ඉක්මනින් බර අඩු කරගන්න ජලය පානය කළයුතු ආකාරය

health tips

ජලය කියන්නේ මිනිසාට සත්ත්වයාට පමණක් නෙවෙයි ගහකොළ ආදී සියලුම ජීවීන්ට අවශ්‍යම දෙයක්. ස්වාභාවදහමෙන් ලැබුණු මේ උතුම් දායාදය අපේ ශාරීරික නීරෝගීභාවය උදෙසා අවශ්‍ය කරන මූලිකම සාධකයක්. ඉතින් මිනිසෙකුගේ නීරෝගී පැවැත්මට දිනකට ජලය වීදුරු 8 ක් වත් පානය කළ යුතු බවටයි වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ. නමුත් ජලය වුණත් අසීමාන්තිකව ප්‍රමාණය ඉක්මවා ලබාගැනීමත් එතරම් හිතකර නැහැ. කොහොමවුණත් පිපාසය සංසිදුවා ගන්නට එදිනෙදා සෑම කටයුත්තකටම වගේම ලෙඩ නැතුව ජීවත් වෙන්නත් ජලය අපිට බොහෝසෙයින් වැදගත් වෙනවා. නමුත් අද බොහෝදෙනෙක් පීඩා විදින බර අඩුකර ගන්නට බඩ අඩු කර ගන්නටත් මේ ජලය උදව් වෙන බව ඔබ දන්නවාද. ඉතින් අද අපි ඔබට කියන්නට සූදානම් වන්නේ ඉතා ඉක්මනින් ශරීරයේ බර අඩුකර ගන්නට ජලය පානය කළ යුතු ආකාර කිහිපයක් පිළිබඳවයි.

බොහෝදෙනා නොදන්නවා වුණාට වැඩිපුර ජලය පානය කිරීම දේහ බර අඩුකර ගන්නට හේතුවක්. අපි වැඩියෙන් ජලය පානය කිරීමෙන් ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වේගවත් වෙනවා. ඒ වගේම වැඩිපුර ජලය පානය කිරීමෙන් ආහාර රුචියත් යටපත් වෙන නිසා වැඩි ආහාර ප්‍රමාණයක් ලබා ගැනීම එයින් පාලනය වෙනවා. වෛද්‍යවරුන් නිර්දේශ කර තියෙන ආකාරයට දෛනිකව පුද්ගලයෙක් වතුර වීදුරු 8-10 ක ප්‍රමාණයක් පානය කළ යුතු වෙනවා. නමුත් අද බොහෝදෙනෙක්ට තියෙන කාර්යබහුලත්වයත් සමඟ වැඩිපුර ජලය පානය කරන්නට අපහසුයි.නමුත් ඒ ප්‍රමාණයම නැතත් ඒ හා සමාන ප්‍රමාණයක් දිනකට පානය කරන්නට හැකි නම් අපේ ශරීරයේ බර අඩුකර ගන්නට පුළුවන්. 

  • ජලය පානය කිරීම වැඩි කිරීම දවස පුරාම ජලය වැඩිපුර පානය කිරීම මගින් දේහ බර අඩුකර ගන්නට හැකියාව පවතිනවා. ඒ සඳහා නිතරම වතුර බෝතලයක් තබා ළගින් තබා ගන්න. එවිට වතුර ප්‍රමාණය අඩුවන සෑම අවස්ථාවකම නැවත පුරවාගෙන තබා ගත්තොත් එය දිනකට වැඩි ජලය  ප්‍රමාණයක් පානය කරන්නට අපිට වඩාත් පහසුවක් වෙනවා.
  • ආහාර ගැනීමට පෙර වතුර වීදුරුවක් පානය කරන්න සෑම ආහාරවේලකටම පෙර  වතුර වීදුරුවක් ඔබ පානය කරන්නේ නම් එයින් අපිට ගත හැකි ආහාර ප්‍රමාණය අඩු කරනවා. ආහාර ගැනීමට පෙර වගේම ආහාර ගැනීමෙන් පසුවත් හොඳින් ජලය පානය කිරීම ආහාර ජීර්ණය ඉතා කාර්යක්ෂම කරන්නට හේතුවනවා වගේම දේහ බර අඩුකර ගන්නටත් උපකාරී වෙනවා.
