බඩයි බරයි දෙකම අඩු කරගන්න දිනපතා සිදු කරයුතු මනෝවිද්‍යා උපක්‍රම 8 ක්

health tips

අද බොහෝදෙනෙක්ට තියෙන ප්‍රධාන ගැටළුවලින් එකක් තමයි දේහ බර අඩු කර ගැනීම. කැත බඩ  සහ වැඩි බර නිසා පීඩාවට පත්වෙලා සිටින ඔවුන් එයින් මිදෙන්නට නොයෙක් ආකාරයේ පිළිවෙත් අනුගමනයට පෙළඹෙනවා. එය බොහෝවිට ඔබගේ දේහයට අත්‍යවශ්‍ය කරන පෝෂක නොලැබී යන්නත් මානසික ආතතිය ඇති කරවන්නත් හේතුවක් වෙනවා. ඒ නිසා සරල පුරුදු කිහිපයකින් මේ ගැටළුවලට විසඳුම් හොයන එක තමයි වඩා සුදුසුම වෙන්නේ. ඇත්තටම උසට සරිලන ආකාරයට තමන්ගේ දේහ බර පවත්වා ගැනීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්නට ඕන වෙන අනිවාර්ය කාරණයක්. නමුත් එය මානසික ආතතියක් ඇති කර නොගෙන සරල ආහාර පුරුදු කිහිපයකින් ආරම්භ කළොත් වැඩි බඩ වැඩි බර අඩුකර ගන්න එක ඔබට අපහසුවක් වෙන එකක් නැහැ. ඉතින් බලමු අපිට ඒ සඳහා අනුගමනය කරන්නට හැකි ආහාර පුරුදු මොනවද කියලා.

හොඳින් සපමින් සෙමින් ආහාර ගැනීම අද බොහෝදෙනෙක් ආහාර ගන්නේ ඉතාම කලබලයකින්. මොකද නොයෙක් වැඩ කටයුතු සඳහා වේලාව ඉතිරි කර ගැනීම සඳහා. නමුත් අපි ආහාර ගන්නා විට ඒ සඳහා සැලකිය යුතු කාලයක් වෙන්කරගන්නට අවශ්‍යයි. ඒ වගේම හිතේ සතුටින් ආහාර ගැනීමත් හරිම වැදගත්.විශේෂයෙන්ම දවසේ මොනයම් වේලාවක වුණත් ඔබ ගන්නා ආහාරය කලබලයක් නැතිව හොඳින් සපමින් සෙමින් ගැනීම ඉතා වැදගත්. කලබලයට, අධික කුසගින්නට නැත්නම් කෑමවලට තියෙන කෑදරකම නිසා ඉක්මනින් ආහාර ගැනීමෙන් සිදු වෙන්නේ අපි අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර ගන්නා එක. එය අපේ දේහ බර වැඩි වෙන්නට හේතුවක් වෙනවා. සාමාන්‍යයෙන් අපි ආහාර ගනිද්දි බඩ පිරුණු බවට අපේ මොළයට සංඥාවක් නිකුත් කරන්නට යම් වේලාවක් ගත වෙනවා. ඒ නිසා බඩ පිරී ඇති බව ශරීරයෙන් මොළයට දැනුම් දෙන්නට අවශ්‍ය තරම් කාලයක් ලැබෙනවා. එමගින් අනවශ්‍ය ලෙස ආහාර ගැනීම අඩු වෙලා  ආහාර ජීර්ණයත් පහසු වෙනවා.

ඇසුරුම පිටින් කන්නේ නැතුව බෙදාගෙන ආහාර ගැනීම ස්නැක් වර්ග වගේම වෙනත් ඇසුරුම් කරන ලද ආහාර වර්ග ඇසුරුමේ තිබියදීම ආහාරයට ගන්නා එක එතරම් සුදුසු නැහැ. මොකද දන්නේම නැතුව අපි ඒ ආහාරවලින් වැඩි ප්‍රමාණයක් ගන්නා නිසා. ඇතැම්විට වෙනත් වැඩ කටයුත්තක යෙදී සිටින විට ස්නැක් එකක් ආහාරයට ගනිද්දි ඇතැම් විට සියල්ලම අවසන් වෙනතුරු අපිට දැනෙන්නේ එහැ. ඒ නිසා තමන්ගේ කුසගින්නේ ප්‍රමාණයට අවශ්‍ය තරමක් පිගානකට බෙදාගෙන ආහාරයට ගැනීම තමයි සුදුසු වෙන්නේ.

රූපවාහිනිය නරඹන අතරේ ආහාර නොගැනීම අද බොහෝදෙනෙක් රූපවාහිනියේ හෝ  දුරකථනයේ යම් යම් දේ නරඹමින් ආහාර ගන්නා එක පුරුද්දක් කරගෙන තියෙනවා. නමුත් අපේ හිත ආහාර ගැනීමක් කෙරෙහි යොමු වෙන්නේ නැති නිසා අපේ කුස පිරී ඇති බව හඟවන සංඥා මොළයෙන් නිකුත් කිරීම පමා කෙරෙනවා. ඒ නිසා ආහාර ගැනීම නිදහසේ කලබලයකින් තොරව වෙනත් කටයුතුවලින් ඈත්ව සිදු කිරීම තමයි වැදගත් වෙන්නේ.

