙස්වල  බව මතක තබා ගන්න.

බිත්තර බිත්තර කියන්නේ අපේ හිසකෙස් වර්ධනයටත් ඝනකම් කරන්නටත් ඉතා වැදගත් වෙන දෙයක්. නමුත් බිත්තරවල ඇති ගන්ධයට වැඩි දෙනෙක් කැමති නැති නිසා මේ සත්කාරයට මැලිවුණත් එය කොණ්ඩය සඳහා ඉතාම ගුණදායකයි.මේ සඳහා බිත්තර කහ මදයක් පොල් තෙල් මේස හැදි 2 ක්, වතුර මේස හැදි 2  ක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම එකට මිශ්‍ර කරගෙන එය හොඳින් හිස්කෙස්වල ආලේප කර  විනාඩි 30 ක කාලයක් තබා මෘදු ෂැම්පු වර්ගයකින් හිසකෙස් සෝදා හරින්න.

එඩරු තෙල් හිසකෙස්වල වර්ධනය සඳහා විටමින් E බහුල එඩරු තෙල් සුවිශේෂී තෙල් වර්ගයක් බව බොහෝදෙනෙක් දන්නවා. ඒ හැරුණාම එඩරු තෙල්වල මේද අම්ල පවතින නිසා හිසකෙස්වල නීරෝගී වර්ධනයට බෙහෙවින් උපකාරී වෙනවා. එඩරු තෙල් වෙනත් හිසට භාවිතා කරන තෙල් වර්ගයක් සමඟ මිශ්‍රකර භාවිතයට ගන්නට හැකියාවත් පවතිනවා.මේ සඳහා එඩරු තෙල් සහ පොල්තෙල් සමාන ප්‍රමාණවලින් ගෙන  මදක් රත්කර ගන්න . ඉන්පසුව ඒ මිශ්‍රණය හිසකෙස්වල ගල්වා හොඳින් සම්බාහනය කරන්න. ඉන්පසුව උණුසුම් තුවායකින් පැයක කාලයක් හිස වසා ගෙන තබා හිස සෝදා ගන්න. මෙය සතියකට තුන් වතාවක් පමණ සිදුකරන්න.

කෝමාරිකා කොණ්ඩයට සමට වගේම ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියන්වල නීරෝගී බවට සහ පැවැත්මට ලෙඩරෝග බොහොමයකටත් කෝමාරිකා අපට භාවිතා කරන්නට හැකියාව පවතිනවා. මොකද කෝමාරිකා කියන්නේ බලගතු ඖෂධීය පැලෑටියක් නිසා. හිසකෙස් වේගයෙන් වර්ධනයට වගේම හිසකෙස් ගැලවී යාම වළක්වාගෙන ඝන කෙස් කළඹක් හිමි කර ගන්නට කෝමාරිකා ජෙල් එක හිසකෙස්වල ආලේප කරන්න.

ලූණු ලූණු යුෂ හිසකෙස් පෝෂණය සඳහා වගේම රුධිර සංසරණය හොඳින් සිදුවීම සඳහා සහය ලබාදෙනවා. ඒ වගේම හිසකෙස් දික්ව වර්ධනයටත් ඝන කෙස් කළඹක් ලබා ගන්නත් මේ ලූණු යුෂ අපට උදව් වෙනවා.ලොකු ලූණු ගෙඩියක් ගෙන එය පොතු ඉවත් කරගෙන හොඳින් බ්ලෙන්ඩර් කර රෙදි කැබැල්ලක් ආධාරයෙන් යුෂ පෙරා ඉවත් කර ගන්න. ඉන්පසු පුළුන් කෑල්ලක් භාවිතයෙන් තෙත හිස් කබල මත ලූණු යුෂ ගල්වා සම්බාහනය කර පැයක පමණ කාලයක් හිස් කබලේ තබා මෘදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන් සෝදා හරින්න. ලුණු ගන්ධය ඉවත් කිරීමට අවශ්‍ය ඇපල් සයිඩර් විනාකිරි මේස හැදි 1 ක් ජලයට මිශ්‍රකර එයින් හිස සෝදා හරින්න.

ලූණු යුෂ සහ පොල්තෙල් මේ සඳහා ලූණු යුෂ තේ හැදි 2 ක් සහ පොල් තෙල් තේ හැදි 2 ක් එකතු කර හොඳින් මිශ්‍රකර හිසකෙස්වල් ආලේප කරන්න.  ඉන්පසු විනාඩි කිහිපයක් සම්බාහනය කර  විනාඩි 30 ක් තබා මෘදු ෂැම්පු වර්ගයක් භාවිතයෙන්  හිස සෝදා හරින්න.

ලූණු යුෂ සහ එඩරු තෙල් ලූණු යුෂ තේ හැදි 2 ක් සහ එඩරු තෙල් තේ හැදි 2 ක්  ගෙන හොඳින් මිශ්‍රකර එය හිස් කබලේ හොඳින් ගල්වා සම්බාහනය කර පැයකට  පසු මෘදු ෂැම්පු වර්ගයක් භාවිතා කර හිස සෝදා හරින්න.

මේ සත්කාර සියල්ලම ස්වභාවික සත්කාර වන නිසාවෙන් කිසිදු අතුරු ආබාධයක් නැතුවම ඔබට භාවිතා කරන්නට පුළුවන්. ඔබෙත් හිසකෙස් සම්බන්ධ ගැටළුවලට මේවා සාර්ථක පිළියම් වන බව නිසැකයි.