  • කෘතීම පැණි බීම වෙනුවට ජලය පානය කරන්න සෝඩා, මත්පැන්,  සිසිල් බීම පානය හෝ වෙනත් අධි කැලරි සහිත බීම වර්ග පානය කිරීම නොයෙකුත් සෞඛ්‍ය  ගැටළු ඇති කරන්නට බලපානවා. ඒ නිසා නීරෝගීකම ගැන නිතර සිතන ඔබට ඒ පානයන් වෙනුවට පිරිසිදු ජලය පානය කරන්නට පුළුවන්. එය සිරුරේ බර අඩුකර ගන්නට වගේම නීරෝගීව ජීවත් වෙන්නටත් බෙහෙවින් වැදගත් කාරණාවක්.
  • ලුණු අවම කර ඒ වෙනුවට ජලය පානය කරන්න ලුණු කියන්නේ අවම ප්‍රමාණයකින් ශරීරයට ලබාගත යුතු දෙයක්. ලුණු භාවිතය අවම කිරීම ලෙඩ රෝග බොහොමයකින් ආරක්ෂා වෙන්නට උපකාරී වෙනවා වගේම ජලය වැඩිපුර පානය කරන්නටත් ඉඩකඩ සැලසෙනවා. ජලය වැඩිපුර පානයට හැකිවෙනවා කියන්නේ ඔයාගේ බඩයි බරයි දෙකම ඉක්මනින් අඩුකර ගන්නට  හැකියාව ලැබෙනවා කියන එක. ඒ නිසා ආහාරවලට වැඩිපුර කුළුබඩු එකතු කරන්න. එවිට ලුණු වැඩිපුර ලබාගන්නට ඔබට අවශ්‍ය වෙන එකක් නැහැ. 
  • මත්පැන් පානය කිරීම හා සමානව ජලය පානය කරන්න මේ කාරණාව සෑම දෙනෙක්ටම අදාල වෙන්නේ නැහැ. නමුත් මත්පැන් පානය කරන අයෙක් නම් ඔබ ගන්නා මත්පැන් ප්‍රමාණයට සමාන ප්‍රමාණයකින් ජලයත් පානය කළ යුතු වෙනවා. එය දේහ බර අඩු කරගන්නට ඔබට උදව් වේවි.
  • ජලය පමණක් පානය කරමින් නිරාහාරව සිටීම මෙය එක්තරා විදියක උපවාසයක් වගේම ඉතා ඉක්මනින් බර අඩුකරගන්නට තාවකාලික විසඳුමක්. මුලින්ම පැය 24 ක් තුළ මේ උපවාසය සිදු කරන්නට ඔබට පුළුවන්. නමුත් එයට පෙර වෛද්‍යවරයෙකු හමු වී උපදෙස් ගැනීම අනිවාර්ය වෙනවා. ඒ වගේම ඔබේ සෞඛ්‍ය තත්ත්වය මත ශාරීරික අපහසුතා සහ රෝග අනුව මේ උපවාසය ඔබට සුදුසු නොවන්නට පුළුවන් නිසාවෙන්. ඒ වගේම ඔබ දියවැඩියාවෙන් පෙළෙන හෝ ගර්භනී අවස්ථාවක පසුවන අයෙක් හෝ වේ නම් මේ උපවාසය ඔබට කොහෙත්ම සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා මෙවන් කාර්යක් සිදුකිරීමට ප්‍රථම වෛද්‍යවරයෙකු හමුවී අදාල උපදෙස් හා එය තමාට සුදුසු ද නැද්ද යන්න තීරණය කරගත යුතු වෙනවා.ඒ වගේම උපවාසය සිදු කරන්නට දින කිහිපයකට පෙර සිටම සැහැල්ලු ආහාර අනුභව කිරීම මෙහිදී අතිශයින්ම වැදගත් කාරණාවක්. වැඩිපුර ජලය පානය කරන්නට සිරුර සකස් කරගන්නා මේ කාලයේදී ඔබ වැඩිපුර පලතුරු වර්ග,  එළවලු වර්ග හා  දුඹුරු සහල් ආදී දේවල් ආහාරයට ගැනීම සුදුසු වෙනවා.ඒ වගේම මේ දිනවල ශරීරයට ලබාගත යුතු ලුණු ප්‍රමාණයත් අඩු කළ යුතුයි.උපවාසයට සූදානම් වන අය තුළ ව්‍යායාම් කිරීමෙන් වළකින්න.ඒ වගේම මේ නිරාහාරව සිටීමේදී බඩගින්නක් දැනෙන සැමවිටම ජලයයි පානය කළ යුතු වන්නේ.