ප්‍රමාණවත් තරම් ජලය පානය කිරීම ආහාර හොඳින් ජීර්ණය වීමට, දේහයේ විෂ ඉවත් කරන්නට, විජලනයෙන් වැළකී සිටින්නට වගේම දේහයෙන් අනවශ්‍ය බර අඩුකර ගන්නත් ජලය අපේ  දේහයට අත්‍යවශ්‍ය වෙනවා. දෛනිකව ජලය වීදුරු 8-12 ත් අතර ප්‍රමාණයක් පානය කිරීම අත්‍යවශ්‍ය වෙනවා. ඒ වගේම නිසි පරිදි නිසි ප්‍රමාණවලින් නිසි වේලාවට ජලය පානය කිරීමෙන් පවා අපේ දේහ බර අඩුකර ගන්නට හැකියාව ලැබෙනවා.

උදෑසන ආහාරය අනිවාර්යෙන් ලබා ගැනීම බොහෝ අය දේහ බර අඩුකර ගන්නට ආහාරවේල් මගහැරීම සිදු කරනවා. නමුත් උදෑසන ආහාර වේල කියන්නේ දේහයේ බර අඩු කරගන්නට හෝ මගහැරිය යුතු නොවනම වැදගත්  ආහාරවේලක්.විශේෂයෙන් අප අවදි වී විනාඩි 30 ක් ඇතුළත පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාගත යුතුයි. එය දිවා  ආහාරය ගන්නා තුරු ආමාශය ලෙස කුසගිනි ඇතිවීම වළක්වා ශරීරයට අවශ්‍ය ශක්තිය ලබාදෙනවා. 

කුසගිනි ඇතිවිටක පමණක් ආහාර ලබා ගන්න.උදෑසන ආහාරවේලෙන් පසුව දිවා ආහාරය ගන්නා තෙක් කිසියම් වේලාවක් කුසගිනි ඇතිවීම සාමාන්‍යයයි. නමුත් එවැනි  සුළු කුසගින්නකදී වුවත් ආහාර ගත යුතුම බවට නියමයක් නැහැ. එවැනි  අවස්ථාවක පිරිසිදු ජලය වීදුරුවක් පානය කිරීම අනවශ්‍ය ලෙස දේහයට ආහාර ලැබීම වළක්වනවා. ඒ නිසා ප්‍රධාන ආහාරවේලක් ලබාගත යුත්තේ කුසගිනි තදින් දැණුනු විටෙක පමණයි.

ක්ෂණික ආහාර සහ සිසිල් බීම ගැනීමෙන් වැළකීම කෙටි කෑම, පීට්සා වර්ග, තෙල් සීනි, පිටි අධික වශයෙන් අඩංගු ආහාර වර්ග අපේ සෞඛ්‍යයට අහිතකර ලෙස බලපානවා. ප්‍රධාන ආහාරවේල් මගහැර මෙවැනි ආහාර වර්ග ගැනීමෙන් දේහ බර වැඩි වැඩි වී නොයෙකුත් ලෙඩරෝග සඳහාත් මග විවර කරනවා.  ඒ නිසා මේ කෘතීම ආහාර වෙනුවට කජු රට කජු ආදී නට්ස් වර්ග ගබඩා කර තබා ගෙන ආහාරයට  ගන්න. එය ශරීරයේ නිරෝගී බවටත්  ඉතාම ගුණදායකයි.

සුදුසු ලෙස ආහාර ගන්නා පිඟාන තෝරා ගැනීම මේ සඳහා  ඉතා විශාල පිඟානක් තෝර නොගෙන කුඩා පිඟානක් තෝරා ගැනීම හරිම වැදගත්.  ඒ වගේම අපි ගන්නා කෑම වර්ගය කැපී පෙනෙන ආකාරයේ පිඟානක් තෝරා ගැනීමත් අධිකව අපිටත් නොදැනී වැඩි ආහාර ප්‍රමාණයක් කැවෙන එක අඩු කරන්නට උපකාරී වෙනවා.

  • හැකි සෑම විටම නිවසේ සකස් කරගත් ගුණදායි  ආහාර ලබා ගැනීම 
  • සුවදායි නින්දක් ලබා ගැනීම
  • රාත්‍රී  ආහාරයෙන් පසුව අමතර ආහාර ගැනීමෙන් වැළකීම 

දේහ බර අඩුකර ගන්නට උනන්දු වෙන අයෙක් මුලින්ම මේ සරල ආහාර පුරුදු වලින් එය ආරම්භ කිරීම වැදගත්. එය මානසිකව ඇතිවන පීඩාකාරී බවින් මිදී දේහ බර ලෙහෙසියෙන් පාලනය කර ගන්නට ඔබට උදව් වෙනවා.