  • හුමාලය ඇල්ලීම මෙය ජපානයේ ජනතාව බර අඩුකර ගන්නට භාවිතා කරන ප්‍රතිඵලදායක ක්‍රමවේදයක්. මෙහිදී සිදු වෙන්නේ හුමාල කුටීරයකට ගොස් හුමාලය ඇල්ලීම. නමුත් ඔබට හුමාල කුටීරයක් නැතිනම් සාමාන්‍ය ආකාරයට මුට්ටියක් භාවිතයෙන් හුමාලය ඇල්ලීම කරන්නට පුළුවන්. මෙය සිදු කිරීම වඩාත් සුදුසු වෙන්නේ ව්‍යායාම් කිරීමෙන් පසුව හෝ ශරීරයෙන් දහදිය පිටවන අවස්ථාවකදී.
  • ස්නානය හා පානය ස්නානය මගින් පවා දේහ බර අඩුකර ගන්නට හැකියාව ඇති බව බොහෝදෙනා නොදන්නවා ඇති. මෙය සිදු කරන්නේ පෙරදින රාත්‍රියේ දී ජලය මැටි බදුනක ගබඩා කර තබා පසුදා එයින් ජලය වීදුරුවක් ගෙන පානය කර ඒ ජලය වැඩි වේලාවක් ගෙන ස්නානය කිරීම මගින්. එසේ නැත්නම් ඒ ජලයෙන් ඇඟ සෝදා ගන්න. ඉන්පසුව විනාඩි 45 ක් ගතවනතුරු ආහාර නොගත යුතුයි. ඒ අතරේ බඩගින්නක් බඩේ දැවිල්ලක් හෝ ඇති වෙනවා නම් මේ මැටි බදුනේ ඇති ජලය වරින් වර පානය කරන්න.
  • විනාඩි 45 කින් පමණ උදෑසන ආහාරය සැහැල්ලු ලෙස ලබාගෙන මද රස්නය සහිත වතුර වීදුරුවක් පානය කළ යුතුයි. මේ වතුර වීදුරුවට දෙහි බිංදු 2 ක් පමණ එකතු කරන්නත් මතක තබා ගන්න.ඉන්පසුව දහවල් ආහාරය ගන්නා තුරු තේ කෝපි හෝ කිසිවක්  පානය නොකර ජලය පමණක් පානය කරන්න. උණු ජලය නම් මෙහිදී වඩා සුදුසුයි.පසුව දහවල් ආහාරයට පෙර වතුර වීදුරුවක් පානය කර දහවල් ආහාරයෙන් පසුව නැවත උණුසුම් ජලය වීදුරුවක් පානය කරන්න. ඉන්පසු පැය 2 ක් ගත වනතුරු කිසිවක් ආහාරයට ගැනීමට හෝ  පානය කිරීම සුදුසු නැහැ. ඒ කාලය තුළ ජලය පමණක් පානය කරන්න.
  • රාත්‍රී ආහාර ගැනීමට පෙර වතුර වීදුරුවක් පානය කර ආහාරය  ගැනීමෙන් පසුව උණුසුම් ජලය වීදුරුවක් පානය කරන්න.ඉතින් ජීවය රකින ජලය භාවිතා කරමින් අපේ ශරීරයේ බර අඩුකර ගන්නට මේ කරුණු කාරණා ඔබට බෙහෙවින් වැදගත් වේවි. නමුත් මේ දේවල් අනුගමනයේදී තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය වයස ආදී කරුණු කාරණා පිළිබඳව සැලකිලිමත් වෙමින් වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව කටයුතු කරන්නත් මතක තබා ගන්න.